නවතම ප්‍රවෘත්ති

මාව මුණගැහිලා කතා කරපු කෙනෙක් කවදාවත් මං ආඩම්බර කෙල්ලෙක් කියලා කියන්නේ නෑ – කවිහාරි හපුතන්ත්‍රි

පුංචි තිරයේ විකාශනය වුණු ‘රතු රෝස’ ටෙලිනාට්‍යයේ ‘චාපා’ කියන චරිතයට පණ දුන් වන්දනා ලියනආරච්චි, ‘ඕලු’ ටෙලිනාට්‍යයේ ‘ඕලු’ කියන චරිතයට පණ දුන් මංජුලා කුමාරි, ‘බට්ටි’ ටෙලිනාට්‍යයේ ‘බට්ටි’ චරිතය කරපු දමිතා අබේරත්න, ‘පබා’ ටෙලිනාට්‍යයේ ‘පබා’ චරිතය රඟපෑ උපේක්ෂා ස්වර්ණමාලි, ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ ‘සංසලා’ චරිතය රඟපෑ උදාරි වර්ණකුලසූරිය, ‘අමා’ ටෙලිනාට්‍යයේ ‘අමා’ කියන චරිතය රඟපෑ ශෙරිල් රොමේන් ඩෙකර් හරි වාසනාවන්ත නිළියෝ කියලයි මට හිතෙන්නේ. අදටත් ඔවුන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයින් ඔවුන්ව හඳුනන්නේ ඔවුන්ගේ සැබෑ නම්වලින් නෙවෙයි ඒ ටෙලිනාට්‍යවල ඔවුන් රඟපාපු චරිතයේ නමින්. ඒ ටෙලිනාට්‍ය සියල්ල විකාශනය අවසන් වෙලා මේ වෙනකොට අවුරුදු ගණනාවක් ගියත් අදටත් ඒකෙ වෙනසක් වෙලා නෑ.

පසුගිය කාලයේ ටෙලිනාට්‍ය කොයිතරම් හැදුනත්, කොයිතරම් නවක නිළියන් ක්ෂේත්‍රයට ආවත් අර පෙර කියපු වාසනාව තිබුණු නිළියක් නම් අපිට දකින්න ලැබුණේ නෑ. ඒත් දැන්නම් එහෙම නිළියක් කරළියට ඇවිල්ලා තියනවා. ඒ තමයි ‘ජානු’ කියන ටෙලිනාට්‍යයේ ‘ජානු’ චරිතය රඟපාන නවක නිළියක් වන කවිහාරි හපුතන්ත්‍රි. ඇය ‘ජානු’ නමින් කොයිතරම් ජනප්‍රියද කියලා සමාජ මාධ්‍යවල එහෙම ඔබට දැකගන්න පුළුවන්. ඒ වගේම එය ඇය රංගනයෙන් දායකවෙන පළමු ටෙලිනාට්‍යයවීමත් විශේෂත්වයක්. ඒක නිසාමයි මෙවර ‘ධරණී’ කවරය හැඩකරන ගමන්ම සොඳුරු කතාබහක යෙදෙන්නත් අපි ජානුට නැත්නම් කවිහාරි හපුතන්ත්‍රිට ආරාධනා කළේ.

 

*‘කවිහාරි’ කියන්නද? ‘ජානු’ කියන්නද?

“මගේ ඇත්ත නම කවිහාරි වුණාට ගොඩාක් අය මාව දන්නේ ‘ජානු’ කියන නමින්. දැන් මමත් ඒ නමට හරිම කැමතියි.”

 

මං මුලින් කියපු විදියට ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙන ‘ජානු’ ටෙලිනාට්‍යය තමයි කවිහාරිගේ පළමු ටෙලිනාට්‍යය. ඇයට ඒ ටෙලිනාට්‍යයට එකතුවෙන්න ලැබුණේ හරි අහම්බෙන් කියලයි කවිහාරි කතාබහට ආරම්භය ගනිමින් කිව්වේ.

