නවතම ප්‍රවෘත්ති

මේ ඇමතිකම වගකීමක් මිසක වරප්‍රසාදයක් නෙවෙයි කාන්තා හා ළමා කටයුතු ඇමතිනී – සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

අභිනව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක බහුතර ජනතා මනාපයෙන් තේරීපත් වූ පසු
ඔහුගේ අමාත්‍ය මණ්ඩලයක් තෝරපත් කරගැනීම සඳහා පැවැත්වුණු දසවැනි පාර්ලිමේන්තු
මැතිවරණය පසුගියදා 14 වැනිදා අවසන් විය. එම පාර්ලිමේන්තු මැතිවරණය දේශපාලන ඉතිහාසය
තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වන්නේ වැඩිම කාන්තා පිරිසක් පාර්ලිමේන්තුවට තේරීපත්වුණ
මැතිවරණයක් ලෙසයි. ඒ අනුව ජාතික ජන බලවේගය පමණක් නියෝජනය කරමින් අගමැතිනි හරිනි
අමරසූරිය ඇතුළු මන්ත්‍රීවරියන් 12 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත්විය. එම 12 දෙනා අතුරෙන්
කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස පසුගියදා දිවුරුම් දෙනු ලැබුවේ මාතර
දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වුණ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ය. එම
දිවුරුම් දීමත් සමඟ ඇගේ ඉදිරි වැඩපිළිවෙල විමසා බැලීමට අප ඇයව සම්බන්ධ කරගත්තා. නව කාන්තා
හා ළමා කටයුතු අමාත්‍යවරිය සමඟ සිදුකළ එම සංවාදයේ සටහනයි.

*මේ තරම් කාන්තා නියෝජනයක් තියෙන දහවන පාර්ලිමේන්තුවේ මෙවැනි
වගකීම් සහගත අමාත්‍ය ධුරයක් ඔබටම හිමිවෙන්න විශේෂ හේතුවක්
තිබුණද?
මම අවුරුදු 20ක් තිස්සේ කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා
තියෙනවා. දරුවන් සහ කාන්තාවන්ගේ අයිතීන් උදෙසා කටයුතු කරන්න කාන්තා සංවිධානයකුත්
පවත්වාගෙන ගියා. ඒ සංවිධානයේ සභාපති විදියට අදටත් මම කටයුතු කරනවා. ඒ වගේම 2018
අවුරුද්දෙදී රට පුරා විහිදුණු ප්‍රගතිශිලී කාන්තා සංවිධාන එකතු කරලා ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව
කියලා සංවිධානයක් හදන්න කටයුතු කළා. අදටත් මම එහි සමාජිකාවක්. ඊටපස්සේ ජාතික ජන

බලවේගයට සම්බන්ධවෙලා කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා.
ඉතින් මේ හැමදේම හේතුවක් වෙන්න ඇති මම මේ අමාත්‍ය ධුරය සඳහා සුදුසුයි කියලා හිතන්න.

*ඔබේ නම කරලියට ආවේ මෙවර මහ මැතිවරණයත් සමඟ. ඒත් ඊට පෙර
ඔබේ දේශපාලන පසුබිම මොනවගේද?
මම 2000 අවුරුද්දේ ඉඳන් ජනතා විමුක්ති පෙරමුණේ කාන්තා අංශයේ වැඩ කරපු කෙනෙක්. පක්ෂ
සාමාජිකත්වය ලැබුවේ 2004 අවුරුද්දෙයි. ඒ වෙද්දිත් මම සුනාමි ව්‍යසනය නිසා විපතට පත්වූවන්ට
සහන සැලසීමේ රතු තරුව ස්වේච්ඡා සංවිධානයේ සාමාජිකාවක් වෙලයි හිටියේ. එහෙම අරඹපු මගේ
දේශපාලන ගමනට මේ වෙද්දී අවුරුදු 24ක්. ඒ දේශපාලන ගමන තුළදීම තමයි මට මගේ සැමියා වෛද්‍ය
අසිත අමරකෝන්ව මුණගැහුණෙත්. ඔහු පාසල් කාලයේදී වගේම විශ්වවිද්‍යාලයේදීත් ශිෂ්‍ය
දේශපාලන ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට කටයුතු කරපු කෙනෙක්. ඒක නිසා මට
දේශපාලන ආභාසය ගොඩක්ම ලැබුණේ ඔහුගෙන්. මොකද අපි දෙන්නගේම පවුල්වල කිසිම කෙනෙක්
දේශපාලනයට සම්බන්ධ නැහැ. ඒක නිසා අපි පවුල් පසුබිමෙන් දේශපාලනයට ආපු අය නෙවෙයි. හැබැයි
අපි පවුලක් වුණේ දේශපාලනය නිසයි. ඉතින් සැමියාගේත් මගපෙන්වීම එක්ක මම දේශපාලනයේ
නිරත වුණා. අපි නිතරම ස්වේච්ඡාවෙන් වැඩ කළා.

