නවතම ප්‍රවෘත්ති

ඇත්තටම එදා ඒ ගීතය ගායනා කරද්දි මට ඇඬුනා – අයෝමි පෙරේරා

තිස්වසරක් පුරාවට පැවති යුද්ධය 2009 අවුරුද්දේ අවසන්වීමත් එක්ක ඒ වෙනුවෙන් කැපවුණු අභීත රණවිරුවන් වෙනුවෙන් ‘රණවිරු රියල් ස්ටාර්’ නමින් ගායන රියැලිටි තරඟයක් ඇරඹුණා. ඒ එවකට සිටි ආරක්ෂක ලේකම්තුමාගේ සංකල්පයකට අනුව. එහි මූලික අරමුණ වුණේ එතෙක් කාලයක් රණවිරුවන්ගේ සැඟව තිබුණු ගායන කුසලතා ඔවුන්ට පෙන්වීමට අවස්ථාවක් ලබාදීම. ඒ තරඟ වේදිකාවෙන් බිහිවෙලා අද වෙනකොට රටේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වෙලා ඉන්න කෙනෙක් තමයි අයෝමි පෙරේරා කියන්නේ. අයෝමි තමයි රණවිරු රියල් ස්ටාර් තරඟාවලියේ දෙවැනි අදියරෙහි ජයග්‍රාහිකාව. ඉතින් ඒ මතකය වගේම ඇගේ අලුත් වැඩකටයුතු ගැන අහන්න මෙවර අපි අයෝමි පෙරේරාට කතා කළා.

 

*ඉතින් අයෝමි මේ දවස්වල සංගීත වැඩකටයුතු කොහොමද?

පසුගිය ජූනිවලදි මගේ යුද හමුදා වසර 15 සේවා කාලය අවසන් වුණා. ඒ එක්ක දැන් ම‍ට මගේ සංගීත වැඩකටයුතුවල යෙදෙන්න පූර්ණ නිදහස තියෙනවා. මේ ටිකේ මට සංගීත ප්‍රසංග ගණනාවකට ආරාධනා ආවා. ඒවාටත් පුළුවන් විදියට සහභාගි වෙනවා. ඒ වගේම මගේ අලුත් ගීතයකුත් ඉදිරියේදී එළිදක්වනවා.

 

*අලුත් ගීතය වෙනස් වැඩක් කියලා තමයි අපිට ආරංචි. ඒක ඇත්තද?

ඔව් ඒක මේ යන රැල්ලට කරපු වැඩක් නෙවෙයි. තරමක වෙනස් නිර්මාණයක්.

 

*ඒ ගීතය ගැන කෙටියෙන් කියන්න පුළුවන්ද?

දරුවෙක් ලැබෙන්න ඉන්න එක අම්මා කෙනෙක්ට ඒ දරුවා අහිමිවෙන හරිම සංවේදී කතාවක් ගීතයේ තියෙන්නේ. ඒ ගීතය නම් කරලා තියෙන්නේ ‘පයෝධර තුඩු ඉකිබිඳී’ කියලා. පද රචනය කළේ ජයමුදිතා ජයසූරිය. සංගීතය නවරත්න ගමගේ මහතාගේ.

 

*රණවිරු රියල් ස්ටාර් දෙවැනි අදියර ජයග්‍රහණය කළේ ඔබ. ඒ ගැනත් මතක් කරමු නේද?

පුංචි කාලේ ඉඳන්ම ම‍ම ගීත ගායනයට දක්ෂයි. පාසලේදි දහම් පාසලේදි ගායන තරඟයක් තිබ්බොත් මං දිනනවා. පාසල් අධ්‍යාපනය අවසන් වුණාම මට අවස්ථාව ලැබුණා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායට බැඳෙන්න. එහි සේවය කරද්දි තමයි මං රණවිරු රියල් ස්ටාර් දෙවැනි අදියරට ඉදිරිපත් වුණේ. ඒ 2012 දි. ඉතින් ම‍ට ඒක ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය.

 

*මං හරි නම් ඔබ ගුවන් විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායිකාවක්?