“මගේ ෆොටෝ එකක් දැකලා, රංගන ද සිල්වා අයියා තමයි මුලින්ම කීවේ ඔයා රංගන ක්ෂේත්‍රයට ආවොත් ලොකු දුරක් යන්න පුළුවන් වෙයි කියලා. එයා එහෙම කියලා දවස් දෙක තුනක් ගියේ නෑ ‘ජානු’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක හසුන් සමීර අයියා මට ‘ජානු’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට කතා කළා. එයා කතා කළෙත් මගේ ෆොටෝ එකක් දැකලා. ඒ විදියටයි හරි අහම්බෙන් කලා ක්ෂේත්‍රයට ආවේ.”

කවිහාරි පුංචි කාලෙදිවත් රංගන ශිල්පිනියක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයිලු. ඒ නිසා නොහිතපු වෙලාවක ටෙලිනාට්‍යයක ප්‍රධාන නිළි චරිතයක් ලැබුණු එක කවිහාරිට ලොකු අභියෝගයක් වුණාලු.

“මං ට්‍රැවල් කරන්න ආසයි. ඒ ආසාව උඩ පුංචි කාලේ ඉ‍ඳන්ම හීන දැක්කේ ලොකුවෙලා ගුවන් සේවිකාවක් වෙන්න. හිතේ අහළකවත් නිළියක් වෙන අදහසක් නම් තිබුණේ නෑ. ඉතින් ටෙලිනාට්‍යයක ප්‍රධාන නිළියට රඟපාන්න කතා කරද්දි මං උඩ ගියා. මොකද ඒ වෙද්දි රංගනය ගැන මං කිසිම හැදෑරීමක් කරලා තිබුණේ නෑ. ඒත් ලැබුණු අවස්ථාව මග අරින්න හිතුණෙත් නෑ. පස්සේ ඒ අවස්ථාව මං බාරගත්තා.”

ගුවන් සේවිකාවක් වෙන්න සිහින මවපු කවිහාරි නොදන්න විෂයකට අතගැහුවට මොකද අන්තිමේදි කවිහාරි නැවතුනේ කෙටි කාලයක් තුළ ලංකාවේ ජනප්‍රිය නිළියක් වෙලා. තමන්ගේ පළමු ටෙලිනාට්‍යයෙන්ම මේ තරම් ලොකුවට ජනප්‍රිය වෙන්න ලැබීම සතුටක් කියලයි කවිහාරි ‘ධරණී’ට කිව්වේ.

“නිළියක් විදියට දැනට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතරින් ගොඩාක් අය මට කියනවා මම හරි ලස්සන ළමයෙක්, දැක්කම හරි ප්‍රියයි කියලා. අන්න ඒකට මං ආසයි. ගොඩාක් අය මාව දැක්කමත් ‘ජානු’ කියලා ළඟට ඇවිත් කතාබහ කරලා සෙල්ෆියක් එහෙම ගහගෙන යනවා. මං රංගනයෙන් දායක වෙන පළවැනි ටෙලිනාට්‍යයෙන්ම මේ තරම් ප්‍රෙක්ෂක ආකර්ෂණයක් හිමිවීම ලොකු වාසනාවක් කියලයි හිතෙන්නේ.”

කවිහාරි ඒ කතාව කිව්වේ ජානුට ලැබෙන අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක අමතක නැති ප්‍රතිචාරයක් ගැන ඇහුවම. ඒ විතරක් නෙවෙයි රඟපාන්න ගිහින් මුහුණපාන්න වූ අමතක නොවන සිදුවීමක් ගැනත් ඇය කිව්වා.

