දැන් මෙහෙම හිටියට ඒ කාලේ මම ‘හොඳම නළුවා’ සම්මානෙත් ගත්තා – විශාරද අමන්ද්‍යා උත්පලී
මේ කියන්න යන්නේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වුණු දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක් ගැන. ඒ විතරක් නෙවෙයි පාසැල් අවධියේ සමස්ත ලංකා මට්ටමේ හොඳම නළුවා සම්මානයත් කීපවරක්ම හිමිකරගත්තු කෙනෙක් ගැන. හැබැයි විශේෂත්වය වෙන්නේ මේ හොඳම නළුවා තරුණියක් වීම නිසා. දැන් ඔබට හිතෙන්න පුළුවන් ‘තරුණියක් කොහොමද හොඳම නළුවා සම්මානය ගන්නේ?’ කියලා. ඔව් ඒ කතාව හරි රහ කතාවක්. ඒ කතාව ඉස්සරහට තියාගෙන අපි ඇයව හඳුන්වලා දෙන්නම්. ඇය උපතින්ම ගායන හැකියාවත් රංගනය හැකියාවත් උරුමකරගත් හරි අපූරුම කලාකාරිනියක් වන අමන්ද්‍යා උත්පලී. තවත් විදියකින් කිව්වොත් අමන්ද්‍යා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය නළුවෙකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ බාල දියණිය. ඇය තමයි මෙවර ‘ධරණී’ කවරය හැඩකරන ගමන් සොඳුරු කතාබහකට එකතුවුණේ.
*‘කාසි වාසි’ චිත්‍රපටය නිසා අමන්ද්‍යා ගැන කවුරුත් කතා කරන්න අරන් නේද?
“ඔව්. අපේ තාත්තාගේ පිටපතකට ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරපු කාසි වාසි චිත්‍රපටය පසුගිය ජනවාරි 23 දා ඉඳන් දිවයින පුරාම සිනමාශාලාවල තිරගතවෙන්න පටන්ගත්තා. මම පළමු වතාවට එහි ප්‍රධාන චරිතයක් කරනවා. ඒ වගේම තවත් එක විශේෂත්වයක් තමයි කාසි වාසි කියලා කියන්නේ තාත්තායි මමයි එකට රඟපෑ පළවැනි චිත්‍රපටය. ඒ චිත්‍රපටය තිරගත වෙන්න අරන් තවම දින කීපයක් වුණාට ප්‍රතිචාර හොඳටම හොඳයි. ගොඩාක් අය කිව්වා මං හොඳට රඟපානවා කියලා. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක මේ දිනවල සතුටින් ඉන්නවා.”
‘කාසි වාසි’ චිත්‍රපටයේ අමන්ද්‍යාට අමතරව ගිරිරාජ් කෞෂල්‍ය, රොඩ්නි වර්ණකුල, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, සංගීත් ප්‍රභූ, ප්‍රියන්ත සෙනවිරත්න වගේම නෙතලි නානායක්කාර වගේ අපේ රටේ ජනප්‍රිය නළු නිළියන් රැසක් දකින්න පුළුවන්. ඒ වගේ පිරිසක් එක්ක කටයුතු කරන්න ලැබීම ලොකු භාග්‍යයක් කියලයි අමන්ද්‍යා අපිත් එක්ක කිව්වේ.
“ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා තමයි මට චිත්‍රපටයට කතා කළේ. ඔහුත් හරිම ආසාවෙන් හිටියා තාත්තයි මමයි එකම චිත්‍රපටයක රඟපානවා දකින්න. මටත් ඒ ආසාව තිබුණා. චිත්‍රපටයේ මං චූටි. සංගීත් ප්‍රභූ එක්ක තමයි ගොඩක්ම රඟපාන්න තිබුණේ. කොහොමහරි වැඩේ ලස්සනට වුණා. චිත්‍රපටයටත් ප්‍රේක්ෂක ආකර්ෂණේ හොඳට ලැබෙනවා.”
නිළියක් විදියට විතරක්ම නෙවෙයි ඒ චිත්‍රපටයේ පසුබිම ගායිකාවක් විදියට කටයුතු කරන්නත් අමන්ද්‍යාට හරි අපූරු අවස්ථාවක් ලැබුණලු. ඒ අමන්ද්‍යා වගේම ඕන දේකට ඔට්ටු සජිත ඇන්තනී එක්ක.
