රූපලවන්‍ය

පුංචි හාමිගෙ කොලැජන් වට්ටෝරුව අපි හොරකම් කළා!

එකමත් එක කාලෙක ඉතාම සතුටින් සමාදානයෙන් ජීවත්වුණු නිලමේ
කෙනෙකුයි බිරිඳකුයි හිටියා. මේ ජනකතාවේ කියන විදියට මේ දෙපළට කිසිම
දේකින් කිසිම අඩුවක් තිබුණේ නෑ. සැපසම්පත් ඉඩටත් උඩින්. හැබැයි ඒ
වුණාට දෙවියෝ එකම එක අඩුපාඩුවක් ඒ අයගේ ජීවිතවල මවලා තිබුණා. ඒ
තමයි දරුමල්ලෝ නැතිකම. ඉතින් මේ දෙපළගේ වැඩේම දරුවෙක් දෙන්ට
කියලා හිසේ කෙස් ගාණට බාරහාර වෙන එකලු. එච්චර විතරක් නෙවෙයි
බලිතොවිල් නටලා දානමාන පවා දුන්නලු. ඉතින් ඔය කිසිම දේකින් පලක්
නොවුණ තැන නිලමෙයි බිරින්දෑයි හද්දා පිටිසර ගමක වෙද මහත්තයෙක්
මුණගැහෙන්න ගිහින්. වෙදමහත්තයාගේ බෙහෙත්වලින් කොහොමින්
කොහොමහරි නිලමෙගේ බිරින්දෑට දූ කුමරියක් ලැබිලා. පුංචි හාමි කියලා නම්
කෙරුණු මේ දූ කුමරියගෙ රූප සම්පත්තිය වැඩිදියුණු වෙන්න කියලා ඒ වෙද
මහත්තයා විශේෂ ආහාර වට්ටෝරුවක් නියම කරන්නත් අමතක කරලා නෑ.
මේක ජනකතාවක් වුණත් බලාගෙන යද්දී ඒ වෙද මහත්තයාගේ ආහාර
වට්ටෝරුවේ පෙරමුණේම තියෙන්නේ නිවිති, වැටකොළු, පතෝල සහ බිම්මල්.
ඒක ඉතින් අහන්නත් දෙයක්යැ! ඔය කියපු එළවළු වර්ග සියල්ලම සළකන්නේ
කොලැජන් බහුල ආහාර හැටියටනේ. ඇත්තටම කිව්වොත් හැඩට ඉන්න
කැමති ඕනෑම කෙනෙක් ටිකක් වැඩිපුර අවධානය යොමුකරන්න ඕනෑ
මාතෘකාවක් තමයි කොලැජන් කියන්නේ. අන්න ඒ නිසා මෙවර බියුටි පිටුවෙන්
කොලැජන් සහිත ආහාර වට්ටෝරුවක් වගේම කොලැජන්වලින් කරගත හැකි
බාහිර සත්කාර කිහිපයකුත් කියන්න ඕනෑ කියලා අපි හිතුවා.
කොලැජන් කියන්නේ ශරීරයට ඉතාමත් වැදගත් වගේම අත්‍යවශ්‍ය
සංඝටකයක්. ඒ හරහා හිසකෙස්, සම, නිය, අස්ථි වගේම සන්ධි ආශ්‍රිත මාංශ
පේශවලට අවශ්‍ය පෝෂක ලබාදීම සිදුවෙනවා. මේවා ශරීරය තුළ ස්වභාවිකව
නිපදවුණත් පුද්ගලයන් වයස්ගතවීමත් එක්ක එම ක්‍රියාවලිය අඩපණ වෙනවා.
ඊට අමතරව අධික හිරුරැස්වලට නිරාවරණය වීම, දුම්පානය, අධික ලෙස සීනි
පරිභෝජනය වගේම ව්‍යායාමවලින් වැළකී සිටීමත් පුද්ගල ශරීර තුළ අඩංගු
කොලැජන් විනාශවීමට හේතු වෙනවා. ඒ වගේම සමබල ආහාරවේලක්
නොලැබීම, නිසි නින්දක් නොමැතිවීම සහ මානසික ආතතියත් මේ තත්ත්වයට
බලපානවා. එවැනි හේතු මත ශරීරයේ කොලැජන් විනාශ වීමෙන් සම රැළි
වැටීම, චලන අපහසුතාවය වගේම සන්ධි අස්ථි ආශ්‍රිත රෝග ඇතිවෙන්නත්

