“එයා කොයිවෙලේ පොලිසියට අහුවෙයිද කියලා නොදන්න නිසා මට සපත්තු මහන රස්සාව උගන්වලා තිබුණා “
එයා කොයිවෙලේ පොලිසියට අහුවෙයිද කියලා නොදන්න නිසා
මට සපත්තු මහන රස්සාව උගන්වලා තිබුණා
කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
බලන් කැඩපත සොඳුරියේ…
අමරදේව මාස්ටර්ගෙ අමරණීය හඬ ඉයර්ෆෝනයෙන් දෙසවනට ඇතුළු වෙද්දී කඩිගුලක් වගේ ඇවිස්සුණු කොළඹ දුම්රියපොළේ ඉඳන් මම පිටකොටුව බස් නැවතුම්පොළ දිහාවට අඩිය ඉක්මන් කළේ මහා වරුසාවකුත් වැටෙන්න ඔන්න මෙන්න තිබුණු හින්දා. කලබලෙන්ම පාර මාරු වුණාට මොකද පාවහනයේ පටියක් ගැලවිලා කියල දැක්කෙ ටික වෙලාවකින් පාවහනය පැළඳගෙන ඉන්න අපහසු වුණ නිසා. ඉතින් යන්න තිබුණු ගමන ටිකක් ප්‍රමාද වුණත් කැඩුණු පාවහන් පටිය හදාගන්න හිතාගෙන පිටකොටුවෙ මල්වත්ත වීදියට මම ලහිලහියෙම ගොඩ වුණා .
වෛවර්ණ කඩපේළි ගණනාවක් පහු කරලා මම නැවතුණේ කැඩුණු පාවහන් පිළිසකර කරන පුද්ගලයින් විතරක්ම ඉඳපු කඩ පේළියක් ළඟ. ඔය අතරෙ අහම්බෙන් ඇහැ ගැටුණු පාවහන් සකසන කාන්තාවක් ළඟ මම නතර වුණේ එතෙක් වෙලා මම දැකපු හැමෝම පාවහන් හදන පිරිමි නිසා. තලතුනා පෙනුමක් තිබුණට වැඩි වයසකුත් නැහැ කියල ඇගේ මුහුණේ හිනාව දකිනකොට මට තේරුණා. වෙනසකටත් එක්ක පුංචි කයියක් ගහන්න හිතාගෙනම මම ලෙහුණු පාවහන් පටියත් පාවහනයත් ඇය වෙතට දිගු කළා.
“බලන්නකො අක්කා කලබලේට පාර පනිනකොට සෙරප්පුව කැඩුණානෙ.”
“කෝ දෙන්න නංගී මම විගහට මහල දෙන්නම්.”
බුලත් කහට ගැහුණු දත් ටික පෙන්නලා හිනාවෙන ගමන් ඇය මගේ පාවහන් යුගළ අතට ගත්තා. පුංචි බංකුවක් ඒ අසළම තිබ්බ හින්දා ඇය අසලින්ම මමත් වාඩි වුණේ වැඩේ කෙරෙන අතරතුරේ අර කලින් කිව්ව අරමුණත් ඉටු කරගන්න හිතාගෙන.
දිනේෂා ප්‍රියදර්ෂනී වුණු ඇගේ ගම ඇලකන්ද දික්ඕවිට. මල්ලිලා දෙන්නෙක් ඉඳපු පවුලක එකම ගැහැනු දරුවා වෙච්චි දිනේෂාට හැදී වැඩෙන්න වෙලා තිබුණේ වැඩි ආරක්ෂාවක්, අවධානයක් වගේම සීමාමායිම්වලට යටත්ව. කුරුල්ලෙක් වුණත් කූඩුවක දාලා හදන්න පුළුවන් කාලසීමාවක් තියෙනවනේ. ඉතින් පුංචි කාලේ පවුලේ උදවියට උවමනා විදියට හිටියට අවුරුදු 18 ක් වුණාට පස්සේ දිනේෂාට හිතුණාලු තවදුරටත් කූඩුවුණ කිරිල්ලක් වගේ ඉඳීම පලක් නැහැ කියලා. ඒ නිසා ඇය තමන්ගේ පෙම්වතා සමඟ විවාහ වෙලා අවුරුදු 18ක් තරම් වයසකදී කොළඹ නගරයට සංක්‍රමණය වෙලා.
