නවතම ප්‍රවෘත්ති

මේක දුවලා ඉන්න අම්මලා වගේම දුවලත් බලන්නම ඕන කතාවක් ‘ඉතිං ඊට පස්සෙ’ කැලුම් මෙන්න R.A.T අරගෙන ඇවිත්

70 දශකයේ අගභාගයේ ‘සිත්තර’ චිත්‍ර කතා පත්තරේ ගිය ජනප්‍රියම චිත්‍ර
කතාව තමයි බලන්ගොඩ සරත්මධූගේ ‘ඉතිං ඊට පස්සෙ’ කියන්නේ.
දේදුනුගෙයි කැලුම්ගෙයි ආදර කතාවෙන් හැඩවුණු ඒ චිත්‍ර කතාව කියවන්න
බලාගෙනම එදා ‘සිත්තර’ පත්තරේ මිලට ගත්ත උදවියත් හිටියලු.
කොහොමින්හරි ලැව්ගින්නක් වගේ පාඨක ආකර්ෂණය දිනාගත්‍ත ඒ චිත්‍ර
කතාව අනුසාරයෙන් පසුකාලීනව ඒ නමින්ම ටෙලිනාට්‍යයක් පවා නිර්මාණය
වුණා. ප්‍රේක්ෂක ආදරය මැද එයත් ඉතාම ජනප්‍රිය වුණා. ඒ ටෙලිනාට්‍යයේ
කැලුම්ගේ චරිතය කළේ චිත්‍ර කතාවේ වගේම මුදු හැඩැති කොණ්ඩයක් තියෙන
සම්පත් කුමාරතුංග. දේදුනුට රංගනයෙන් දායක වුණේ උමයංගනා වික්‍රමසිංහ.
උමයංගනා නම් පුංචි තිරයේ නිතර නිතරම දකින්න ලැබුණත් සම්පත්ව අපිට
දිගු කාලෙකින් දකින්න ලැබුණේ නෑ. ඒත් ආරංචි විදියට අලුත්ම වැඩකින්
සම්පත් ආයෙමත් පුංචි තිරයට එන්න ලෑස්තියිලු. ඒ ගැන කතා කරන්න
වගේම ‘ඉතිං ඊට පස්සෙ’ මතකය අවදි කිරීමේ අදහසින් මෙවර අපි සම්පත්
කුමාරතුංග එක්ක කතා කළා.

*නම සම්පත් වුණාට අදටත් හුඟාක් අය ඔබව දන්නේ ‘කැලුම්’ විදියට
නේද?
(සිනාසෙමින්) ඔව් ඔව් අදටත් ගොඩක් අය මට කියන්නේ කැලුම් කියලා. මගේ
ඇත්තම නම කැලුම් කියලා හිතාගෙන ඉන්න අයත් ඒ අතරේ ඉන්නවා.

*ඔබට කැලුම්ගේ චරිතය ලැබුණේ කොහොමද?

ඒ වෙනකොට මං ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයෙක් විදියට වැඩ
කරමින් හිටියේ. කලා කටයුතු කීපයක්ම කරලා තිබුණා. ඒ කාලේ තමයි ‘ඉතිං
ඊට පස්සෙ’ ටෙලිනාට්‍යයේ කැලුම් චරිතයට කෙනෙක් හොයලා තිබුණේ.
අන්තිමේ තිර පරීක්ෂණයකින් පස්සේ මාව ඒ චරිතයට තෝරගත්තා. අද මම
කලාව තුළින් යම් වටිනාකමක් හදගෙන තියෙනවා නම් ඒ ‘ඉතිං ඊට පස්සෙ’
නිසා. ඒක තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ. ඒ
ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂණය කළ චන්දික විජයසේන, රූපවාහිනී තිර රචනය
කළ සඳුන් රාජකරුණා සහ නිෂ්පාදනය කළ උපුල් ජයසිංහ සහ ස්වාධීන
රූපවාහිනී නාලිකාවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්නම ඕනේ.

*කැලුම්ගේ චරිතය ලැබෙන්න ඔබේ ඔය කොණ්ඩයත් ආශිර්වාදයක් වෙන්න
ඇති?
ඔව් ඔව්. ‘ඉතිං ඊට පස්සෙ’ චිත්‍ර කතාව ලියපු බලන්ගොඩ සරත්මධූ මහතා
මං දැකපු ගමන්ම කිව්වා මාව ඒ චරිතෙට හොඳට ගැළපෙනවා කියලා. ඔහු
ඒකට හේතුව විදියට කිව්වේ මගේ කොණ්ඩේ.

