නවතම ප්‍රවෘත්ති

වරුවක් අරගෙන මේ ටික කෙරුවොත් තරුවක් වගේ බබළන්න පුළුවන්

ඔන්න එකෝමත් එක කාලෙක ජීවත්වෙච්ච ‘රිසිනා’ කියලා පුංචි
සුරංගනාවියක් ගැනයි මේ කතාව. රිසිනාට වෙන්වුණු ඇගේ සුරංගනා
ලෝකයේ රතු රෝස, ලිලී මල්වලින් අඩු නැති ලස්සන මල් වත්තක් තිබුණාලු.
ඉතින් ඉඩක් ලැබුණ හැම මොහොතකම ඒ මල් වත්තේ සිරි නරඹන්න යාම
ඇගේ පුරුද්දක් වෙලයි තිබුණේ. දවසක්දා රිසිනා ඒ විදියට මල් වත්තේ
ඇවිදිද්දී ඇගේ රෝස පැහැති කකුලේ විෂ කටුවක් ඇනුණලු. වේදනාව
ඉවසගන්න බැරිව රිසිනා පොළොවේ හැපි හැපි අඬද්දී වන දෙවඟන එතැනට
ඇවිල්ලා එඬරු තෙල්වලින් බෙහෙතක් හදලා කටුව ඇනුණ තැන ආලේප
කරාලු. ඒත් එක්කම සුරංගනාවියගේ වේදනාව පහවෙලා තුවාල කැළලත්
නිට්ටාවටම සුවවුණා කියලයි කතාවට කියන්නේ. ඒක සුරංගනා කතාවක්
වුණාට මොකද ඔය එඬරු තෙල්වල බලේ නම් එසේ මෙසේ එකක් නෙවෙයි.
මුලදී විෂ නසන ඖෂධයක් විදියට යොදාගත්ත එඬරු තෙල් පස්සෙන්
පහුවෙද්දී රුව ලස්සන කරන අමුද්‍රව්‍යයක් බවට පත්වුණා. ඊජිප්තුවේ
ක්ලියෝපැට්‍රා රැජිනත් රුව වඩවන ඖෂධයක් විදියට එඬරු තෙල් භාවිතා
කළා කියනවනේ.
එඬරු තෙල්වල අඩංගු පෝෂක සංඝටක අතර Fatty acids ප්‍රධානයි. එයින්
සමේ තෙතමනය පවත්වාගැනීමට හා ප්‍රදාහ තත්ත්ව වැළැක්වීමට හැකියාවක්
තිබෙනවා. ඒ වගේම මේවයේ අඩංගු Ricinoleic acid සමට හානිකර අවස්ථා
ඇතිවීම පාලනය කරනවා. ඉහත කියපු පෝෂකවලට අමතරව
ප්‍රතිඔක්සිකාරක ගුණවලිනුත් (antioxidants) එඬරු තෙල් සමන්විතයි. ඊට
අමතරව එඬරු තෙල්වල විටමින් E අඩංගු නිසා ඒ හරහා සම රැලිවැටීම
වළක්වා ගන්නත් පුළුවන්. ඒ වගේම හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය
ලබාදෙන Oleic හා Linoleic acid යන පෝෂක සංඝටකත් එඬරු තෙල්වල
අඩංගුයි. ඒ නිසා ශක්තිමත් වගේම නිරෝගී කෙස්කළඹක් ලබාදෙන වටිනා