පුළුවන්. ඒවායින් වැළකීමට ශරීරයට අවශ්‍ය කොලැජන් අතිරේකව හෝ
ලබාගත යුතුයි. එහෙම කළොත් සම රැළිවැටීම අවම වීම, නියපොතු
ශක්තිමත්වීම, අකලට හිසකෙස් වැටීම පාලනය වීම වගේ වාසි බොහොමයක්
අත්කරගන්න පුළුවන්.
එලෙස කොලැජන් ශරීරයට ලබාගත හැකි ආහාර ලෙස ආහාර මස්, කිරි
ආශ්‍රිත නිෂ්පාදන, රනිල කුලයේ භෝග, දොඩම්, ලෙමන්, පේර වැනි කොළ
පැහැති පලතුරු, කොළ පැහැති එළවළු වෙන ගෝවා, වැටකොළු දක්වන්න
පුළුවන්. ඒ වගේම බිත්තර සුදුමද, බිම්මල් ආහාරයට ගැනීමෙනුත් ස්වභාවිකව
කොලැජන් ශරීරයට ලබාගන්න පුළුවන්. එම ආහාරවලට අමතරව පහතින්
දැක්වෙන සත්කාර හරහාත් ශරීරයට අවශ්‍ය කොලැජන් බාහිර ආලේපනයක්
විදියට ලබාගන්න පුළුවන්.
සම වියපත් වීම වළක්වා දිදුළන සමක් ලබාගැනීමට කොලැජන් අඩංගු මාස්ක්
එකක් භාවිත කළ හැකියි. මේ මාස්ක් එක සකසාගන්න නම් බිත්තර
සුදුමදයක් සහ තක්කාලි ගෙඩියකින් බාගයක් තිබීම හොඳටම ප්‍රමාණවත්.
ඒකට මුලින්ම බිත්තර සුදුමදය හොඳින් බීට් කරගෙන තක්කලි බාගයේ යුෂත්
ඒකටම මිශ්‍ර කරගන්න ඕනෑ. ඊටපස්සේ මුහුණේ ප්‍රමාණයටම කපාගත්ත තෙත
ගෝස් කැබැල්ලක මිශ්‍රණය පොඟවා මුහුණ සහ බෙල්ල වැසෙන පරිදි
අතුරගන්න. මාස්ක් එක ඇතිරීමට පෙර ඇස් පුළුන්වලින් ආවරණය කරගත
යුතුයි. ඊටපස්සේ විනාඩි 25-30කින් විතර ඉඳලා ගෝස් කැබැල්ල ඉවත් කරලා
ටෝනර් කරගන්න ඕනෑ.
සම පැහැපත් කරන පැක් එකක් විදියටත් කොලැජන් අඩංගු ද්‍රව්‍ය යොදාගන්න
පුළුවන්. ඒ විදියේ පැක් එකකට කොකෝවා කුඩු මේස හැඳි දෙකක්, කෝපි
කුඩු මේස හැඳි දෙකක් සහ යෝගට් මේස හැඳි හතරක් එක්කරගන්න ඔන.
ඊටපස්සේ ඒ මිශ්‍රණය මුහුණේ ආලේප කරලා විනාඩි 25ක් හෝ 30ක් තියලා
මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරගන්න. මෙය සතියකට වතාවක් කිරීම
තුළින් සමේ කොලැජන් තන්තු උත්තේජනය වෙලා කොලැජන් නිෂ්පාදනය
කාර්යක්ෂමව සිදුවෙන නිසා සමට තරුණ පෙනුමක් ලබාදෙනවා. මේ පැක්
එක භාවිත කිරීමට කලින් ෆේෂ්වොෂ් එකකින් මුහුණ පිරිසිදු කරගන්නත්
අමතක කරන්න එපා.
මීට අමතරව කොකෝවා කුඩු මේස හැඳි දෙකකට මී පැණි තේ හැන්දක් සහ
කෝමාරිකා මද යුෂ මේස හැඳි දෙකක් එක්කරලා ආලේප කළොත් සමේ
ඇදෙනසුළු ගතිය පාලනය කරලා සමට තරුණ පෙනුමක් ලබාගන්න පුළුවන්.
මේ මිශ්‍රණයත් ආලේප කරලා විනාඩි 30කට පසු සිසිල් වතුරෙන් සෝදා ඉවත්
කිරීමයි කළ යුත්තේ.

වතුර කෝප්ප දෙකක් භාජනයකට දමා හොඳින් සෝදාගත් flax seed ඇට මේස
හැඳි දහයක් විතර මද ගින්දරේ නටනතුරු හැඳිගාගන්න. ඉන්පස්සේ එය
නිවෙන්නට තබා කපු රෙදිකඩකින් පෙරාගන්නත් ඕනෑ. මෙහිදී මිශ්‍රණය ඉතා
ඝන වගේම ඇදෙනසුළු මිශ්‍රණයක් නිසා ඇඟ සෝදන විට අලේප කිරීම වඩාත්
සුදුසුයි. එය මුළු ශරීරයේ, මුහුණේ වගේම බෙල්ලේ ආලේප කරලා විනාඩි
විස්සක් විතර තියෙන්න හැරලා සෝදාගන්න. මෙම සත්කාරය සිදු කිරීමෙන්
සම පැහැපත් වෙනවා වගේම දණහිස්වල පවතින ආතරයිටීස්, සන්ධි වේදනා
පවා සමනය කරගත හැකියි.
නෙත්මි තෂාරා
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල