නොදැක ඉන්න බෑ මට නම් අලි ආදරී
අලි සහ මිනිසුන් අතර බැඳීම පුදුමාකාරය. ආදරය කරන කෙනාට අලි ඇත්තු නිර්ලෝභීව ආදරය දෙති.
පරාර්ථකාමී ගති ඇති ඔවුන් දිවි පරදුවට තබා අන් අය බේරා ගැනීමට ඉදිරිපත් වූ අවස්ථා ද ඇත. තම
වර්ගයා පමණක් නොව, මිනිසුන් බේරාගැනීමට ද අලි ඉදිරිපත් වූ අවස්ථා තිබේ. එමෙන්ම ඔවුන්ගේ
මතකය ද ඉතා ඉහළය. 'Elephant whisperer' ලෙසින් ප්‍රචලිත ලෝරන්ස් ඇන්තනිගේ අවමංගල්‍යය මේ
බොහෝ කරුණු තහවුරු කරයි. ඔහු මියගොස් දෙදිනකට පසු ඔහු පදිංචිව සිටි නිවසේ වැට අසලට
පැමිණියේ විසිඑක් දෙනෙකුගෙන් යුතු අලි නඩයකි. ලෝරන්ස්ගේ බිරිය පිටතට විත් බැලුවාය. ඒ ලෝරන්ස්
විසින් දිවි රැකගත් අලි රංචුවකි. ඔවුහු හොඬ ඔසවා ශබ්ද කළහ. ඒ ලෝරන්ස් සමඟ අදහස් හුවමාරුවට
ඔවුන් නගන හඬයි. පැයකට පමණ පසු ඔවුහු එකා පසුපස එකා පිටව ගියහ. ඔවුන්ට සිය ගැලවුම්කරුට
අවසන් ගෞරව දැක්වීමට අවශ්‍ය වූවා විය හැක. මේ ලිපිය ලෝරන්ස් හෝ ඔහු සමඟ රහස් කියන අලි
ගැන නොවේ. ක්‍රිස්ටි සහ පීටර් ඇඩම්සන් පිළිබඳවයි.
ක්‍රිස්ටි 1967දී උපත ලැබූ බව විශ්වාස කෙරේ. ඇය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් සත්වෝද්‍යානයේ
වාසය කරමින් සිටියදී ඇයව බලා කියා ගත්තේ පීටර් ය. දෙදෙනා අතර වූයේ තදබල මිත්‍රත්වයකි. එහෙත්
ඔවුන්ගේ මිතුදමේ පැවැත්ම දිගුකාලීන නොවීය. ණය අර්බුදයක් මත සත්වෝද්‍යානය වසා දැමීමට සිදුවීම
ඊට හේතුවයි. 1987 දෙසැම්බරයේදී ස්කොට්ලන්තයෙන් පිටත්ව යනතෙක් ක්‍රිස්ටි සමඟ දුක සැප
බෙදාගත්තේ පීටර් ය.
ග්ලාස්ගෝව් නගරයෙන් තනිව පිටව ගිය ක්‍රිස්ටි නැවතුණේ එංගලන්තයේ චෙස්ටර්හිය. එහිදී ඇයට
පළමුවරට මිතුරියක හමුවිය. ඈ ජූඩි ය. පසුව ක්‍රිස්ටි සහ ජූඩි දෙදෙනාම 1994 ජනවාරි මාසයේ ඩබ්ලින්
වෙත රැගෙන යාමට පියවර ගැනිණ. 1994 සිට 2005 දක්වාම දෙදෙනාම ජීවත්වූයේ එහියි. 2005
සැප්තැම්බර් මාසයේදී ක්‍රිස්ටිට නැවත සිය වාසස්ථානය වෙනස් කිරීමට සිදුවිය. සිය විශ්‍රාම දිවිය ගත
කිරීම සඳහා ඇයට පැමිණිමට සිදුවූයේ ජර්මනියටයි.
