මාව ඇදගෙන ගිය කෙනාගේ අත අතහැරිලා මම වැටුණා ඒ වැටිල්ල නම් ජීවිතේට අමතක වෙන්නේ නෑ
“ආයුබෝවන්. සුබ උදෑසනක්.
සුපුරුදු පරිදි අදත් පුවත්පත් තොරතුරු ගෙන එන්නේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී
බන්දුල පද්මකුමාර මහතායි.”
මීට අවුරුදු කිහිපයකට කලින් ඔය වචන ටික ඇහුණේ සියත නාලිකාවේ විකාශය වුණ ‘මුල් පිටුව’ පුවත්පත්
විස්තර වැඩසටහනෙන්. වැඩහටහන පටන්ගනිද්දීම ඇහෙන ඒ වචන කිහිපයත් එක්කම ඔසරියකින්
සැරසුණ තරුණියකුත් රූපවාහිනී තිරයේ දකින්න ලැබෙනවා. ඔය විදියට මාරුවෙන් මාරුවට නිවේදිකාවෝ
තුන්දෙනෙක්ම බන්දුල පද්මකුමාර මහත්තයාත් එක්ක ඔය වැඩසටහන ඉදිරිපත් කරන්න සැදී පැහැදී
හිටියා. ඒ අතරින් එක් නිවේදිකාවක් තමයි මනීෂා කන්දෙකුඹුර. මැදින් බෙදපු කොණ්ඩයක් එක්ක මදහස
නොඅඩු උවනකින් සැරසුණු මේ හීන්දෑරී තරුණියව ඒ කාලේ මුල් පිටුව බලපු උදවියට නම් අමතක වෙන්න
විදියක් නැහැ. හරියටම ඊට අවුරුද්දකට විතර පස්සේ ඒ තරුණියම ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය
වුණ ‘ආයුබෝවන් ශ්‍රී ලංකා’ වැඩසටහන තුළිනුත් දැකබලාගන්න පුළුවන් වුණා. හැබැයි එදා නිවේදිකාවක්
විදියට රූපවාහිනී තිරයේ දැකපු මනීෂාව දැන් නම් වැඩිපුර දකින්න ලැබෙන්නේ පුංචි තිරයේ නිළියක්
හැටියටයි. නිවේදිකාවක් වෙන්න ඇවිත් අවසානයේ නිළියක් වුණ අන්න ඒ මනීෂාටයි මෙදාසැරේ ‘ධරණී’
කවරය සරසන්න අපි ආරාධනා කළේ.
“පුංචි කාලේ ඉඳන්ම මගේ එකම හීනය වුණේ කවදහරි දවසක ලංකාවේ
ප්‍රසිද්ධ නිවේදිකාවක් වෙන එකයි. ඒක නිසා ඉඩක් ලැබුණ හැමවෙලාවකම
කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එක එක විදියට නිවේදිකා චරිත අනුකරණය
කරන එක පුංචි සන්දියේ ඉඳන්ම මගේ පුරුද්ද වෙලා තිබුණා.”
වැඩිකල් නොයාම ඇගේ ඒ පුරුද්දට තටු ලැබුණේ ඇගේ දෙමව්පියන් ඇයව නිවේදනය පිළිබඳ පාඨමාලාවකට
ඇතුළත් කිරීමත් සමඟයි.
“මුල ඉඳන්ම මගේ දෙමව්පියන් මගේ හැකියාවන් අඳුරගත්තා. එයාලට ඕන
වුණේ මගේ කැමැත්ත වගේම හැකියාව තියෙන පැත්තෙන් ඉදිරියට යවන්න.
කවදාවත් ඔයා මේ දේ කරන්න අර දේ කරන්න කියලා මට බල කළේ නැහැ.
ඒකේ ප්රතිඵලයන් විදියට තමයි මට නිවේදන පාඨමාලාවට සම්බන්ධ වීමට
අවස්ථාව ලැබුණේ. ඒත් එක්කම මට අවස්ථාව ලැබුණා ළමා නිවේදිකාවක්
විදියට සිරස නාලිකාවේ වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වෙන්න.”
ළමා නිවේදිකාවක් විදියට රූපවාහීනී නිවේදන කලාවට අත්පොත් තබපු මනීෂාට 2017 අවුරුද්දේ මුල් පිටුව
වැඩසටහනට වගේම 2018 අවුරුද්දේ ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ වෙන්නත් අවස්ථාව
ලැබුණලු. ඒ අතරින් ඇගේ නිවේදන හීනයට ලොකුම ආශිර්වාදය වෙලා තිබුණේ මුල් පිටුව වැඩසටහන
ඉදිරිපත් කරපු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ ඇසුරයි.