හැබැයි දෛවයේ සරදමට වගේ පුතෙකුත් ලැබුණට පස්සේ දිනේෂාගේ සැමියා ඇයව හැර ගිහින්. අලුත උපන් දරුවෙක් එක්ක ගැහැනියක් තමන් නොදන්නා නගරයක තනිවෙනවා කියන එක ඇත්තටම ඛේදවාචකයක්. ඉතින් ඒ ඛේදවාචකය තවදුරටත් ඉදිරියට ඇදගෙන නොයන්න තීරණය කරපු දිනේෂා මව් සෙනෙහස උතුරා පිටාර ගලද්දී වේදනාව කොතෙක් වුණත් දරුවාව වෙනත් පවුලකට හදාගන්න දීලා.
“කසාද මනුස්සයා දාලා ගියාට පස්සෙ මම හරි අසරණ වුණා. දරුවෙක් පාරෙ පේමන්ට් එකේ තියාගෙන හදන්න බෑ. මගෙ දරුවා දුක් විඳිනවට මම කැමති වුණේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම දරුවාව දෙමළ පවුලකට හදාගන්න දුන්නා. ඒ නිසා කිසිම දුකක් කරදරයක් නැතුව අද මගෙ දරුවා බොහොම හොඳට හැදෙනවා. මට තියෙන එකම සතුට ඒක.”
පදික වේදිකාවේ දූවිල්ල, අව් වැසි තමන්ගේ දරුවාගේ සෙවණැල්ලකටවත් නොවැටෙන්න කියලා ප්‍රාර්ථනා කරපු අම්මා කෙනෙක් තමන්ගෙ දරුවා අත් දෙකෙන් අත් හැරීම ගැන ආන්දෝලනාත්මක මත රාශියක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණත් ඒ හැඟීම් තේරෙන්නෙ අම්මෙක්ටම විතරයි .
ඉන්පස්සෙ අවුරුදු කීපයක්ම බොහොම දුක සේ ජීවත් වෙලා තිබ්බ දිනේෂාගෙ ජීවිතයට යළිත් පිරිමියෙකුගේ බැල්ම වැටිලා තිබුණා.
“මට පුංචි කාලෙ ඉඳන් හරියට ආදරය කරුණාව ලැබිලා තිබුණෙ නෑ. මගෙ අම්මත් තාත්තගෙන් වෙන්වෙලා හිටියෙ. පළවැනි මනුස්සයා මාව දාලා ගිහින් කාලෙකට පස්සෙ හම්බුණ කෙනත් එක්ක මම ආපහු දීග ගියා. හැබැයි ඒකෙන් වුණේ මම තවත් අසරණ වුණ එක විතරයි. එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්. මාවත් ඒ දේවල්වලට පෙළඹෙව්වා.”
පුන්සඳක් යැයි හිතා ඇය ජීවිතයට ළං කරගෙන තිබුණේ මහා වින්නැහියක්. දෙවැනි කසාදය නිසා ඇයට හිරබත් කන්නත් වෙලා. මත්ද්‍රව්‍ය පාවිච්චි කළ නිසා ඇයව පුනරුත්ථාපනයට යොමුකරල තියෙනවා . පුනරුත්ථාපනය අවසන් වුණාට පස්සෙ පොලිසිය විසින්ම ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාව ලබා දීලා තියෙනවා.
