සා. පෙළ විභාගය අද
අද (01 වැනිදා) ආරම්භ කෙරෙන සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානවල සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි පහක් වෙන් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ ට ඊයේ (28 වැනිදා) පැවසීය.
මෙම මුදල්වලින් විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී ඇත. විභාග අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා සෑම මධ්‍යස්ථානයක් සඳහා ම අධීක්ෂණ නිලධාරියකු පත් කර ඇති අතර විභාග දෙපාර්තමේන්තු හා පළාත් නිලධාරීන් ඒකාබද්ධව විභාග මධ්‍යස්ථාන හදිසි පරීක්ෂාවට ලක් කරන ක්‍රමයක් ද ක්‍රියාත්මක කෙරේ. මෙවර විභාගය සඳහා අයැදුම්කරුවෝ හයලක්ෂ විසි දෙදහස් තුන්සිය පනස් දෙනෙක් අයැදුම් කර සිටිති. ඒ අතරින් අයැදුම්කරුවෝ හාරලක්ෂ විසිතුන් දහස් හත්සිය හතළිස් හය දෙනෙක් පාසල් අයැදුම්කරුවෝය. එක්ලක්ෂ අනූ අටදහස් හයසිය හය දෙනෙක් පෞද්ගලික අයැදුම්කරුවෝ වෙති. විශේෂ අවශ්‍යතා සහිත අයැදුම්කරුවෝ 726 දෙනෙක් මෙවර විභාගය සඳහා පෙනී සිටිති. මේ අතරින් අයැදුම්කරුවෝ එකසිය අනූදෙනෙක් පූර්ණ අන්ධ වන අතර ශ්‍රවණාබාධිත සංඛ්‍යාව එකසිය අනූ අටකි. කායික ආබාධ සහිත අයැදුම්කරුවෝ එකසිය හැට එක් දෙනෙක් ද මේ අතර වෙති. මධ්‍යස්ථාන 4513 කදී විභාගය පැවැත්වෙන අතර කොවිඩ් හේතුවෙන් නිරෝධායනයට ලක් කර සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් සෑම මධ්‍යස්ථානයක ම වෙනම කාමරයක් වෙන් කෙරේ. ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයකු ද යෙදවේ. මෙවැනි දරුවන් වෙනුවෙන් පහසුකම් සැපයීමට ගුරුවරුන් බිය වන නිසා සෞඛ්‍ය සේවකයෙක් යෙදවීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය සඳහන් කළාය. ඊට අමතරව කොවිඩ් ආසාදිත අයැදුම්කරුවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන ලෙස වෙනම මධ්‍යස්ථාන හතළිහක් පිහිටුවා ඇත. දැනට කොවිඩ් ආසාදිත සිසුන් 25දෙනකු විභාගයට පෙනී සිටී. එම මධ්‍යස්ථාන සඳහා විභාග දෙපාර්තමේන්තු නියෝජිතයන් යොදවා සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය. විභාගය අද (1 වැනිදා) සිට මෙම 10 වැනිදා දක්වා පැවැත්වේ.
නිලන්ත මදුරාවල/ශ්‍රියානි විජේසිංහ