සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම ලබන 28 වැනිදා
සඳහිරු සෑය ස්තූපයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය ලබන 28 වැනි දින අනුරාධපුරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
අද(16) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසුවේ එම ස්තූපයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා මාර්තු මස 21 සිට මාර්තු මස 27 දක්වා සැදැහැවතුන්ට අවස්ථාව සළසා ඇති බවයි.
යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත තත්වය පත් වූ රණවිරුවන් වෙනුවෙන් මෙම චෛත්‍ය ඉදි කළ බවත් එම රණවිරු පවුල් වල සාමාජිකයන්ට, රණවිරුවන් සිහි කර මේ සඳහා දායක විය හැකි බවද ඔවුන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද ලේකම්වරයා පැවසීය.
ලබන නොවැම්බර් මාසය වන විට ස්තූපයේ වැඩ නිම කර ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සළසා දෙන බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2009 වසරේ යුද ජය සැමරීමත්, එම යුද්ධයේදි ජාති, ආගම් භේදවලින් තොරව දිවි පිදූ සියලු දෙනා හට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන, 2009 දී ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ ‘සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිවීම අරැඹිණි.
රුවන්වැලි මහා සෑයට පසුව ඉදිවන විශාලම දා ගැබ මෙය වන අතර මුළු ත්‍රිපිටකයම රන්පත් වල සටහන් කර දා ගැබේ නිදන් කර තිබෙන අතර තවත් සර්වඥ ධාතු සහ නිදන් වස්තු රාශියක් නිදන් කර තිබේ. ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ උපදෙස් මත හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීම මත යුද හමුදා නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් මෙම සෑය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙයි.
මෙහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ මාර්තු 21 සිට නිදන් වස්තු භාර ගැනීම ආරම්භ කරන අතර ඒ සඳහා වෙනම මණ්ඩලයක් පත් කර ඇති බවත් නිදන් වස්තු භාරගැනීම ඉතා විනිවිදභාවයෙන් යුතුව සිදු කරන බවයි.
මෙම සියළුම කටයුතු සෞඛ්‍ය නීති රීතින්ට අනුකූලව සිදුවෙන බවද කීය. චෛත්‍ය ය සඳහා චූඩා මාණික්‍ය ධානපති ආතර් සේනානායක මහතා විසින් පරිත‍්‍යාග කර ඇති අතර චූඩා මාණික්‍ය මහජනතාවට වන්දනා කිරීම සඳහා ද අවස්ථාව ලබා දෙන බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කීය.