ඒ චිත්‍රපටය පුරාම බිමල් ජයකොඩි අන්කල් මට දුෂ්ටකම් කරනවා – සහෙළි සතරසිංහ
‘ශ්‍රීදේවි කපූර්’ (Sridevi Kapoor) තමයි ඉන්දීය සිනමාවේ මුල්ම සුපිරි තාරකාව විදියට සැළකෙන්නේ. ඉතා අවාසනාවන්ත විදියට වසර කීපයකට කලින් දියේ ගිලී මියයන විටත් ඇය සිනමාවේ යාහැකි ඉහළම තැනට ගිහිල්ලයි හිටියේ. ශ්‍රීදේවි සිනමාවට අඩිය තිබ්බේ වයස අවුරුදු 4ක් තරම් ලාබාල වයසකදි. ඒ ‘කන්දන් කරුණෛ’ කියන දමිළ චිත්‍රපටයෙන්. ඒ විදියට ළමා නිළියක් ලෙසින් චිත්‍රපට ගණනාවකම රඟපෑ ඇය වයස අවුරුදු 16දි චිත්‍රපට ප්‍රධාන නිළියක් වෙන්න තරම් වාසනාවන්ත වුණා. අන්තිමේ ඇය නැවතුණේ ඉන්දීය රජය විසින් ලබාදෙන පද්ම ශ්‍රී සම්මානය, ෆිල්ම් ෆෙයාර් සම්මාන 5ක් ඇතුළු ඉන්දීය සිනමාව තුළ ලැබිය හැකි ඉහළම සම්මාන ලබාගත් ජනප්‍රියම නිළිය විදියට. ජීවතුන් අතර නැතත් අදටත් ඉන්දීය සිනමාවේ මුදුන් මල්කඩ විදියට ඇයව හඳුන්වන්නේ ඒ නිසා.
මට ‘ශ්‍රීදේවි කපූර්’ ගැන කියලම මේ කතාව පටන්ගන්න හිතුණේ ඇය වගේම ඉතාම ලාබාල වයසෙදි රංගන ක්ෂේත්රයට අඩිය තියලා අද වෙනකොට ලොකු දුරක් ඇවිත් ඉන්න පුංචි නිළියක් මුණගැහුනු නිසා. මේ දිනවල දින පනහ පසුකරමින් අතිසාර්ථකව තිරගත වන ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු ‘මන්දාරා’ චිත්‍රපටය නැරඹුවා නම් ඇය ගැන ඔබට අමුතුවෙන් හඳුන්වලා දෙන්න උවමනා නෑ. මේ කියන පුංචි නිළිය තමයි සහෙළි සතරසිංහ. මේ සතියට යෙදෙන ‘ලෝක ළමා දිනය’ නිසා මෙවර ‘ධරණී’ කවරය හැඩකරන්න අපි ආරාධනා කළෙත් පුංචි සහෙළි දුවට.
“අපේ අම්මා කියනවා මං අවුරුදු දෙක තුනේ ඉඳලම ටීවී එකේ සිංදුවක් එහෙම යනකොට නටනවලු. ළඟපාතක කවුරු හිටියත් ලැජ්ජාවක් බයක් නැතිලු. අපේ පුංචි ඒ වෙද්දි රටේ ජනප්‍රිය නිළියක් නිසා මමත් පුංචි ගියපු පාරේ යයි කියලා අපේ නෑදෑයෝ එහෙම අම්මලාට කියනවලු.”
සහෙළිගේ පුංචි තමයි අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ධනංජි තාරුකා. ඉතින් දවසක් දෙකක්ම සහෙළිගේ මේ නැටිල්ල දැකපු ධනංජිට හිතුණලු සහෙළි දුව වෙළඳ දැන්වීමකට සම්බන්ධ කරවන්න. ඒ වෙද්දි සහෙළිට යන්තම් වයස අවුරුදු තුන ලැබුවා විතරලු. වැඩේ කියන්නේ සහෙළිගේ හුරුබුහුටි පෙනුමත් එක්ක ඊටපස්සේ දිගටම වගේ වෙළඳ දැන්වීම්වලට ඉන්න සහෙළි දුවට ආරාධනා ඇවිත්.