“මම අවුරුදු පහක් ගාමන්ට් රස්සාව කළා. එතකොට දෙවනි කසාදෙ කෙනා හිරේ හිටියේ. ඔහු තවමත් ඉන්නෙ බන්ධනාගාරගත වෙලා. ඒ කාලෙ ගාමන්‍ට් එකෙන් දවසට 1500 ක් ගෙවනවා. ඉතුරුවා පොතකට දානවා. ඔහොම තමයි අවුරුදු පහ හයක් ජීවත් වුණේ.”
ගාමන්‍ට් එකක වැඩ කරපු දිනේෂා සපතේරු රැකියාවට අවතීර්ණ වුණේ කොහොමද කියල ඇහුවාම ඇය දුන්නෙ මෙහෙම උත්තරයක්.
“දැන් හිරේ හිටියට මම බැන්ද කෙනාම තමයි මේ දේවල් මට ඉගැන්නුවේ. එයා කොයිවෙලේ පොලිසියට අහුවෙයිද කියලා නොදන්න නිසා හම්බකරගෙන කන්න දැනගෙන ඉන්න ඕන කියලයි සපත්තු මහන රස්සාව ඉගැන්නුවේ.”
ඉඳහිට මාතර පැත්තේ ගෙදරක දරුවන් දෙදෙනෙක්ද බලාකියාගන්නා දිනේෂා කොළඹ නෑ ගෙදරක නැවතී සපතේරු රස්සාවට පිටකොටුවට එනවලු. ජීවිතේ කොයි තරම් දුක්ගැහැටවලින් පිරුණත් සොබාදහමට අවනත වෙලා ඒ ඒ දේවල්වලට මුහුණ දෙන්න අවශ්‍ය බව දිනේෂා ඔය අතරේ මට කිව්වා. අවුරුදු 18 ක මුරණ්ඩු කෙල්ලෙක්ගෙ දඩබ්බර ගති වෙනුවට දිනේෂා තමන්ගෙ ජීවිතය දිහා දැන් සාවධානව බලන්න පුරුදුවෙලා කියලයි මට එවලෙ හිතුණේ.
“මේ කොළඹට ආවාම ජීවත්වෙන්න හරි අමාරුයි. ගෑනු ජීවත්වෙන්න විවිධ රස්සා කරනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණොත් ඉවරයි. මගේ අතීතය මට පාඩම් ගොඩක් ඉගැන්නුවා. ඉතින් ඒ නිසා මම දැන් යහපත්ව ජීවත්වෙන්න උත්සාහ කරනවා. මොනතරම් වෙහෙස මහන්සි වෙන්න වුණත් මේ දෑතේ රස්සාව අනික් මොන දේටත් වඩා මට හොඳයි.”
තමන්ගේ අතිත ජීවිතයේ පැටලුණු නූල්වල වියවුල් ලිහාගන්නට දිනේෂා ඉඳිකට්ටක් සහ නූල්බෝලයක් අතේ තියාගෙන ජීවන අරගලයක නිරත වෙලා ඉන්නවා. බාල කාලෙ ආයෙ එන්නෙ නෑ, වැරදුණු තැන් යළි හදන්න බෑ කිව්වට වැරදුණු පැරදුණු තැන් සීරුවට අමතක කරලා ජීවිතේ ඉදිරියට ගෙනියන්න දහඩිය කඳුළු හෙලන දිනේෂා වැනි කාන්තාවන් තවත් ඕනෑතරම් ඉන්නවා. ඉතින් රෑ වැටුණු වළේ දවල් නොවැටී ඉන්න උත්සාහ කරන, දෑතේ මහන්සියෙන් ජීවිතය ගොඩනගාගන්න වෙහෙසෙන ඇය වැන්නියන් පහසුවෙන් ජීවත්වෙන්නට පහසු මං සොයන කාන්තාවන්ට සැබෑ ආදර්ශයක් බවයි අපේ විශ්වාසය.
පවනි වාසනා