“පුංචි කාලේ ඉඳන්ම මම නිවේදන කලාවේ නිරතවෙලා ඉඳපු කෙනෙක් වුණත්
පුවත්පත් විස්තර වැඩසටහනක පත්තර කියවන්නෙ කොහොමද කියන එක
ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නැහැ. ඒත් මුල් පිටුව වැඩසටහනට
සම්බන්ධ වෙන්න ලැබීමත් එක්ක ඒ හැමදෙයක්ම ඉගෙනගන්න පුළුවන් වුණා.
එහෙම පුළුවන් වුණේ අඩුවක් නැතුව ලැබුණ බන්දුල සර්ගේ ගුරුහරුකම්
නිසයි. මොකද පත්තර කියවද්දි වචන කැඩිය යුතු තැන්, ඉදිරිපත් කරන්න
ඕනෙ ආකාරය ඒ හැමදෙයක්ම සර් කිසිම ගුරු මුෂ්ඨියක් නැතුව කියලා
දුන්නා. ඇත්තටම ඒක මට වගේම අනිත් නිවේදිකාවන්ටත් ලොකු හයියක්
වුණා. බන්දුල සර් කියන්නේ නිතරම හිනාවෙලා ඉන්න හරිම නිහතමානී
ඇවිදින පුස්තකාලයක් වගේ පුද්ගලයෙක් කිව්වොත් වරදක් නැහැ. පුතේ කියන
ආදරණීය ඇමතුම සර්ගේ ළඟ නිතරම රැඳුණ ආදරණීය වචනයක්. ඒ
වචනෙත් එක්කම සර් නිතරම අපිට කිව්වේ ඉඩක් ලැබෙන හැම මොහොතෙම
පුහු දේවල් කියවන්න, හොයන්න වෙලාව වෙන් කරන්නෙ නැතුව වටිනා
පොතපත, පත්තර කියවන්න කියලා. ඒ වගේම තමයි කිසිම වෙලාවක තව
කෙනෙක්ව අනුකරණය නොකර තමන්ගේ හැකියාවලින් පුළුවන් තරම් ඉදිරියට
යන්න කියලයි ඔහු නිතරම කිව්වේ. එතුමා වගේ කෙනෙක්ගෙන් ඒ වගේ
ගුරුහරුකම් ලැබීමම ජීවිතේ මම ලබපු ලොකු වාසනාවක්. අද එතුමා ජීවතුන්
අතර නැති වුණත් ඒ ලබපු ගුරුහරුකම් අදටත් ජීවිතේට වටිනා පාඩම්.
නිවේදන කලාවෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න වර්තමාන
පරම්පරාවට එතුමගේ ගුරුහරුකම් අහිමිවීම නම් ලොකු අඩුවක්.”
පුංචි කාලේ ඉඳන් තමන් දැකපු නිවේදක හීනය ඒ විදියට ටික ටික දළු ලා වැඩෙද්දී නිළියක් වීමේ පුංචි
ආසාවකුත් ඇගේ හිතේ කොණක නළියමින් තිබිලා තිබුණා. හැබැයි ඒ ආසාව සැබෑවක් බවට පත් කරගන්න
ඇයට හැකි වුණේ 2020 අවුරුද්දෙ මැද වෙද්දීයි.
“ඉතිං මට ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණේ හිරු නාලිකාවේ විකාශය
වුණ ‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යය හරහායි. මට එතැනදී ලැබුණේ පෞද්ගලික
ලේකම්වරියක් විදියට පුංචි චරිතයක්. මට කොහොමත් ඕනෑවුණේ පුංචි
තැනින් පටන්ගන්න. ඒ ලැබුණ පුංචි චරිතය සතුටින් භාරගත්තා වගේම ඒ
චරිතය වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නත් මම උත්සාහ කළේ
ඒ නිසයි. ඊටපස්සේ හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයේ රොමානා විදියටත්,
අක්ෂි ටෙලිනාට්‍යයේ නතාෂා විදියටත් බයෝ, මේන්කරැක්ටර්, සියෝ වගේ
ටෙලිනාට්‍යවල රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා.”
ඒ අතරින් ඇය රංගනයෙන් දායක වුණ අක්ෂි ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ගැන මට ඇගෙන් නොඅසාම ඉන්න
බැරි වුණේ මීට අවුරුද්දකට ඉහතදී මටත් අහම්බෙන් ඒ අවස්ථාවට සහභාගි වෙන්න හැකියාවක් ලැබුණ
නිසයි. ඒ නිසාම පෑලියගොඩ වත්තක තිබුණ ඒ රූගතකිරීම් අතරතුර එහි වසන පැල්පත්වාසී දරුවන්
කිහිපදෙනෙක් මනීෂාව වටකොටගෙන සතුටුසාමීචියේ යෙදුණ හැටි මගේ මතකයේ තිබුණා. ඉතිං ඒ
මතකය ඇයත් මතක් කළේ ඒ අතරතුරේමයි.