“කාසි වාසි චිත්‍රපටියේ තියෙන ‘ජීවිතේ සයිකලේ’ ගීතය ගායනා කරන්නත් මට අවස්ථාවක් ලැබුණා. ඒ සජිත ඇන්තනී අයියා එක්ක. ඔහු තමයි ඉතින් මාවත් අධ්‍යක්ෂණය කරන ගමන් වැඩේ අතට අරන් කළේ. ඒ ගීතයත් මේ වෙනකොට හරි ජනප්‍රියයි. පද රචනය සහ සංගීත අධ්‍යක්ෂණය කළේ අචල සොලමන්.”
අමන්ද්‍යා මේ වෙනකොට පුංචිතිරය තුළත් ජනප්‍රිය නිළියක්. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරපු නාඩගම්කාරයෝ, KEY වගේ ටෙලිනාට්‍ය කීපයකටම ඇය රංගනයෙන් දායකවුණා.
“රංගන ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ නාඩගම්කාරයෝ. එහි ප්‍රධාන චරිතයක් නොකළට කරපු පොඩි චරිතය ඇතුළේ මගේ ගායන, නර්තන හැකියාවන් හැමදේම පෙන්නන්න ලැබුණා. මිනිස්සු මාව දැනගත්තෙත් ඒ ටෙලිනාට්‍යයෙන්.”
පාසල් අවධියේ ඉඳන්ම අමන්ද්‍යාට රඟපාන්න ආසාවක් තිබුණත් ගෙදරින් ටිකක් අකමැතිවෙලා. ඒ ඇගේ අධ්‍යාපන කටයුතුවලට ඒක බාධා වෙයි කියලා. ඒ වුණත් ගෙදරින් පාසල් වේදිකාවට නම් කිසිම තහංචියක් වැටුනේ නැතිලු. අන්න ඒ ගැන හාරවුස්සද්දි තමයි අපි අර මුලින්ම කියපු හොඳම නළුවාට හිමි සම්මානය ගත්තු විදිය අමන්ද්‍යා අපිට කිව්වේ.
“මගේ රංගන ජීවිතේ පදනම වුණේ පාසල් වේදිකාව. ඒ හරහා සමස්ත ලංකා ජයග්‍රහණ ගණනාවක් ගන්න පුළුවන් වුණා. හැබැයි ඒ අතරින් වැඩිම සම්මාන ලැබුණේ හොඳම නළුවා විදියට. ඒක හරි විශේෂ දෙයක්. මොකද මං ගියේ බාලිකා පාසලකට. ඒකේ පිරිමි ළමයි නෑනේ ඉතින්. ඒක නිසා නාට්‍යවල තිබුණු ප්‍රධාන පිරිමි චරිත ලැබුණේ මට. ඒ හරහා තමයි මට සමස්ත ලංකා හොඳම නළුවා සම්මානේ කීපවරක්ම හිමිවුණේ.”
ඒක හරි විශේෂ කාරණයක් නිසාම අමන්ද්‍යා ඒ පාසල් වේදිකාවේ කරපු පිරිමි චරිත කීපයක් ගැනත් අපි ඇගෙන් අහලා බැලුවා.
“නරිබෑනා නාට්‍යයේ නරියා, වෙස්සන්තර නූර්තියේ ජාලිය, ප්‍රේමතී ජායතී සෝකෝ නාට්‍යයේ උද්ධාල බමුණා, කුවේණි එකේ කුවේණිගේ ලොකු පුතා ජීවහත්ත වගේ චරිතවලට රඟපෑවා.”
මේ වෙනකොට තිරගත වන කාසි වාසි චිත්‍රපටයෙන් පසු අමන්ද්‍යා රඟපාන තව චිත්‍රපටයක් ඉදිරියේ තිරගතවීමට නියමිතලු. ඒ සෝමරත්න දිසානායකගේ ‘කපුටු කොහෝ’ කියන චිත්‍රපටය. ඒ ගැන කියවන ඔබට මතක් කරන ගමන්ම අපි ඊළඟට හැරුනේ ඇගේ ගායන ජීවිතේ පැත්තට. මොකද මෑත කාලයේ අතිශය ජනප්‍රිය වූ ගීතයක් වන ‘රැජිනට ඇන්දා’ ගීතය ගායනා කරන්නෙත් අමන්ද්‍යා.
