News

2020 අගෝස්තු 17 ලයිට් ගිය පැය නවයට පාඩුව කෝටි 147ක්

පසුගිය වසරේ (2020) අගෝස්තු 17 වැනිදා රට පුරා පැය නවයකට අධික කාලයක් විදුලිය විසන්ධි වීම නිසා සමස්ත ආර්ථිකයට රුපියල් කෝටි 147 ක් පාඩුවී ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව සභාගත කරමින් ඇමැතිවරයා මේ බව පැවැසුවේය. ඒ පිළිබඳ බදුල්ල දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රශ්නයක්ද අසා තිබූ අතර ඇමැතිවරයා ඊටද උත්තර දෙමින් ප්‍රකාශ කළේ එදින විදුලිය බිඳවැටීම නිසා සැපයීමට නොහැකිවූ විදුලි ඒකක ප්‍රමාණය කෝටියකට අධික බවය.

2015 සහ 2016 යන වසරවලදීද සිදුව ඇති මෙවැනිම බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවල වාර්තාද ඇමැතිවරයා ඊයේ (23 වැනිදා) සභාගත කළේය.

නඩුගුඩා ප්‍රදේශයේ ඇති ජාලක උපපොළ විවෘත කරන තුරු මන්නාරම සුළං බලාගාරයෙන් උත්පාදනය කළ හැක්කේ මෙගාවොට් 30 ක් බව එය විවෘත කළ දිනයේදීම පැවැසූ බව කී ඇමැතිවරයා මෙම 31 වැනිදා හෝ ඊට සතියක් ඇතුළත ඉහත උපපොළ විවෘත කරන බවත් ඉන්පසුව සුළං බලාගාරයෙන් මෙගාවොට් 130 ක් උත්පාදනය කළ හැකි බවත් පැවැසුවේය.

අජිත් අලහකෝන්