“එහෙම වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා ඉන්නකොට මට ටෙලිනාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒක හරි අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. ජනප්‍රිය ටෙලිනාට්‍යය අධ්යක්ෂවරයෙක් වෙන රවීන්ද්‍ර විජේරත්න සර් ඔහුගේ අලුත්ම ටෙලිනාට්‍යයට පොඩි ළමයෙක් හොයලා තිබුණා. ඒ කාලේ අපේ පුංචිත් ඒ සර් එක්ක වැඩකරපු කාලයක්. ඉතින් දවසක් රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය රවීන්ද්‍ර සර්ට කියලා ඔයාගේ වැඩේට අර ධනංජිගේ අක්කගේ බබාව ගත්තා නම් හරිනේ කියලා. පස්සේ පුංචි මාව රවීන්ද්‍ර සර් ළඟට එක්ක ගියා. එතැනදි රවීන්ද්‍ර සර් මට අවස්ථාව දුන්නා රඟපාන්න. මට ටෙලිනාට්‍යය ක්ෂේත්රයට එන්න ලැබුණේ එහෙමයි.”
ඒ ටෙලිනාට්‍යය තමයි රවීන්ද්‍ර විජේරත්නගේ ‘සුජාතා’ ටෙලිනාට්‍යය. ‘සුජාතා’ නාට්‍යයේ රඟපානකොට සහෙළිට වයස අවුරුදු හය ලැබුවා විතරයි. හැබැයි පුංචි වුණත් ඇය සිරස නාලිකාවේ ගියපු ඒ ටෙලිනාට්‍යයේ දක්ෂ ලෙස රංගනයේ යෙදුනු නිසා ප්‍රේක්ෂකයින් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙන්නත් අවස්ථාව ලැබුණා.
“ඒක මට අලුත් අත්දැකීමක් වුණා. පුංචි රඟපානවා දැක්කම මටත් දිගටම පුංචි වගේ රඟපාන්න ආස හිතුණා. එහෙම හිතාගෙන ඉන්නකොටයි උදයකාන්ත වර්ණසූරිය සර්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඩොනල්ඩ් ජයන්ත කියන සර්ගේ සහාය අධ්‍යක්ෂණයෙන් කරපු ‘බන්ධනය’ කියන චිත්‍රපටයේ මට රඟපාන්න අවස්ථාවක් ලැබුණේ. ඒකෙන් පස්සේ ඩොනල්ඩ් සර් මාව තවත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රියන්ත කොළඹගේ සර්ට අඳුන්වලා දුන්නා. ඒ හරහා මට ඔහුගේ අතිශයෙන් ජනප්‍රිය වුණු ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ ප්‍රධාන ළමා නිළිය වෙන්නත් පුළුවන් වුණා.”
එතැනින් පස්සේ පුංචි තිරයේ අතිශය ජනප්‍රිය වූ තාරා, සකූගේ කතාව, සකූගේ ලෝකය කියන ටෙලිනාට්‍යයවල ප්‍රධාන ළමා නිළියගේ චරිතය රඟපෑ සහෙළි මේ දිනවලත් සුවිශේෂී සිනමා නිර්මාණයකින් අපිට මුණගැහෙනවා. ඒ, ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු ‘මන්දාරා’ චිත්‍රපටය. එහි ‘යශෝරා’ කියන ප්‍රධාන ළමා නිළියගේ චරිතයටයි සහෙළි දුව රංගනයෙන් දායකවෙන්නේ.
“මන්දාරා චිත්‍රපටයට මට එකතුවෙන්න ලැබුණේ ප්‍රියන්ත සර්ගේ දේදුනු ආකාසේ චිත්‍රපටයේ හිටපු නිසා ඒ හැඳුනුම්කම එක්ක. ඒක රූගතකිරීම් කළේ 2020දි. ඒ වෙද්දි මගේ වයස 12යි. දැන් මට වයස අවුරුදු 16ක් වෙනවා. ඒ චිත්‍රපටය මේ වෙද්දි දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වෙනවා. චිත්‍රපටයට වගේම එහි මං රඟපාන යශෝරා කියන චරිතයටත් ගොඩාක් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඒ ගැන මට ගොඩාක් සතුටුයි.”
සහෙළිට ලැබෙන ඒ ප්‍රතිචාර අතරින් අමතක නොවන ප්‍රතිචාරයක් ගැන ඇහුවම සහෙළි කිව්වේ ගොඩාක් අය ඇගේ චරිතයට සංවේදි වෙලා තිබුණු කතාවක්.
“චිත්‍රපටය බලපු හැමෝම වගේ කිව්වා මං හොඳට රඟපානවා කියලා. අම්මයි තාත්තයි දෙන්නත් එහෙම කිව්වා. මේ චිත්‍රපටය පුරාම වගේ බිමල් ජයකොඩි අන්කල් මට දුෂ්ටකම් කරනවා. ඒ දේවල් එක්ක චිත්‍රපටය නරඹපු ගොඩාක් අය මගේ චරිතයට සංවේදී වෙලා තිබුණා. ඒ අතරින් මට මුණගැහුනු ගොඩාක්දෙනා කිව්වා චිත්‍රපටය බලද්දි ඇඬුනා කියලා.”
ඒ චිත්‍රපටයේ සහෙළි එක්ක චුලක්ෂි රණතුංග, බිමල් ජයකොඩි, චාන්දනී සෙනවිරත්න, දිනක්ෂි ප්‍රියසාද්, මාධනී මල්වත්ත, මේඝ සූරියාරච්චි, සේමිණි ඉද්දමල්ගොඩ, ෆර්ණි රෝෂනී, ලක්ෂ්මන් මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වගේ කලා ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියක් ගණනාවක් රංගනයෙන් දායකවෙනවා. ඉතින් ලාබාල සහෙළිට ඔවුන්ගෙන් ලැබුණු සහාය මොන වගේද කියලත් අපි ඇයගෙන් අහලා බැලුවා.
“චිත්‍රපට කණ්ඩායමේ හිටපු පුංචිම කෙනා මං නිසා ඒ හැමෝගෙම ආදරේ මට අඩු නැතිව ලැබුණා. චිත්‍රපටයේ මට හුඟාක් රඟපාන්න ලැබුණේ චුලක්ෂි නැන්දයි සේමිනී නැන්දයි එක්ක. චුලක්ෂි නැන්දා දේදුනු ආකාසේ චිත්‍රපටයේ මගේ අම්මට හිටපු නිසා ඒක ලොකු පහසුවක් වුණා. ඒ වගේමයි ‘මන්දාරා’ අධ්‍යක්ෂණය කරපු ප්‍රියන්ත කොළඹගේ සර්වත් ආදරෙන් මතක් කරන්නම ඕනේ.
ඒ චිත්‍රපටයේ එක තැනක තියෙනවා බිමල් අංකල් මගේ අම්මයි තාත්තයි කෝච්චියට අහුවෙන්න රේල් පාරක බැඳලා දාලා තියෙන දර්ශනයක්. එතැනදි කෝච්චියක් එනවා. මට තියෙන්නේ දුවලා දුවලා ගිහින් කෝච්චි පාර මැදට පැනලා කෝච්චිය ඉස්සරහට දුවගෙන ගිහින් ඒක නවත්තන්න කියලා කෑ ගහලා අඬන්න. ඒත් මං ඒක කරන්න බයවුණා. මට හිතුණා කොච්චිය මාවත් යටකරගෙන යයිද කියලා. පස්සේ ප්‍රියන්ත කොළඹගේ සර් ඒක මට කරලා පෙන්නුවා. පස්සේ බය නැතිවුණා. එදා ශූට් එක අවසානේ කෝච්චිය එළවපු අන්කල් ප්‍රියන්ත සර්ට කිව්වලු, මං කිසිම බයක් නැතුව ඒක කළා කියලා. ඒක අහලා මට පුදුම සතුටක් දැනුණේ.”
සහෙළි එහෙම කිව්වේ ඇයගේ රංගන ජීවිතේ අමතක නැති මතකයන් ගැන ඇහුවම. ඒ අතරෙයි සහෙළි අපිත් එක්ක කිව්වේ අමතක නැති මතකයන් වගේම අමතක කරන්න බැරි ජයග්‍රහණ ගණනාවකුත් ඇයට තියෙනවා කියලා.
“2016 රයිගම් සම්මාන උළෙලේ, 2017 සුමති සම්මාන උළෙලේ, 2018 සිග්නීස් සම්මාන උළෙලේ සහ ඒ වසරේම තිබුණු සරසවි සම්මාන උළෙලේ මට කුසලතා සම්මාන ලැබුණා. 2020 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලෙත් කුසලතා සම්මානය ලැබුණා. 2021 Srilankan Top 100 Awards සුවිශේෂී සම්මානයත් මට හිමිවුණා. මං ළමා නිළියක් විදියට දිනාගත්ත ඒ හැම සම්මානයක්ම වගේ මට හරි විශේෂයි.”
සහෙළිගේ පුංචි, ජනප්‍රිය රංගන ශිල්පිනී ධනංජි තාරුකාගෙනුත් ඇයට නිතරම ගුරුහරුකම් ලැබෙන බවකුයි සහෙළි ‘ධරණී’ට කිව්වේ.
“පිටපතක් ලැබුණම අම්මයි තාත්තයි තමයි ඒක මුලින්ම බලන්නේ. පස්සේ ඒ ගැන මගෙත් එක්ක කතා කරනවා. අපි ඒක බාරගත්තොත් ඒ දෙන්නා මං ශූටින් එක්ක යනවා. ධනංජි පුංචි ගැන කීවොත් එයා මගේ නාට්‍යය හැම එකක්ම වගේ පුළුවන් වෙලාවට බලනවා. ඒ බලලා මට හොඳ නරක කියනවා. රංගනයේ අඩුපාඩු එහෙම තිබුණොත් ඒ දේවලුත් කියලා දෙනවා. ඇත්තටම කිව්වොත් පුංචි මගේ රංගන ගමනට ලොකු ආශිර්වාදයක්.”
16 හැවිරිදි සහෙළි තාමත් පාසල් යන ශිෂ්‍යාවක්. ඇය ඉගෙනුම ලබන්නේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ. ඉතින් ඉදිරියේදී සාමාන්‍යපෙළ විභාගයට මුහුණදෙන්න ඉන්න ඇයට රංගන කටයුතු බාධාවක් නැද්ද කියලත් අපි අහලා බැලුවා.
“ඇත්තටම මං අධ්‍යාපන කටයුතු සහ රංගන කටයුතු කියන දෙක සමබරව කරගෙන යනවා. ඒකට මට අම්මයි තාත්තයි දෙන්නත් ලොකු ශක්තියක් වෙනවා. හැබැයි තවත් මාස කීපයකින් සාමාන්‍ය පෙළ විභාගය තියෙන නිසා අලුත් නිර්මාණ කිසිදෙයක් බාරගත්තේ නෑ.”
*සහෙළි දැන් පාසලේ සෑහෙන්න ප්‍රසිද්ධ ඇති නේද?
“ඔව් ප්‍රින්සිපල් මැඩම්ගේ ඉඳලා අපේ පාසලේ ගුරුවරු සහ අක්කලා නංගිලා හැමෝම මාව දන්නවා. මං නිසා එයාලා මන්දාරා චිත්‍රපටය බලලා තිබුණා. එයාලා කිව්වා සහෙළි ඒකෙ හොඳට රඟපානවා කියලා. ඒ වගේම පන්තියේ යාළුවොත් හැමකෙනාම වගේ චිත්‍රපටය බලන්න ගිහිල්ලා තිබුණා. ඒ අය බලලා ඇවිදින් මගෙන් ඇහුවා සහෙළි ඔයාට කෝච්චිය ඉස්සරහට දුවගෙන යද්දි පොඩ්ඩක්වත් බය හිතුණේ නැද්ද කියලා.”
සහෙළිගේ ගෙවල් තියෙන්නේ කොළඹ. අම්මයි තාත්තයි ඇරුනම ඇයට ඉන්නේ නංගියි මල්ලියිලු. පාසල් ගමනෙන් පස්සේ අනාගතයේ මොන ක්ෂේත්රය තෝරගත්තත් රංගනය නම් අත්හරින්න කිසිම බලාපොරොත්තුවක් නෑ කියලා සහෙළි කිව්වා. එහෙම කියපු සහෙළි කතාබහ අවසානෙට ‘ධරණී’ කියවන ඔබෙන් පුංචි ඉල්ලීමකුත් කළා.
“මං මේ තරම් පුංචි වයසකදී රංගන ක්ෂේත්රයේ ලොකු ගමනක් ආවේ මගේ අම්මයි තාත්තයි පිටිපස්සෙන් ඉඳගෙන මට හයියක් වුණු හින්දා. මගේ හැකියාව තුළින් ඉදිරියට යන්න එයාලා මට ගොඩක් උදව් කළා. කිසිම දවසක විරුද්ධ වුණේ නෑ. නිකන් හරි එහෙම විරුද්ධ වුණා නම් අද සහෙළි කියලා නිළියක් නෑ. ඉතින් ධරණී කියවන නැන්දලා මාමලගෙන් ඔයාලගේ දරුවන්ගේ දක්ෂතා හඳුනගෙන ඒවායෙන් ඉදිරියට යන්න ඔවුන්ට උදව් කරන්න කියලයි.”
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
හැඩගැන්වීම – UMA SALON (උමන්දිකා තිලකරත්න)
ඇඳුම් – SHIRO FASHION, අතුරුගිරිය
ආභරණ – OH MY CHARMS (ශානිකා වික්‍රමසිංහ)