“ගායනය පැත්ත ගත්තම මේ දවස්වල මගේ අලුත් ගීතය කරගෙන යනවා. ඒ ගීතයත් ළඟදිම අහන්න ලැබෙයි. ඒකත් මං අර කලින් කරපු රැජිනට ඇන්දා, රූප සුන්දරී වගේ වෙනස් ගීතයක්. ඉතින් ඒ ගීතයත් කලින් ගීත වගේ මිනිස්සු හරිම ආදරෙන් වැළඳගනියි කියලා හිතනවා.”
අමන්ද්‍යා ගායනා කළ ගීත අතරින් ජනප්‍රියම ගීතය ‘රැජිනට ඇන්දා’ කියන ගීතය. මේ වෙනකොට ඒ ගීතය යූටියුබ් නැරඹුම් වාර මිලියන 8 පසුකර අවසන්.
“රැජිනට ඇන්දා කියන්නේ මගේ ගායන දිවියේ හැරවුම් ලක්ෂයක්. ඒක ලිව්වේ තාත්තා. තනුව සහන් රන්වල. සංගීතය සංගීත් වික්‍රමසිංහ. ඒ වගේමයි මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කළේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්. ඇත්තටම මාත් මුලින්ම විශ්වාස කළේ නෑ ඒක එච්චරට ජනප්‍රිය වෙයි කියලා. ඒත් ජනප්‍රිය වුණා. ඉතින් ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. අමන්ද්‍යා උත්පලීව මිනිස්සු හරියටම දැනගත්තේ රැජිනට ඇන්දා ගීතයෙන් කිව්වොත් හරි.”
අමන්ද්‍යාගේ ‘රැජිනට ඇන්දා’ නමින් පවත්වන ප්‍රසංග මාලාව ගැනත් අහලා බලන්න හිතුණේ ඒකත් මේ වෙනකොට අපේ රටේ අතිශය කතාබහට ලක්වෙන ප්‍රසංග මාලාවක් නිසා.
“දැනට රැජිනට ඇන්දා කොන්සට් තුනක් කළා. ඒ තුනටම හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා. තුනේදිම රැජිනට ඇන්දා ගීතය ගායනා කරද්දි ලැබුණු ප්‍රතිචාරය නම් මට කවදාවත් අමතක කරන්න බෑ.”
‘රැජිනට ඇන්දා’ ගීතය රටේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් කිහිපයක්ම ප්‍රසංග වේදිකාවෙත් ගායනා කරනවා. අමන්ද්‍යාට ඒක ගැටලුවක් නැද්ද කියලත් නිකමට අහලා බලන්න හිතුණේ අපේ රටේ ඉන්න ඇතැම් කලාකරුවෝ එවැනි දේවල්වලට තරමක් විරුද්ධ නිසා.
“මමත් දැක්කා ගායනා කරනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නෑ. මොකද ඒක මටත් හොඳයි. අනෙක ගීතයත් මිනිස්සු අතරට යනවා. ඒත් ගීතයේ සැබෑ රසය තියාගෙන ඒ ගීතය ගායනා කරනවා නම් කැමතියි.”
අමන්ද්‍යා මෙතෙක් ගායනා කළ ගීත දිහා බැලුවම ඒ සියල්ල ජන සංගීතයත් එක්ක මුසුවුණු, දැනට පවතින රැල්ලෙන් එහාට ගිහින් නිර්මාණය කරපු ගීත බව පැහැදිලියි. අන්න ඒ විශේෂත්වය ගැනයි අපි ඊළඟට අමන්ද්‍යාගෙන් ඇහුවේ.
“මම රැල්ලට නිර්මාණ කරන්න කැමති නෑ. මං කැමති වෙනස් දේවල් කරලා ඒ හරහා මිනිස්සුන්ට වෙනස් අත්දැකීමක් දෙන්න. මං හිතනවා මගේ අරමුණ දැන් සාර්ථකයි කියලා.”
*ඔබ රන්වල බලකායෙත් සාමාජිකාවක් නේද?