*ඔබ කාලයක් උපාධිධාරිනියක් වගේම ගුරුවරියක් විදියටත් කටයුතු කළා
නේද?
මම කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳව උපාධිධාරිනියක්. විශ්වවිද්‍යාල
අධ්‍යාපනයෙන් පස්සේ මම භාෂාව පිළිබඳ ගුරුවරියක් විදියට අවුරුදු 20ක් විතර වැඩ කළා.

*ඔබට තියෙන්නේ දමිළ නමක්. සාමාන්‍යයෙන් දමිළ නමක් තියෙන අය
මැතිවරණයට ඉදිරිපත් වෙනවා අපි දැකලා තියෙන්නේ යාපනය, වව්නියාව
නැත්නම් වතුකර දමිළ ප්‍රදේශවලින්. නමුත් ඔබ මහ මැතිවරණයට ඉදිරිපත්
වුණේ මාතර දිස්ත්‍රික්කයෙන්. එතකොට ඔබ උපන්නේ මාතර ද?
ඔව්. මගේ උපන්ගම මාතර. මම පුංචි කාලේ ඉඳන්ම හැදුණේ වැඩුණේ පාසල් ගියේ මාතර. ඒ වගේම
තමයි පෙරපාසලේ ඉඳලම උසස්පෙළ දක්වාම මගේ පාසල වුණේ මාතර ශාන්ත මාරියා කන්‍යාරාමය.
මම අවුරුදු ගණනක් උගන්වපු විශාල ශිෂ්‍ය ප්‍රජාවක් මාතර දිස්ත්‍රික්කයේ ඉන්නවා. මගේ පවුලේ
අය සැමියගේ පවුලේ අය වගේම අපේ ආධාරකරුවන් විශාල පිරිසක් ඉන්නේ මාතර. ඉතිං ඒ තරම්
බැඳියාවක් තිබුණ නිසා මට කිසිම මොහොතක දමිළභාවය කියන දේ මගේ දේශපාලනයට බාධාවක්
වෙලා නැහැ. ජනතාවට වැදගත් වුණේ මම සිංහල ද මුස්ලිම් ද මැලේ ද කියන එක නෙවෙයි. ඔවුන් මාව
විශ්වාස කරලා රට වෙනුවෙන් සේවය කරන්න මට අවස්ථාව ලබාදුන්නා. ඒ වෙනුවෙන් මාතර
ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා.

*එතකොට ඔබට දමිළ සම්භවයක් ආවේ කොයි විදියටද?
මගේ තාත්තා ඉන්දියානු ජාතිකයෙක්. මගේ අම්මා යාපනය ප්‍රදේශයේ දමිළ කාන්තාවක්. එතකොට
මම ඉන්දියානු දමිළ වගේම ලංකික දමිළ කියන දෙකේ සම්මිශ්‍රණයක්. මගේ තාත්තා ව්‍යාපාරික
කටයුතුවල නිරත වුණ කෙනෙක්. තාත්තගේ ව්‍යාපාරික ස්ථානය පිහිටලා තිබුණේ මාතර ප්‍රදේශයේ
නිසා තමයි අපි මාතර පදිංචි වුණේ.

*මහ මැතිවරණයකින් පාර්ලිමේන්තුවට පත්වුණ වැඩිම කාන්තා නියෝජනය
මෙවර වාර්තා වුණා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
ජනතා ඡන්දයෙන් වගේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වුණ කාන්තාවන් 22න් 19ක්
ජාතික ජන බලවේගයෙන් පත්වුණේ. ඒ වගේ කාන්තා නියෝජනයක් දකින්න ලැබෙන්න මූලිකම හේතුව
වුණේ ‘ගැහැනු අපි එකට එක’ කියන තේමාවත් එක්ක කාන්තාවන්ව ඒකරාශී කිරීමට කටයුතු කරපු
නිසයි. හැම දිස්ත්‍රික්කයකින්ම හැම ග්‍රාමසේවා වසමකින්ම කාන්තා සංවිධාන පිහිටුවලා කොට්ඨාස
මට්ටමින් ඒ අයට තනතුරු ලබාදීලා තිබුණා. ඒ වෙද්දිත් පක්ෂය ඇතුළේ සක්‍රීය කාන්තා නියෝජනයක්
තිබුණ නිසා පක්ෂයේ පුරප්පාඩු පුරවන්න කලබලේට කාන්තාවන් සෙවීමට අවශ්‍ය වුණේ නැහැ. ඒකත්
හේතුවක් වුණා වැඩිම කාන්තා පිරිසක් පාර්ලිමේන්තුවට තේරීපත්වෙන්න.