*එදා ඔබට ලැබුණු ප්‍රේක්ෂක ආදරය ගැනත් දැනගන්න කැමතියි?
ඒ ආදරේ නම් මට හිතාගන්න බෑ. වයස් භේදයක් නැතුව හැමෝම වගේ
ආදරේ කළා. චිත්‍ර කතාව බලපු අයත් සෑහෙන්න ටෙලිනාට්‍යය නරඹලා තිබුණා.
‘ඉතිං ඊට පස්සෙ’ අවසන් වෙලා මේ වෙද්දි අවුරුදු ගාණක් ගිහින් තිබුණත් ඒ
ආදරේ අදටත් මට ලැබෙනවා.

*දැන් කැලුම්ට දේදුනු එහෙම කතා කරන්නේ නැද්ද?
ඇත්තටම උමයංගනා කියන්නේ මගේ හො‍ඳ මිතුරියක්. ඒ වුණාට මෑතකදි
නම් අපිට එහෙම කතා කරන්න ලැබුණේ නෑ.

*‘ඉතිං ඊට පස්සෙ’ ටෙලිනාට්‍යයෙන් පස්සේ සම්පත් වැඩිය දකින්න ලැබුණේ
නෑ. රංගනයට සමුදීලද?
අනේ නෑ. මං ලොකු කාලයක් රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ තමයි හිටියේ.
මෑතක් වෙනකල් නාලිකා කීපයක වැඩ කළා. ඒ එක්ක රංගන කටයුතු
මගඇරුනා. අනිත් දේ තමයි අපි ඒ වගේ වෘත්තියක් කරද්දි රඟපාන එක
සදාචාරාත්මක නෑ. හැබැයි දැන් නම් ම‍ම පෞද්ගලික ආයතනයක

කළමනාකරුවෙක්. ඒක හින්දා ආයෙමත් කලා කටයුතුවල නිරතවෙන්න නිදහස
තියෙනවා. මේ වෙද්දි අලුත් වැඩකට අතගහලා තියෙන්නේ.

*අපිටත් ආරංචියි අලුත් වැඩක් ගැන. ඒ ගැනත් කියමු?
මගේ අලුත් වැඩේ තමයි ‘R.A.T’ කියන ටෙලිනාට්‍යය. අධ්‍යක්ෂණය මම.
පිටපත සහ නිෂ්පාදනය කළේ සුනෙත් අනුරාධ කොග්ගලහේවා.

*ඒක මීයෙක් සම්බන්ධ කතාවක්ද?
(සිනාසෙමින්) නම R.A.T වුණාට මේ අපි හිතන මීයා නෙවෙයි. මේක
කාලාන්තර දෙකක ගෑනු ළමයි දෙන්නෙක්ගේ වටා ගෙතුනු කතාවක්. දුවලා
ඉන්න අම්මලා තාත්තලා වගේම ඒ දුවලත් අනිවාර්යයෙන් බලන්න ඕන
කතාවක්. නොවැම්බර් 30 වැනිදා ඉඳන් සතිඅග රෑ 8.30ට ස්වාධීන
රූපවාහිනියේ R.A.T විකාශනය වෙනවා.

*සම්පත් රංගනයෙන් දායකවෙන්නේ නැද්ද?
නෑ මං අධ්‍යක්ෂකගේ භූමිකාව විතරයි කරන්නේ. සාරංග දිසාසේකර, නයෝමි
තක්ෂිලා ඇතුළුව ජනප්‍රිය නළු නිළියෝ රැසක්ම R.A.T ටෙලිනාට්‍යයේ ඉන්නවා.

*ඔබ විවාහකයි. පවුල් ජීවිතේ ගැන කිව්වොත්?
ඔව් මම විවාහකයි. මේ වෙද්දි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුවට වයස අවුරුදු
5ක්. පුතා නම් තාමත් ඉපදිලා ටික දවසයි.

*බිරිඳගෙන් කලා ජීවිතේට ලැබෙන සහයෝගය මොන වගේද?
ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ වැඩ කරගන්න උපරිම
නිදහස ඇය දෙනවා. ඇය මාව හොඳින්ම තේරුම් ගත්ත බිරිඳක් කිව්වොත්
හරි.

*අවසාන වශයෙන් සම්පත් වයසට නොයන රහසත් කියමුද?
(සිනාසෙමින්) ගොඩාක් අය කියනවා මං එන්න එන්න තරුණ වෙනවා කියලා.
ඒකට නම් හේතුව මම හිතන්නේ හිත හොඳකමට වෙන්න ඇති.

රුවන් එස්.සෙනවිරත්න