“යුරෝපයේ සත්වෝද්‍යාන කිහිපයක ඇවිදිමින් විචිත්‍ර ජීවිතයකට හිමිකම් කී
ක්‍රිස්ටි ඇගේ විශ්‍රාම කාලය ගත කිරීමට අප වෙත පැමිණියා.”
ක්‍රිස්ටි 2005 සිට රැඳී සිටි නොයෙන්කිෂන් සත්වෝද්‍යානයේ ඇගේ පාලකවරයා කියා ඇත. ඔවුන්ගේ වෙබ්
අඩවියේ සඳහන් කර තිබුණේ ක්‍රිස්ටි බුද්ධිමත් සහ ඉගෙනීමට ඇල්මක් දක්වන්නියක බවයි. සිය
සාමාජිකයින් අතර ආධිපත්‍යය දැරීමට ඈ ප්‍රිය බව ද සඳහන්ව තිබිණ.
ක්‍රිස්ටි යුරෝපා සංචාරය අවසන් කර ජර්මනියට පැමිණෙන තෙක් ඈ ගැන මතකය සිත්හි තබාගෙන සිටි
අයෙකු විය. ඒ පීටර් ඇඩම්සන් ය. ඒ වනවිට දෙදෙනා සමුගෙන දශක දෙකක් පමණ ගත වී තිබිණ. එහෙත්
පීටර් ඉඩ ලද සෑම වේලාවකම ක්‍රිස්ටි ගැන සෙව්වේය. අවසානයේ ඈ ජර්මනියේ සිටින බව දැනගත් පීටර්
නොයෙන්කිෂන් සත්වෝද්‍යාන පාලනාධිකාරිය සමඟ තොරතුරු හුවමාරු කරගත්තේය. ක්‍රිස්ටි හමුවීමට
ඇති අවශ්‍යතාව ඔවුන්ට ඒත්තු ගැන්වීමට පීටර් බොහෝ වෙහෙසුණේය. ඔහු උත්සාහය අතහැරියේම නැත.
දිගින් දිගටම සත්වෝද්‍යාන බලධාරීන් සමඟ තොරතුරු හුවමාරු කරගත් ඔහුගේ බලාපොරොත්තුව වසර
ගණනාවකට පසු ඉටුවිය. ක්‍රිස්ටි හමුවීමට ඔහුට අවස්ථාවක් ලැබිණ. දශක තුනකට පමණ ඉහත
මතකය ද සමඟ පීටර් ජර්මනියට ගියේය.
“අලි කවදාවත් අමතක කරන්නෙ නෑ කියලා කියන කතාවේ ඇත්ත නැත්ත
බලන්න මට ඕන වුණා. ඒක ඇත්ත. ඈ මට ඇගේ ළඟට එන්න ඉඩ දුන්නා.
මාව වැළඳගත්තා. ඒක මට හරිම සංවේදී අත්දැකීමක්. මං ඒ මතකය හැමදාම
හදවතේ තියාගන්නවා.”
වසර 30 කට ආසන්න කාලයකින් පසු සිදු වූ මේ අලි මිනිස් නැවත හමුව අවට සිටි අයට ද සංවේදී
දර්ශනයක් විය. පීටර් කතා කරද්දීම ක්‍රිස්ටි හඬ හඳුනාගෙන ඇත. ඈ හොඬ පටලවා පීටර් තමා වෙත සමීප
කර ගත්තාය. ඒ වනවිට ද ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටි ක්‍රිස්ටිට ද පීටර්ගේ හමුව සුන්දර
මතකයක් වන්නට ඇත. හමුවෙන් වසර කිහිපයකට පසු ඈ මියගිය ද ඒ සතුට ඇගේ සිතේ නොනැසී තිබෙන්නට
ඇත. නිර්ලෝභීව අප පිරිනමන ආදරය එය ලබන්නා කිසිදා අමතක නොකරයි. වසර ගණනක් හමු නොවුණ
ද ආදරය නොනැසී පවතිනු ඇත. ක්‍රිස්ටි පීටර් හමුව සනාථ කළේ එයයි.
රෂ්නිකා ලියනගේ