“දවසක් ජානු ටෙලිනාට්‍යයේම මගෙයි අල්පොන්සොගෙයි කාර් එක ඇතුළේ සීන් එකක් රූගත කරන්න තිබුණා. එදා ඒක ඉවරකරලා මං කාර් එකෙන් බහින වෙලාවේ අල්පොන්සෝ කාර් එක රිවස් කළානේ. ඉතින් එක රෝදයක් මගේ කකුල උඩින් ගියා. අම්මෝ එදා මහපට ඇඟිල්ලේ නියපොත්ත මුලින්ම කැඩිලා ගියා. ඒ සිද්ධිය මතක් වෙනකොට තාමත් මාව ගැස්සිලා යනවා.”

සමහරු කතාවට කියන දෙයක් තමයි අද පඳුරකට පයින් ගැහුවොත් නවක නිළියෝ බරගාණක් විසිවෙනවා කියලා. ඒ කතාවේ ඇත්තක් නැත්තෙම නෑ. මොකද දවස ගානේ පුංචි තිරයෙන් නවක නිළියෝ මතුවෙනවා. ඒත් ඔවුන් දකින්න ලැබෙන්නේ කෙටි කාලයයි. ඊට හේතුව ඔවුන්ට ක්ෂේත්‍රයේ රැඳෙන්න පැවැත්මක් හදාගන්න නොතේරෙන එක. ඒ ගැන මට කවිහාරිගෙන් අහලා බලන්න හිතුණේ ඇය වුණත් තවම පුංචි තිරයට අලුත් හින්දා. 

“අපි කරන නිර්මාණයට 100% ක් කැපවෙලා කරලා, ක්ෂේත්‍රයේ අයත් එක්ක අපිට සහයෝගයෙන් සුහදශීලිව ඉන්න පුළුවන් නම් වගේම අපිට ආදරේ කරන අපේ ප්‍රේක්ෂකයින් එක්ක සුහදව ඉන්න පුළුවන් නම් ඕනම නවකයෙක්ට හොඳ ගමනක් යන්න පුළුවන්.”

අද වෙනකොට ගොඩාක් නිළියෝ ටික්ටොක් වීඩියෝස් කරනවා. කවිහාරි කියන්නෙත් එහෙම කෙනෙක්. හැබැයි ඇය ඒ වැඩේ පටන්අරගෙන තියෙන්නේ කලා ක්ෂේත්‍රයට එන්න කලින් ඉඳන්. ඒ කොහොම වුණත් නිළියකට ටික්ටොක් ගැළපෙන්නේ නෑ කියලා කියන ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්න නිසා ඒකට උත්තරයක් අපි කවිහාරිගෙන් අහලා බැලුවා.

“ටික්ටොක් කියන්නේ සමාජ මාධ්‍යයේ තියෙන වටිනා ඇප් එකක්. අද වෙද්දි වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගුරුවරු පවා ඒක භාවිතා කරනවා. කෙනෙක්ට තමා තුළ තියෙන දක්ෂතාවයක් පෙන්වන්න, දැනුම බෙදාදෙන්න, බිස්නස් ප්‍රවර්ධනය කරගන්න වගේ ගොඩාක් දේවල්වලට ටික්ටොක් භාවිතා කරන්න පුළුවන්. ඒක සමහරු පාවිච්චි කරන විදියත් එක්කයි ඔය ප්‍රශ්නය තියෙන්නේ. හොඳ විදියට පාවිච්චි කරනවා නම් කවුරු වුණත් ටික්ටොක් වීඩියෝස් කළාට ගැටලුවක් නෑ.”

රට මොකක් වුණත් ජනප්‍රිය උදවිය වෙනුවෙන් ගොසිප් හැදෙන එක, මඩ ගහන සාමාන්‍ය දෙයක්නේ. පසුගිය ටිකේ කවිහාරිටත් සමහරු කවිහාරි නපුරුයි, ආඩම්බරයි වගේ කතා කියලා තිබුණා. ඒ ගැන ඇහුවම කවිහාරි මට දීපු උත්තරේ තමයි මේ.

