හින්දු විශ්වකෝෂයේ නව සංස්කරණය එළිදක්වයි
මහා ශිව රාත්‍රී දිනයට සමගාමීව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන් සංස්කරණය කරන ලද වෙළුම් 12 කින් සමන්විත හින්දු විශ්වකෝෂය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස මගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එළිදැක්විය.
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1988 දී හින්දු විශ්වකෝෂය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කළ අතර 2014 දී එහි වෙළුම් දොළහ සම්පූර්ණ කළේ ය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවකට පස් වන විධායක ජනාධිපතිවරයා ලෙස හින්දු විශ්වකෝෂයේ වෙළුම් දොළහ සම්පූර්ණ කිරීමට අවැසි නායකත්වය දී තිබේ.ඒ අනුව හින්දු විශ්වකෝෂයේ 12 වැනි වෙළුමේ සංස්කරණ ඇතුළත් නවතම මුද්‍රණය හින්දු පූජකතුමන්ලාට ප්රදානය කිරීම සඳහාඅග්රාමාත්යවරයා එක් වී තිබේ.
එහි දී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ආචාර්ය සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, එම්. රාමේෂ්වරන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන්ට ද සංකේතාත්මකව හින්දු විශ්වකෝෂයේ නව සංස්කරණය පිරිනැමුණි.
ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉටුකරන සුවිශේෂී කාර්යයභාරය මෙහි දී හින්දු පූජකතුමන්ලාගේ ඇගයීමට ලක්විය.
මහා ශිව රාත්‍රී දිනය භක්තිමත්ව හා සෞඛ්‍යාරක්ෂිතව සැමරීම උදෙසා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තෝරාගත් හින්දු කෝවිල් 50කට රුපියල් 50 000ක බැගින් මූල්‍යාධාර ප්රදානය කිරීමේ සමාරම්භය ද මෙයට සමගාමීව පැවැත්විණි.
එහි දී කොළඹ ශ්‍රී කදිර්වේලායුධ ස්වාමි කෝවිලේ සභාපති කේ. රගුනාදන්, වරකපොළ ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ භාරකරු බී.කෝමතී, හොරණ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ සභාපති ආර්. කනේෂු මහත්ම මහත්මීන්ට මූල්‍යාධාර චෙක්පත් ප්රදානය කර තිබේ.
මෙම අවස්ථාවට කොළඹ රාමක්‍රිෂ්ණා මිෂන් සභාපති ස්වාමි අග්රසරාත්මානන්ද මහරාජ්, සින්මයා මිෂන් සභාපති ස්වාමි ගුණාදීදානන්ද සරස්තී, අන්තර් ජාතික හින්දු ආගමික සංගමයේ ලේකම් හා ගරු අග්‍රාමාත්‍ය හින්දු කටයුතු සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ෂර්මා, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ආචාර්ය සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, එම්. රාමේෂ්වරන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂිකා ශාන්ති නාවුකරෂන්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඒ. උමා මහේෂ්වරන්, ආචාර්ය ක. රගුබරන්, හින්දු සංස්කෘතික අරමුදලේ ගරු සාමාජික සී.ධනපාල මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.