කම්මැලිකමට මගේ ජීවිතේ කිසිම ඉඩක් නෑ
එදා හරියටම සෙනසුරාදා දවසක්. උදේ ඉඳන් හවස් වෙනකන්ම කොළඹ රාජගිරිය අහස ගිලගන්න හදන
බැල්මකින් තට්ටු ගණන් උස ගොඩනැගිලි බලාගෙන හිටියා. හවස් වෙද්දී ඊටම නොදෙවෙනි වුණු අහසත්
කළුපාට වෙස් මුහුණක් පැළඳගෙන ගල් ගෙඩි වගේ වැහි බිංදුවලින් රූස්ස ගොඩනැගිලිවලට තඩිබාන්න
පටන්ගත්තා. එතැනින් නතර නොවී අහස කරපු ගෝරනාඩුවට මහපාර අයිනේ හිටගෙන උන්නු මාත් මගේ
මිතුරියන් දෙදෙනාත් ගැස්සිලා ගියා. තප්පර ගණනකින් ඇල්පෙනෙති තුඩක හිස්තැනක් නොතියා කිටි
කිටියේ ළංවුණු අපේ දිහාට හමාපු සැඩ සුළඟට අපේ දෑත්වල රැඳුණු කුඩ ඉගිළෙන්න හදද්දිම මම අහසට
හෙළුවේ නොරිස්සුම් බැල්මක්. මගේ ඒ බැල්මට බයවෙලා ද මන්දා වැහි බිංදු තරමක් මන්දගාමී වුණා. ඒත්
ගමන පුරාවට අපට මුණගැහුණ, වැස්සෙන් තෙතබරියම් වුණු බොහෝමයක් මනුෂ්‍යය ප්‍රාණීන්ගේ
මුහුණුවල මොකක්දෝ හෙම්බත්බවක් තැවරිලා තිබුණා. හැබැයි රාජගිරිය පරණ පාරේ කතෝලික
දේවස්ථානයේ නත්තලට සමගාමීව පවත්වපු පොළේදී මට මුණගැහුණ අනුරාධාගේ මුහුණේ ඒ
හෙම්බත්බව තිබුණේ නෑ. ඒ වෙනුවට මම ඇගේ මුහුණේ දැක්කේ උද්යෝගයක්.
“අව්වටයි වැස්සටයි කම්පා වෙවී හිටියොත් අපිට අපේ වැඩක් කරගන්න
වෙන්නෙ නෑ. අව්ව, වැස්ස නිසා වැඩ කල් දාන්නේ කම්මැලි මිනිස්සු. එහෙම
කම්මැලි වෙවී හිටියනම් අවුරුදු 04ක් තිස්සේ මට මේ සපත්තු වෙළෙඳාම
කරගෙන යන්න වෙන්නෙ නෑ.”
අනුරාධා කියපු විදියට ඇය එලෙස අව්ව වැස්ස නොබලා විකුණන සපත්තු සෙරප්පු දිවා රෑ නොබලා ඇය
අතින්ම නිමවෙන ඒවාලු. ඒ නිසාම ද මන්දා ඇය අතින් නිමවුණ පබළු ඔපලූ සෙරෙප්පු යුගල්, පටි සහිත
රහිත මෙකී නොකී නානාප්‍රකාරයේ පාවහන් ඇය අපට පෙන්නුවෙත් හරි උජාරුවෙන්. හැබැයි ඒ උජාරුව
ඇයට උරුම වෙලා තිබුණෙ දේපළ හෝ පරම්පරාව නිසා නම් නෙවෙයි. ඒ වෙනුවට තමන්ගේම දහඩිය
මහන්සියෙන් ගොඩනගාගත්ත ව්‍යාපාරයකට ඈ හිමිකම් කීමේ ප්‍රතිඵලයක් විදියටයි.
“මම මහන්සිවෙලා උපයන හැම සතයක් ගානෙම මට මං ගැන දැනෙන්නෙ
පුදුම සතුටක්. ඒ සතුට කෙනෙක්ට තමන් ගැනම දැනෙනවා කියන්නේ
ඔටුන්නක් පැළඳුවා වගේ තමයි. මම මාතර වැලිගම ඉපදුණ කෙනෙක්. එහෙම
වුණත් මීට අවුරුදු 10කට කලින් මම මහත්තයයි දරුවෝ දෙන්නයි එක්ක
කොළඹ ආවා. මුලදී මහත්තයා රැකියාවක නිරත වුණත් කොරෝනා වසංගත
තත්ත්වයත්, ඔහුගේ අසනීප තත්ත්වයත් එක්ක දිගටම රැකියාව කරගෙන
යන්න පුළුවන් වුණේ නැහැ. ඒත් එක්ක මම හිතුවා මොනවමහරි ව්‍යාපාරයක්
කරන්න පටන්ගන්න ඕන කියලා. මුලින් හඳුන්කූරු ව්‍යාපාරයක් කරගෙන ගියා.
කොළඹ ආවාට පස්සේ මම ඇඳුම් මහන්න පටන්ගත්තා. ඒ අතරේ තමයි මට
අදහසක් ආවේ සපත්තු මහලා විකුණන්න තිබුණා නම් කියලා.”