“අනේ මං එහෙම නෑ. ඒත් ගොඩාක් අය මාව මනින්නේ ජානුගේ ගතිගුණවලින් කියලා මට හිතෙනවා. ටෙලිනාට්‍යයේ ජානු හොඳ කාලෙට හැමෝම මටත් හරි ආදරෙයි. ජානු නපුරු කාලෙට මං බැණුම් අහනවා. හැබැයි මාව මුණගැහිලා කතා කරපු කෙනෙක් කවදාවත් මං ආඩම්බර කෙල්ලෙක් කියලා කියන්නේ නෑ. එයාලා කියන්නේ අනේ ඔයා අපි හිතුවට වඩා හරිම හොඳයිනේ කියලා තමයි. පිටින් බලලා කෙනෙක් විනිශ්චය කරන නිසා තමයි ගොඩාක් අය ගැන සමහරු වැරදි ප්‍රතිරූප මවාගෙන ඉන්නේ.”

රංගන ජීවිතෙන් ටිකක් පැත්තකට ගිහින් කවිහාරිගේ පාසල් සමය ගැනත් අහලා බලන්න හිතුණේ ඒ කාලේ පාසල තුළ ඇය මොන වගේ ළමයෙක්ද කියලා දැනගන්නත් එක්ක.

“මං උසස්පෙළ වෙනකල්ම පාසල් ගියේ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට. ඒ කාලේ නම් වැඩිපුර හිටියේ ග්‍රවුන්ඩ් එකෙයි නැටුම් කාමරෙයි. ඇයි ඉතින් නටන්නයි සෙල්ලමටයි තමයි ඒ කාලේ කැමතිම. උගන්වන වෙලාවටත් පන්තියේ නෑ කියලා ඒ කාලේ හැමදාමත් මං බැණුම් අහනවා. හැබැයි කොයිතරම් දඟ වුණත් ඉගෙනගන්න එකත් කළා.”

හිනාවෙලා එහෙම කිව්වට මොකද කවිහාරි කියන්නේ පාසල් කාලේ ඉඳන්ම ශක්තිමත්ව අභියෝගවලට මුහුණදීපු තරුණියක්ලු. ජීවිතේට අභියෝග ආවම කවිහාරි ඒ අභියෝග බාරගන්න හැටි ගැන ඇහුවමයි ඇය මේ කතාව කිව්වේ.

“මං මොන අභියෝගය ආවත් සතුටින් බාරගන්න කෙනෙක්. හොඳම උදාහරණේ තමයි මං නිළියක් වුණු එක. මං කලිනුත් කිව්වනේ මං රඟපාන්න හිතන් හිටපු කෙනෙක් නෙවෙයි. ඒත් ඒ අභියෝගයත් මං බාරගත්තා. එහෙම බාරගත්ත නිසයි අද මං මෙතැන ඉන්නේ.”

ජීවිතේට ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නේ එක්කම ජීවත් නොවී ඒ ප්‍රශ්නෙන් හරි ඉක්මණට මිදෙන්නේ කොහොමද කියන එකත් කවිහාරි මේ වෙද්දි පුරුදු පුහුණු කරලලු තියෙන්නේ.

“ජීවිතේට ප්‍රශ්නයක් ආවම මං මුලින්ම බලන්නේ ඇයි මට මෙහෙම වුණේ කියන එක. ඊටපස්සේ තනියම කල්පනා කරලා විසඳුමක් හොයනවා. ඒ කරලත් බැරිවුණොත් මං ඊළඟට යන්නේ අම්මයි තාත්තයි ළඟට. උත්තර නැති ගොඩාක් ප්‍රශ්නවලට එයාලා ගාව හොඳ උත්තර තියෙනවා. ඒත් බැරිවුණොත් එකදිගට දවස් ගාණක් අඬලා හරි මම මගේ හිත ශක්තිමත් කරගන්නවා.”

