News

හමුදා රෝහලෙන් එන්නත එපා කිව්ව අයත් එන්නත විද ගනී

යුද හමුදා රෝහලක දී කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනකු නාරාහේන්පිට යුද හමුදා රෝහලට ගොස් එම එන්නත් ලබාගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ රාසමානික්කම් චානක්‍යන් යන මන්ත්‍රීවරුන් මෙලෙස එන්නත් ලබා ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ගෙන් අරුණ, කළ විමසුමකදී ඔවුහු මේ බව සනාථ කළහ.

මේ අතර එම සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන්, චාල්ස් නිර්මලනාදන්, විනෝදන් නෝගරාගලිංගම් යන අය මන්නාරම දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත් මධ්‍යස්ථානවලදී එන්නත් ලබාගෙන තිබුණි.

එමෙන්ම යුද හමුදාව තමන්ට විස එන්නත් කරාවිදැයි සැක නිසා හමුදා රෝහලකදී එන්නත් ලබා නොගන්නා බව කී මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ද පසුගියදා කිලිනොච්චිය රෝහලේදී එන්නත තබාගෙන තිබුණි.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයන් රැසක්ද හමුදා රෝහලේදී එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඔවුන් අතරින් බොහෝ දෙනකු උතුරේ එන්නත් මධ්‍යස්ථානවලින් එන්නත් ලබාගෙන තිබුණි.

හමුදා රෝහල්වලින් එන්නත් ලබාගැනීම හෝ නොගැනීම පක්ෂයට අදාළ කාරණයක් නොවන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම්සිද්ධාර්ථන් සඳහන් කළේය.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125ක පමණ පිරිසක් එන්නත ලබාගෙන ඇත.

එෆ්.අස්