“ඔව් ඔව් මම පාසල් යන කාලේ රන්වල පදනමෙන් සංවිධානය කරපු එක්තරා වැඩමුළුවකට අපේ පාසල නියෝජනය කරමින් ගියා. ඒකෙදි මං ගායනා කරපු ජන ගීයක් දැකලයි සහන් රන්වල සර් මට ඔවුන් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කළේ. ඒ 2007 අවුරුද්දේ. 2011දි තමයි මං රන්වල බලකායට බැඳුනේ.”
කතාබහ අතරතුරේ අමන්ද්‍යාගෙන් ඇගේ පියා වන ගිරිරාජ් කෞෂල්‍ය ගැන අහන්නත් අපි අමතක කළේ නෑ.
“මේ වෙනකොට තාත්තා සුවය ලබමින් ඉන්නේ. තව අවුරුදු 2ක් වගේ ප්‍රතිකාර කරන්න වෙයි. ඒත් ගෙදර ඉන්න ගමන් එයා පිටපත් එහෙම ලියනවා. කාසි වාසි හරහා තමයි තාත්තා කාලෙකට පස්සේ ප්‍රේක්ෂකයෝ මුණගැගෙන්නේ.”
දරුවෙක් යම් ක්ෂේත්‍රයකින් ඉහළට යද්දි වැඩිපුර සතුටු ඒ දරුවා හදපු වඩපු දෙමව්පියන්ට කියනවනේ. මේ අමන්ද්‍යා ඒ ගැන කියපු කතාව.
“අද මං ඉන්න තැන දැකලා මගේ අම්මා තාත්තා ගොඩාක් සතුටුවෙනවා. එයාලා තමයි මාව මේ තැනට ගේන්න ගොඩාක් මහන්සි වුණේ සහ ගොඩාක් කැපකිරීම් කළේ. විශේෂයෙන්ම තාත්තා ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. හදිසියේ තාත්තා අසනීපවීම එක්ක එයාට යම් කාලයක් කලාවෙන් දුරස්වෙන්න වුණා. ඒකට එයා ගොඩාක් දුක්වුණා. මොකද කලාව තමයි එයාගේ ජීවිතේ. ඒත් එයාගේ දුව විදියට මම කලාවට පැමිණීමත් එක්ක එයාගේ ඒ දුක නැතිවුණා කියලා මම හිතනවා. ඒ ගැන සතුටුයි.”
*තාත්තා දැනට අමන්ද්‍යාගේ නිර්මාණයට දීලා තියෙන හොඳම ප්‍රතිචාරය මතකද?
“මම මොනවා කළත් එයාගේ ප්‍රතිචාරය ‘ෂා මරු නියමයි’ කියන එක. එයා එහෙම කිව්වා කියන්නේ ඉතින් මං කරපු වැඩේ හොඳටම හොඳයි කියන එක තමයි.”
එහෙම කියපු අමන්ද්‍යා ඇගේ කලා ගමනට අත හිත දුන් හැමෝම වගේම ඇයගේ නිර්මාණ රසවිඳින ආදරණීය රසික රසිකාවියන් හරි ආදරෙන් මතක් කළා. ඒ වගේම ඇය අපේ මේ කතාබහට සමුදුන්නේ ‘ධරණී’ කියවන පාඨක ඔබ වෙනුවෙන් ලස්සන කතාවකුත් කියලා.
“මම හැමෝටම කියන්නේ මේ ගෙවෙන මොහොත උපරිමයෙන් විඳින්න. පුළුවන් තරම් සතුටින් ඉන්න. මොකද අපි හෙට කියලා කියන්නේ ඒ හැමදෙයක්ම අහිමි වෙන දවසක් වෙන්න පුළුවන්. ඒක මම ඉගෙනගත්තේ තාත්තගෙන්. එයා හිතපු නැති විදියට අසනීප වුණා. අපි වුණත් අද මෙහෙම ඉඳලා හෙට මොනවා වෙයිද දන්නේ නෑ. ඒ නිසා හොඳම දේ, අවිනිශ්චිත හෙට දවසේ සතුටක් ගැන හීන මවනවාට වඩා මේ මොහොත සතුටින් ඉන්න එකයි.”
රුවන් එස්.සෙනවිරත්න
ඡායාරූප – චමත් ඒකනායක
මේකප් – Shashika Mihiran
ඇඳුම් – Sketch Co