*ඔබ සහභාගි වුණු එක්තරා රූපවාහිනී දේශපාලන වැඩසටහනක ප්‍රසිද්ධ
දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙකු ගුටි ඇනගත්තා. ඔබ විතරයි ගැටුමට
මැදි නොවුණේ. ඔබේ ඒ හැසිරීම ගොඩක් දෙනෙක් ප්‍රශංසා කරලා තිබුණා
නේද?
ඔව්. ඒත් එක්ක බොහෝදෙනෙක් මම ගැන කතා කරන්න පටන්ගත්තා. හැබැයි ඒ සිද්ධිය මේ රටේ
දේශපාලනය පැත්තෙන් ගත්තොත් හරිම නීරස අත්දැකීමක්. මොකද ඔවුන් ඒ විදියට හැසිරුණේ මේ
රටේ ජනතාව වෙනුවෙන්වත් ජනතාව වෙනුවෙන් තීරණ ගන්නවත් නෙවේ. තමන්ගේ පැවැත්ම තහවුරු
කරගැනීම විතරයි ඒ අයගේ අරමුණ වෙලා තිබුණේ.

*කාන්තාවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට කාන්තා හා ළමා
අමාත්‍යවරිය හැටියට ඔබේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද?
මේ වෙද්දී ලංකාව තුළ දක්නට ලැබෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, කාන්තා හිංසනය වගේම ළමා
හිංසනයට ලොකුම හේතුව තමයි කාන්තාවන් ආර්ථික වශයෙන් නිදහස් නොවීම. සාමාන්‍යයෙන්
මාසෙට වැටුප 20,000ක් ලබාගන්න මවක් ගත්තොත් ඇයට සිටින්නේ දරුවන් දෙදෙනෙක් නම් ඔවුන්
අධ්‍යාපන කටයුතු වගේම අනෙකුත් අවශ්‍යතා සපුරන්න ඒ ලබන වැටුප ප්‍රමාණවත් නැහැ. ඒ හේතුව

මත ඇය පීඩනයට ලක්වෙනවා. ඒක නිසා ඒ තත්ත්වය නැති කරලා සමාන ශ්‍රමයට සමාන වැටුපක්
ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

*අමාත්‍යවරියක් විදියට ඔබට ලැබෙන බලය වගේම වරප්‍රසාද ඉදිරියේදී
භාවිත කිරීමට බලාපොරොත්තු වෙන්නේ කොහොමද?
මේ ලැබුණ තනතුර වගකීමක් මිසක කිසිම වෙලාවක වරප්‍රසාදයක් නෙවෙයි. හැබැයි ඒ වගකීම ඉටු
කරන්න පහසුකම් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් ඒ පහසුකම් පහසුකම් භාවිත කරනවා මිසක් ලැබුණ
තනතුර කිසිම විදියකින් පෞද්ගලික වරප්‍රසාදයක් විදියට සළකන්නේ නැහැ.

*මෙතෙක් කාලයක් නව අමාත්‍යවරු දිවුරුම්දීමේදී ඔවුන්ගේ පවුල් පිටින්
සහභාගී වෙනවා දකින්න තිබුණා. නමුත් ඔබේ වෛද්‍ය සැමියා ඔබ දිවුරුම්
දෙන ආකාරය නරඹා තිබුණේ රෝහලේ සේවය කරන අතරතුර රූපවාහිනී
තිරයෙනුයි. එහෙම වුණේ එය ඔබේ පක්ෂයේ ස්වරූපය නිසාද?
සාමාන්‍ය ජීවිතය ගත්තොත් මම කාලයක් ගුරුවරියක් විදියට වැඩ කළා. එහෙම වැඩ කරද්දී
වෛද්‍යවරයෙක් වුණ මගේ සැමියා මම ඉන්න තැනට ඇවිත් මම උගන්වන විදිය බලන් හිටියේ නැහැ.
ඔහුගේත් ස්ථාන මාරුවීම් වගේම සේවා ස්ථානයේ වැඩකටයුතුවලට මම වගේම දරුවෝ දෙන්නත්
සහභාගී වෙන්නේ නැහැ. මොකද ඒ දේවල් දෛනික ජීවිතයේ සිද්ධ වෙන සාමාන්‍ය දේවල්. අමාත්‍ය
ධුරයේ දිවුරුම් දීමත් එහෙම එක අවස්ථාවක් විතරයි. ඒ හැරුනම පක්ෂය තුළත් අපි හැමකෙනෙක්ගේම
මතය වෙන්නේ දේශපාලනය ස්වේච්ඡා සේවයක් මිසක් පවුල් පිටින් දරාගෙන කළ යුතු දෙයක් නෙවෙයි
කියන එකයි.

නෙත්මි තෂාරා