News

සජිත් ජනපති අපේක්ෂක කරන මංගලගේ සටනට අගමැතිගේ විරෝධය

එ.ජා.ප. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් සහ අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා විසින් මුදල් ඇමැතිවරයා මෙලෙස දැඩි විවේචනයට ලක් කර ඇත. සාකච්ඡාව පසුගිය 11 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී මුදල් ඇමැතිවරයා විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට පක්ෂය තුළ ආරම්භ කර ඇති අරගලයට පසුපෙළ මන්ත්‍රීවරුන් සහ ඇතැම් ඇමැතිවරුන් සහයෝගය දැක්වීම ගැනද අගමැතිවරයා දොස් නගා තිබේ. මුදල් ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ අතැම් මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබාදී ඇති බවද මෙහිදී අගමැතිවරයා පෙන්වා දී තිබේ.

සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බව ආණ්ඩුවට සහාය දක්වන දෙමළ පක්ෂවල නායකයින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුම් දීමට තීරණය කර ඇත. සජිත් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් නොකරන්නේ නම් එජාපය පරාජයට පත් වන බව දෙමළ පක්ෂ නායකයින්ගේ අදහසයි.

උදයජීව ඒකනායක