ඔව්. අපේ රටේ ප්‍රවීණ ගායක ගායිකාවෝ ගොඩාක් බිහිවුණේ එතැනින්. මං හිතන විදියට ඒ අවස්ථාව නිසාම මගේ ගායන ජීවිතයට ලොකු වටිනාකමකුත් ලැබුණා.

 

*ප්‍රසංග වේදිකාව උඩදි ඔබට අපේ රටේ ප්‍රවීණ ගායන ශිල්පිනියන්ගේ ගීත ගායනා කරන්න ඉල්ලීම් එනවලු නේද?

(සිනාසෙමින්) ඔව් සුජාතා අත්නනායක, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල වගේ අපේ රටේ ප්‍රවීණම ගායිකාවන්ගේ ගීත ගයන්න කියලා ඉල්ලීම් එනවා. මං ඉතින් මගේ ගීත ගායනා කරන අතරේ ඔවුන්ගේ ගීතයකුත් ගායනා කරනවා. ඒ ගීත මගේ හඬින් අහන්න ගොඩාක් අය කැමතියි. මුල් ගායිකාවන්ට ගෞරවයක් විදියටයි ඒ ගීත මං ගායනා කරන්නේ.

 

*ප්‍රසංග වේදිකාවේ අමතක නොවන දවස් එහෙම තිබිලා නැද්ද?

එකපාරක් කුරුණෑගල රණවිරු සංගීත ප්‍රසංගයක් තිබුණා. එදා මං නිල ඇඳුමින් ගිහින් ගීත ගායනා කළේ. ඉතින් මං ගීත ගායනා කරද්දි තාත්තා කෙනෙක් ඇවිත් මට වැන්දා. ඒ දවස අමතක වෙන්නේ නෑ.

 

*ඔය හඬ චිත්‍රපට පසුබිම් ගීතවලට ගැළපෙනවා කියලා මං කිව්වොත්?

සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණම අයත් කිහිපදෙනෙක්ම ඔය කතාව මට කියලා තියෙනවා. කොහොමත් මේ වෙද්දිත් මං චිත්‍රපට 20ක විතර පසුබිම් ගායනයෙන් දායකවෙලා තියෙනවා.

 

*ඔබ මව්ගුණ ගීතයක් ගායන කරන අතරවාරේ සංවේදී වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධයි. ඒ ගැන කිව්වොත්?

මට අම්මා ගැන තාත්තා ගැන කියවෙන ගීතයක් ගායනා කරද්දි තරමක් සංවේදී වෙනවා. ඔය කියන වීඩියෝවත් එහෙම අවස්ථාවක්. පසුගියදා මම ටීවී ප්‍රෝගෑම් එකකට ගියා. ඒකෙදි නිවේදකයා කිව්වා අම්මා ගැන ගීතයක කොටසක් ගායනා කරන්න කියලා. ඒ වෙලාවේ මම හුඟාක් සංවේදී වුණා. ඇත්තටම එතැනදි ඇ‍ඬුනා.

 

*ඔබේ පෙනුමත් එක්ක රඟපාන්න ආරාධනාවක් ආවොත් බාරගන්නවද?

ආරාධනා නම් එනවා. මං නිර්මාණ කිහිපයකම රඟපාලත් තියෙනවා. ඒත් ඉතින් මං මුල්තැන දෙන්නේ ගායනයට. 

 

*ඔබේ පවුලේ විස්තර දැනගන්නත් රසික රසිකාවියෝ කැමති ඇති?

මගේ ගම වාද්දූව. ඒත් දැන් නම් ඉන්නේ බත්තරමුල්ලේ. අපේ පවුලේ ඉන්නේ අම්මා ඇරුනම අක්කලා දෙන්නයි නංගියි. තාත්තා නැතිවෙලා.

 

*අයෝමිට විවාහවෙන්න අදහසක් එහෙම නැද්ද?

(සිනාසෙමින්) ගැළපෙන කෙනා තවම මුණගැහුනේ නෑ. එයා මුණගැහුනොත් විවාහයක් ගැනත් සලකලා බලමු නේද?

 

රුවන් එස්.සෙනවිරත්න