පැයකට පොඩි සපෝර්ට් එකක් දෙන්න සර් මං එතකන් හොඬවැල පද්ද පද්දා ඉන්නම්
කඳු නගින අලි, මහා ජලකඳ අතරින් ඉදිරියට පීනන අලි ගැන ඕනෑතරම් කතා අසන්නට ලැබෙයි. ඒ හැමදේම වන්නේ කළ පුරුද්ද, පළපුරුද්ද අනුවය. බුද්ධිමත් සතෙකු වන අලියා ආවාට ගියාට වැඩ කරන්නේ නැත. එහෙත් ගුරුන්ටත් අකුරු වරදින එකේ අලි ඇතුන්ට වැරදීම් නොවන්නේද? දුරදිග නොබලා හෝ අවාසනාවට හෝ මහා අඩව්වක් ඇල්ලූ අලි කොල්ලෙකු පසුගියදා ජීවිතය බේරාගත්තේ අනූනවයෙනි.
ඒ පසුගිය 20 වනදායි. අලි කොල්ලා පොලොන්නරුව පෙදෙසේ පුරුදු පාරේ පුරුදු විදියටම එදාත් යන්නට ඇත. උන්දෑට අඹන් ගඟ හරහා යන්නට ඕනෑ වී තිබිණ. ඒ ඇලහැර අමුණ ආසන්නයෙනි. මොරගහකන්ද වාන් දොරටු විවෘත කර තිබූ බැවින් ගලා යන ජලකඳ සමඟ තරඟ කිරීම පහසු නැත. වයස අවුරුදු 30ක් පමණ වූ අලි කොලුවාට තරුණ ජවය තිබුණාට වැරදීමට ගතවූයේ නිමේෂයකි. ජල පහරේ වේගය නිසාමදෝ ඔහු අමුණේ බැම්මෙන් පහළට වැටුණේය. පෙරලුණු පිට හොඳයි කියන්නාක් මෙන් ගමන මග නතර කර හොඳ හැටියට දිය නෑමට උන්දෑට ඕනෑ විය. නොදන්නා දෙමළෙට ගොහිං වරිගෙ නහගන්නවාට වඩා වැටුණු තැනම නැවතී සිටීම නුවණට හුරුබව ද උන්දෑට සිතුණා විය හැක. අලියාට වූ ඇබැද්දිය දුටු අය වහාම ඒ පිළිබඳ වනජීවිය දැනුවත් කළහ. පශු වෛද්‍ය ෂමීර කලිඟුආරච්චි පැවසුවේ අලියා සැලකිය යුතු වේලාවක් අමුණේ කොටු වී සිටි බවයි.
“එයා එතැනින් එහා පැත්තට යන්න හදලා තියෙන්නෙ. වතුර පාර වැඩි නිසා තමයි පහළට වැටෙන්න ඇත්තෙ. සුළු සීරීම් තුවාල තිබුණා. ඒ ඇරෙන්න වෙන ලොකු හානියක් තිබුණෙ නෑ. වැටුණට පස්සෙ එයාට කොහෙටවත් යන්න විදියක් නෑ වතුර පාර සැර නිසා. එයා ඒ තත්ත්වය යටතේ යන්න උත්සාහ කළානං ජීවිත අනතුරක් වුණත් වෙන්න ඉඩ තිබුණා. මොකද වතුර පාර සැරයි වගේම ඒ වටේම ගල්. ඒ නිසා එයා නතර වෙලා හිටපු එක හොඳයි. විනාඩි හතළිස් පහක් විතර එයාට එහෙම ඉන්න වුණා.”