රූපලාවණ්‍ය සත්කාරයක් විදියට එඬරු තෙල් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ
තරම් ගුණ දරන එඬරු තෙල්වලින් ලස්සන වෙන විදිය නොකිව්වොත් ඒක
අඩුවක්. ඒ නිසා මේ කියන්න යන්නේ එඬරු තෙලෙන් ලස්සන වෙන්න කරන්න
පුළුවන් සත්කාර කිහිපයක් ගැනයි.
*හිසකෙස්වලට එඬරු තෙල්වලින් කළ හැකි සත්කාර කිහිපයක් තිබෙනවා. ඒ
අතරින් හිසකෙස්වල තෙතමනය පවත්වාගෙන යාමට, හිසකෙස් වියළී
කැඩීයාම වැළක්වීමට වගේම හිසකෙස් වර්ධනයටත් එඬරු තෙල් තේ හැඳි
එකකට, පොල්තෙල් තේ හැන්දක් මිශ්‍රකර ඒ මිශ්‍රණය හිසකෙස්වල ආලේප
කර විනාඩි 10කින් සෝදාහරින්න.
*ඒ වගේම එඬරු තෙල් තේ හැඳි දෙකකට බිත්තරයක් මිශ්‍ර කර එය
හිස්කබලේ ආලේප කරන්න. ඒ මිශ්‍රණය විනාඩි 15ක් විතර තබා උණුවතුරින්
සෝදාහැරීමෙන් හිසකෙස්වල වර්ධනයට, හිසකෙස් දීප්තිමත් වීම වගේම
හිසකෙස් වර්ධනය වීමත් සිදුවෙනවා.
*තලතෙල් මිලිලීටර් පනහක්, එඬරු තෙල් මිලිලීටර් විසිපහක් සහ ආමන්ඩ්
තෙල් මිලිලීටර් විසිපහක් දමා හොඳින් මිශ්‍රකර හිස්කබලේ සහ හිසකෙස්වල
ආලේපකර ගැනීමෙනුත් හිසකෙස් හොඳින් වර්ධනය කරගන්න පුළුවන්. ඒ
සඳහා ආලේපනය සහිත හිස්කබල සහ හිසකෙසුත් හොඳින් සම්බාහනය කර
විනාඩි 15ක් තබා උණුවතුරින් සෝදා ඉවත් කරගන්න.
*එඬරු තෙල් තේ හැඳි දෙකක් පොල්තෙල් තේ හැඳි දෙකක් වගේම කුරුඳු
කුඩු තේ හැඳි එකක් බඳුනකට දමා හොඳින් මිශ්‍රකර හිසකෙස්වල ආලේප
කරගන්න. විනාඩි 10ක් විතර සම්බාහනය කරලා ආලේපනය සෝදා ඉවත්
කරගන්න. ඒ හරහා නිරෝගී, ශක්තිමත් වරලසක් ලබාගත හැකියි.
*හිසකෙස්වල අග පැලීමෙන් පීඩා විඳින කෙනෙක් නම් එඬරු තෙල් තේ හැඳි
දෙකකට, කැබලි කරගත් අලිපේර මදයකින් එක් කැබැල්ලක් එක්කර
හිසකෙස්වල අග කොටසේ ආලේප කරගන්න. විනාඩි 15කින් එය සෝදා ඉවත්
කරගන්න.
*එඬරු තෙල් තේ හැඳි හතරකට කෙසෙල් ගෙඩි එකක් දමා හොඳින් මිශ්‍රකර
හිසකෙස්වල ආලේප කර විනාඩි 15කින් සෝදා ඉවත් කරගැනීමෙන් හිසකෙස්
වියළී කැඩීයාම වළක්වාගත හැකියි.
*එඬරු තෙල් තේ හැඳි දෙකකට ලූනු යුෂ තේ හැඳි දෙකක් මිශ්‍රකර ආලේප
කර හොඳින් සම්බාහනය කරගෙන සෝදා හරින්න. ඉන් හිසකෙස් ගැලවී යාම
වැළකිලා, හිසකෙස් හොඳින් වර්ධනය වීමක් සිදුවෙනවා.

*එඬරු තෙල් තේ හැඳි එකකට ආමන්ඩ් තෙල් තේ හැඳි එකක් එක්කර
හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කර සම්බාහනය කරගන්න. විනාඩි
කිහිපයකට පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සමේ අඳුරු ලප
කැළැල් ඉවත් කර සමේ තෙතමනය තබාගැනීමට වගේම සම දීප්තිමත්
වීමටත් එය හේතුවක් වෙයි.
*ස්ක්‍රබ් එකක් ලෙස එඬරු තෙල් හාවිත කරන්නේ නම් එඬරු තෙල් කෝප්ප
1/2 කට සුදු සීනි කෝප්ප එකක් සහ දෙහි ස්වල්පයක් එක්කර සමෙහි ආලේප
කරගන්න. ඒ හරහා සමෙහි මැරුණු සෛල ඉවත් කර සම දීප්තිමත්
කරගන්න පුළුවන්.
*එඬරු තෙල් මේස හැඳි දෙකකට ලැවැන්ඩර් තෙල් මේස හැඳි දෙකක් එක්කර
හොඳින් මිශ්‍රකර ගෙල අවට ප්‍රදේශවල ආලේප කර සම්බාහනය කරගැනීමත්
පැහැපත් සමක් වගේම වෙහෙසකර බවෙන් තොර සැහැල්ලු මනසක් උරුම
වෙනවා.
*එඬරු තෙල් තේ හැඳි දෙකකට, ජොජොබා තෙල් හැඳි දෙකක්, ආගන් ඔයිල්
තේ හැඳි දෙකක්, ලැවැන්ඩර් තෙල් තේ හැඳි දෙකක් එක්කරලා මුහුණේ
ආලේපනය මුහුණට හොඳ සීරම් (Face Serum) එකක්.
නෙත්මි තෂාරා
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික් , මාවනැල්ල