පෙනුම අතින් ගත්තම කවිහාරිට තියෙන්නේ වෙනත් නිළියන් ළඟ නැති ඇයටම ආවේණික ලස්සනක්. ඒ නිසයි ගොඩාක් අය කවිහාරිව බෝනික්කෙක් වගේ කියලා කියන්නේ. ඇගේ ඒ පෙනුම ගැනත් ඇයගෙන් අහලා බැලුවේ කොයි තරුණියත් පෙනුම ගැන සැළකිලිමත් වෙන එකේ කවිහාරිත් ඒ ගැන කොච්චර සැළකිලිමත්ද කියලා දැනගන්න.

“තරුණියක් සාමාන්‍යයෙන් පෙනුම ගැන සැළකිලිමත් වෙනවා. මාත් එහෙමයි. මං පෙනුමට පිළිවෙලට සහ තව කෙනෙක්ට ප්‍රියමනාප විදියට ඉන්න ආසයි. හැබැයි එක එක දේවල් කරලා මට ලැබුණු මේ පෙනුම විකෘති කරගන්නේ නෑ. මං මගේ පෙනුම රැකගන්න නිතරම වගේ වතුර බොනවා. පලතුරු කනවා. ජිම් යනවා. ඒ වගේ දේවල් කරනවා. ඒ වගේමයි මගේ පෙනුමට ගැළපෙන විදියටයි මං ෆැෂන් කරන්නේ.”

මේ මෑතක් වෙනකල්ම තනිකඩව හිටියට මොකද කවිහාරි කියන්නේ දැන් පෙම්වතියක්ලු. ඒ නිසාම ආදරේ ගැනත් ඇයගෙන් අහලා බලන්න හිතුණේ ඇගේ ඒ තෝරාගැනීම කොයි වගේද බලන්න.

“අපි හැමෝටම හීන තියෙනවා. ඒ ගැන හිතලා අපි තෝරගන්න ඕන ඒ හීනවලට යන්න අපිට හයියක් වෙන කෙනෙක්. නැතුව අපිව හිරකරලා තියාගෙන ඉන්න කෙනෙක්ව නෙවෙයි. සාර්ථක විවාහ ජීවිතයකට මුල් අත්තිවාරම වැටෙන්නේ එතැනින්.”

කවිහාරි ඉන්නේ මහනුවර. අම්මා, තාත්තා ඇරුනම ඇයට ඉන්නේ නංගිලා දෙන්නෙක්. තාමත් වයස 23ක් වෙන ඇය මෙතරම් ලාබාල වයසේදි ඇවිත් තියෙන දුරත් එක්ක බැලුවම අනාගතයේ ඇය කලා ක්ෂේත්‍රයේ ලොකු දුරක් යයි කියලා පැහැදිලියි. ඉතින් ඒ වෙනුවෙන් ඇයට සුබපතන ගමන් මෙවර ‘ධරණී’ කියවන පාඨකයින් වෙනුවෙන් යමක් කියන්න කියන ඉල්ලීමත් කවිහාරිගෙන් කළා. මේ කවිහාරි, කියවන ඔබ වෙනුවෙන් කියපු ඒ වටිනා කියන කතාව.

“මං කලා ක්ෂේත්‍රයේ ලොකු කාලයක් ඉන්න එකක් නෑ. මොකද මං ආසයි මේ ලෝකේ වටේ ට්‍රැවල් කරන්න. ඒකටම කියලා මේ වෙද්දි යූටියුබ් චැනල් එකක් එහෙමත් පටන් අරගෙනයි තියෙන්නේ. අපි ජීවත්වෙන්නේ ටික කාලයයි.ඒ කාලේ අපි අපේ සතුට කොහොම හරි කරලා හොයාගන්න ඕනේ. ඉතින් මම ‘ධරණී’ කියවන අයටත් කියන්නේ කාගෙවත් නෙවෙයි ඔබේ සතුට වෙනුවෙන් හැමදේම කරන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩකරන්න.”

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප – චමත් ඒකනායක

ඇඳුම් – Thayo Outfits