වතුර නෑමට අලි ඇතුන් කොතෙක් ප්‍රියකළ ද මේ කොලුවාට එවැන්නකට හිත හදාගැනීමට තරම් එය සුදුසු වේලාවක් නොවීය. ගැමුණු කුමාරයාට අතපය හකුළාගෙන නිදන්නට වූවාට වඩා අමාරුවක උන්දෑ වැටී තිබිණ. හිස සිට පතුල තෙක් වේගයෙන් කඩාහැලෙන මහා ජලකඳකි. ගමන් කළ හැකි මාර්ගයක් සිතාගැනීමට හෝ නොහැක. පෙරට අඩියක් තැබීම වටේටම ඇති කළුගල්වල හිස ගසා ගැනීමට හේතු වීමට ඉඩ තිබේ. තමාට කාගේ හෝ පිළිසරණක් ලැබෙනු ඇතැයි උන්දෑට දැඩි විශ්වාසයක් ද තියෙන්නට ඇත. එනිසා අවදානමක් ගැනීම වෙනුවට වැටුණු තැනම නැවතී සිටීමට ඔහු තීරණය කළේය. හොඬය පද්දමින් උදව් බලාපොරොත්තුවෙන් සිටියා මිස පණ්ඩිතකම් කිරීමට ඔහු උත්සාහ කළේ නැත. අලියා මුදාගැනීමට පශු වෛද්‍ය ෂමීර ප්රමුඛ වනජීවී කණ්ඩායම පැමිණිය ද ඔවුන්ට තීරණයක් ගැනීම අසීරු විය. මහා ජලකඳක සිරවී සිටින අලියා වඩාගෙන එන්ටයෑ? එමනිසා මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉංජිනේරුවන්ට කතා කර උදව් ලබාගැනීමට සිදු වූ බව පශු වෛද්‍ය ෂමීර කියයි.
“වතුර පාර සැර නිසා එයාට එගොඩ වෙන්න විදියක් ඇත්තෙම නෑ. කකුලක් උස්සලා යන්න හැදුවත් එතකොට වතුර පාරට ගහගෙන යන්න බලනවා. ඒ නිසා අපි මොරගහකන්ද ඉංජිනියර්ට කතා කරලා වතුර පාර නවත්තන්න කියලා ඉල්ලුවා. ඒක වාන් දොරටු වහන්න පුළුවන් වෙලාවකුත් නෙමේ. මොකද තියෙන්න ඕනෙ ලෙවල් එකටත් වඩා වතුර තිබිලා. ඒත් පැයකට වහලා දෙන්න ඔවුන් එකඟ වුණා මෙයාව බේරගන්න ඕන නිසා. වතුර නතර කරපු ගමන් එන ජල ප්‍රමාණය එක පාර අඩුවෙන්නෙ නෑ. පැය භාගයක් විතර වෙනකොට තමයි ටික ටික වතුර පාරෙ සැර අඩුවුණේ. එතකොට එයාව එහා පැත්තට යවාගන්න පුළුවන් වුණා. අපි කළේ වතුර අඩු කරලා එයාට යන්න පහසුව හදලා දීපු එක විතරයි. එයා ඊටපස්සෙ එතනින් එහා පැත්තේ ඇළහැර රක්ෂිතය දිහාට ගියා. මේ වගේ සිද්ධියක් ඔතන වුණේ පළවැනි පාරට. වෙනදටත් එයා ඔතනින් යනවා ඇති. වතුර පාර සැර නිසා තමයි වැටෙන්න ඇත්තෙ.”
ඇළහැර අමුණට වැටුණු පළවැනි අලියා වූවාට හානියක් නොවීම උන්දෑගේ වාසනාවකි. කොලුකමට දෙමාපියන් කියනා දේ නොඅසා කරන දඟකාරකම්වල අවසානය හැමවිටම සුන්දර නැත. ගෙදර ගිය පසු අම්මා අලි කොලුවාට ටොක්කක් ඇන්නේනං යසය. එසේ වූවොත් මහ වතුර පාරක් අස්සේ නැවත අඹන් ගඟ හරහා උන්දෑ ගමන් නොකරනු ඇත.
තොරතුරු :- පශු වෛද්‍ය ෂමීර කලිඟුආරච්චි
රෂ්නිකා ලියනගේ