“එදා ඒ වත්තේ හිටපු හැම කෙනෙක්ම අපිට දැනුණේ අපේම නෑයෝ වගේ.
අපිව වට කරගෙන අපිත් එක්ක කතා කරද්දි ඒ අයගේ ඇස්වලින් බේරුණ
සතුට මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක නිසා අක්ෂි ටෙලිනාට්‍ය
රූගත කිරීම් සිද්ධ වුණ හැම තප්පරයක්ම මගේ ජීවිතේ අමතක නොවෙන
සිද්ධි වෙලා අවසන්. ඉතින් මේ වගේ විවිධ චරිත එක්ක විවිධ පරිසරවල
ජීවත්වන මිනිස්සු එක්ක අපිට ගනුදෙනු කරන්න රංගනය හරහා අවස්ථාව
ලැබිලා තියෙනවා. ඒකත් එක හේතුවක් මම මේ රංගන වෘත්තියට ආදරය
කරන්න. මට විතරක් නෙවෙයි මොන වෘත්තියක යෙදෙන කෙනෙක් වුණත් ඒ
විදියට තමන්ගේ වෘත්තියට ආදරේ කරන්න හේතු හදාගත්තම ඒ දේවල්
කවදාවත් පීඩනයක් බවට පත්වෙන්නේ නැහැ.”
ඇය ආදරයෙන් රඟපාපු අක්ෂි ටෙලිනාට්‍යයේ චරිතයට වගේම අනෙක් හැම චරිතයකටම පන්නරයක් වෙලා
තිබුණේ පාසල් කාලයේ ඉඳන්ම වේදිකා නාට්‍යවල වගේම රාජ්‍ය නාට්‍යය උළෙලෙත් රඟපාලා ඇය ලබපු
අත්දැකීම්ලු.
“පුංචි කාලේ අපි ලබන සමහර අත්දැකීම් කාලයක් යද්දී අපේ ගමනට ලොකු
ශක්තියක් වෙනවා. මටත් ඒ දේ ඒ විදියටම සිද්ධ වුණා. පාසල් කාලයේදී
වේදිකා නාට්‍ය, නිවේදනය, නර්තනය වගේම ක්‍රීඩාවෙන් මම දක්වපු දක්ෂතා
තමයි මගේ මේ ගමනටත් ලොකු ශක්තියක් වුණේ. ඒ නිසා මම හිතන්නේ
පාසල් කාලය කියන්නේ අපේ හැකියා ඔපමට්ටම් කරගන්න ලැබෙන හොඳ
අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තාම රැකියාවක් කරන
කාලෙකදි වුණත් ඒ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න අපිට ශක්තියක් ලැබෙනවා
කියලා මම විශ්වාස කරනවා.”
ඒ අතරතුරේ රඟපාන්න ගිහින් අමාරුවේ වැටුණු වෙලාවක් ගැනත් මනීෂා සිහිපත් කළා.
“මේන්කැරැක්ටර් ටෙලිනාට්‍යයේ රඟපාද්දී වතුර ගොඩක මාව ඇදගෙන යන
කොටසක් තිබුණා. ඒ වෙලාවෙ මාව ඇදගෙන යද්දී ඇදගෙන ගිය කෙනාගේ
අත අතහැරිලා ගිහින් මාව ලිස්සලා වැටුණා. ඒ වැටිල්ලේ තරම කොච්චරද
කියනවා නම් දවස් ගාණක් යනකල් කකුලේ වේදනාව නැති වුණේ නැහැ.”
රඟපාන්න ගිහින් වැටුණා වගේම සැබෑ ජීවිතෙත් කඩාගෙන වැටුණ අවස්ථා නැතිද කියලයි මම ඊළඟට
ඇගෙන් ඇසුවේ.
“එහෙම අවස්ථා නම් ඕනෑතරම් තිබිලා තියෙනවා. මම හිතන්නේ ඕනෑම
කෙනෙකුගේ ජීවිතවල එහෙම අවස්ථා තියනවා. හැබැයි වැදගත් වෙන්නේ
ප්‍රශ්නයක් ආවම අපි ඒක භාරගන්නෙ කොහොමද සහ ඒකට මුහුණදෙන්නේ
කොහොමද කියන එකයි. අනිත් එක අපි තේරුම්ගන්න ඕනෑ අනිත් හැමදේම
වගේ ප්‍රශ්නත් තාවකාලිකයි කියන එක. එහෙම හිතලා හොඳ කල්පනාවෙන්
සහ ඉවසීමෙන් වැඩ කළොත් ප්‍රශ්නවලට අපේ ගමන නවත්තන්න බෑ.”
නෙත්මි තෂාරා
ඡායාරූප – චමත් ඒකනායක
මේකප් – රවිඳු උඩුවරගේ
පසුතලය – සෝලිස් හොටෙල්, පිටකෝට්ටේ