ඒ අදහස ක්‍රියාවට නංවපු අනුරාධා කාර්මික සංවර්ධන අධිකාරියේ සපත්තු මැසීමේ පුහුණු
පාඨමාලාවකට අයැදුම් කරලා. එතැනින් නතර නොවුණ ඇය මාස තුනක පාඨමාලාව හදාරන අතරේම
සපත්තු මහලා විකුණනන්නත් පටන් අරන් තිබුණා.
“පාඨමාලාවට සහභාගී වුණ මුල්කාලේ මැෂිමක් ගන්න තරම් වත්කමක් මට
තිබුණේ නැහැ. ඒක නිසා මම කළේ අතින් සෙරෙප්පු මහන්න පුරුදු වුණ එක.
මහන්න ඕනකරන බඩු ලාබෙට ගන්න පුළුවන් තැන්වලින් අරගෙන මංම
ගිහින් මට ඕන විදියේ සපත්තු අඩි කපාගෙන ආවා. ඊටපස්සේ ඒවා මහලා
විකුණන්න පටන්ගත්තා. මම මහන සෙරප්පු දැකලා මගේ නෑනාත් මට
ඇණවුම් හොයලා දුන්නා. ඒත් එක්ක පුංවියට දළුලාපු මගේ පාවහන් වෙළඳාම
අතුපතර විහිදිලා වැඩෙන්න පටන්ගත්තා.”
ඒ වෙද්දීත් සපත්තු මහන කටුව එක්ක පොරබදලම අනුරාධාගේ දෑතේ පතුරු ගිය තුවාල කැළල් එමටයිලු.
හැබැයි එහෙමයි කියා ඇය නෙමේ සපත්තු මැසීම අතරමග අත්හැරියේ.
“මැෂින් එකක් ගන්න සල්ලි එකතුවෙනකන්ම මම දිගටම අතින්ම සෙරප්පු
මහගෙන ගියා. අවශ්‍ය ප්‍රමාණයට මුදල් එකතු වුණාට පස්සේ තමයි මැෂින්
එකක් මිලට ගත්තේ. ඒ නිසා දැන් ලොකු ලොකු ඇණවුම් පවා භාර අරගෙන
කරගෙන යනවා. සීසන් කාලෙට වෙළඳකුටිවලට ගිහින් සෙරෙප්පු විකුණනවා.
පාරේ යද්දී සෙරෙප්පු පටියක් දැක්කත් සෙරෙප්පු විලාසිතා එකදිගට මගේ
හිතේ ඇඳෙනවා. ඊටපස්සේ මම ඒවා සෙරෙප්පු බවට පත්කරනවා.”
සෙරෙප්පු මැසීම, විකිණීම විතරක් නෙවෙයි සෙසු ගෘහිණියන්ට වගේම ගෙදරදොරේ රාජකාරිත් ඇයට
පැවරිලා තිබුණා. ව්‍යාපාරය හේතුවක් කරගෙන ඇය ඒ කිසිම යුතුකමක් හෝ වගකීමක් පැහැර හැරියේ
නෑ.
“මම පාන්දර ඇහැරිලා උයලා පිහලා ඉවරවෙලා පැයක් විතර සෙරෙප්පු
මහනවා. ඊටපස්සේ ගේදොර හැම වැඩක්ම කරලා ආපහු හවස 02න් පස්සේ
සෙරෙප්පු මහන වැඩේට අතගහනවා. හැම වැඩේටම වෙලාවක් වෙන්
කරගන්නවා සහ ඒ වැඩේ ඒ වෙලාවේ මඟ නොහැර කරනවා. ඒ නිසා කිසිම
වැඩක් මට මඟහැරෙන්නේ නැහැ. එහෙම වැඩ කරන වෙලාවට කොච්චර
නිදිමත ආවත් මම ඒ දේවලට ඉඩක් දෙන්නෙ නෑ. මගේ අරමුණුවලට යන්න
පුළුවන් වෙන්නේ මම ඒ වගේ විනයක් ඇතුව වැඩ කළොත් විතරයි. ඒ නිසා
කම්මැලිකම කියන වචනයට කවදාවත් මගේ ළඟ ඉඩක් නැහැ.”
ඔය විදියට සෙරෙප්පු වෙළඳාමෙන් පවුලට සවියක් වෙන අනුරාධා අභිමුවට ප්‍රශ්න බාධකත් ඕනෑතරම්
එනවලු. ඒ කොයි බාධකේටත් හිත හයිය කරගෙන මුහුණදෙන අනුරාධාලාට දැන් තියෙන ලොකුම බාධකේ
විදේශයෙන් ආනයනය කරන පාවහන් නිසා දේශීය පාවහන් වෙළඳාමට ලොකු ඉල්ලුමක් නැතිවීමලු. ඒක නිසා
මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමුවෙලා එය නගාසිටුවන්න දෙයක් කරන්න පුළුවන් නම් බිංදුවේ ඉඳන්
ගොඩනැගෙන දේශීය පාවහන් වෙළෙන්දන්‍ට ඒක විශාල සවියක් වෙයි කියලයි අනුරාධා අවසාන වශයෙන්
කිව්වේ.
නෙත්මි තෂාරා