කිසි කිසි ගා ‘කිෂි’ දුම්රියපොළට සංචාරකයින් අද්දන ‘පූස් දුම්රිය ස්ථානාධිපතිනිය’
අපේ රටට පැමිණෙන විදේශීය සංචාරකයින් වගේම බොහොමයක් දේශීය සංචාරකයිනුත් උඩරට දිහාවට සංචාරය කරද්දී උඩරට රේල්ලුව වැඩිපුර යොදාගන්න බවක් පේන්න තියෙනවා. උඩරට දුම්රිය ගමන අතරතුර දුම්රිය මාර්ගය දෙපස සිරි අසිරි විඳගැනීමයි මේ බොහෝදෙනෙකුගේ අරමුණ. ඒ හැරුණම දුම්රිය ස්ථානයක් නැරඹීම සඳහාම රේල්ලුවට ගොඩවෙන සංචාරකයින් ප්‍රමාණය ඉතා අඩුයි. හැබැයි සොබා සෞන්දර්යයෙන් අනූන ජපානයේ එවැනි එක් කුඩා දුම්රිය ස්ථානයක් නැරඹීම සඳහාම සිය දහස් ගණන් සංචාරකයන් එහි යන බව කලකට ඉහත දැනගන්න ලැබුණා. ජපානයේ වකයාමා හි කිනොකාවා නගරයට ආසන්නව ඇති ‘කිෂි’ කියන දුම්රියපල සොයාගෙන ඔවුන් මේ විදියට යන්නේ එහි සිරි නැරඹීමටත් වඩා එහි සිටින සුරූපී ස්ථානාධිපතිනිය බැහැ දකින්නට කියලයි ආරංචි. හැබැයි මේ සුරූපිනිය මනුෂ්‍ය දියණියක් නම් නෙවෙයි. ඇය ‘පූස්’ ධේනුවක්. අන්න ඒ පූස් දුම්රිය ස්ථානාධිපතිනිය ගැනයි මේ කියන්න යන්නේ.
2006 වසර වනවිට වකයාමා විදුලි දුම්රිය සමාගම කියන්නේ වකයාමා නුවර හා ඒ තදාසන්න ප්‍රදේශවලට ගමන් පහසුකම් සපයන කුඩා දුම්රිය සමාගමක්. ප්‍රධාන වශයෙන් ගත්තොත් කිෂිගාවා කියන දුම්රිය මාර්ගයට අයත් දුම්රිය ගමන් තමයි ඔවුන් විසින් සිදුකරන්නේ.
හැබැයි බොහොම අවාසනාවන්ත විදියට 2006 වසරේ අවසාන භාගය වෙද්දී මේ දුම්රිය සමාගම පාඩු ලබන තත්ත්වයකට පත්වුණා. මේ නිසා මේ දුම්රිය සමාගමේ පාලන තන්ත්‍රය සේවක කප්පාදුවක් පවා සිදු කරන්නට තීරණය කළා. ඒ, මේ තත්ත්වය දිගටම පැවතුනහොත් මාස කීපයකින් සමාගම වසා දැමීමට සිදුවන නිසා. ඒ අනුව කිෂිගාවා දුම්රිය මාර්ගයට අයත් සියලුම දුම්රිය ස්ථානවල සේවක ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කෙරුණා. මේ කාලය වෙද්දී මේ රේල්ලුවට අයත් ‘කිෂි’ දුම්රිය ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති විදියට හිටියේ ටොෂිකි කොයාමා කියලා පුද්ගලයෙක්. 2004 වසරේ පටන් මේ සමාගම මඟින් වරින් වර සිදු කරපු සේවක කප්පාදුවට හසු නොවී සිටීමට තරම් ඔහු වාසනාවන්ත වී තිබුණා.
ටොෂිකි කොයාමා කියන්නේ සතුන්ට ඉතාමත් ලැදි පුද්ගලයෙක්. ඔහු මේ දුම්රිය ස්ථානයට පත් වී ආ දා පටන් අවට අයාලේ යන සතුන්ට ආහාර සපයා සුරක්ෂිත කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන ගියා. මේ අතර ඉඳපු වයස අවුරුදු හයක් පමණ වෙන බළල් ධේනුවක් හොඳින්ම ඔහුගේ සිත දිනාගෙන හිටියා. මුලින් කේඬෑරිව සිටියත් සාත්තු සප්පායම් නිසා ඇය නොබෝ දිනකින්ම පෘෂ්ඨිමත් බළල් ධේනුවක් බවට පත්වුණා.
මේ අතරේ තමන් සේවයේ නියුක්ත දුම්රිය සමාගම කඩාවැටෙනු දුටු කොයාමා දිවා රෑ දෙකේම ඒ සඳහා විසඳුමක් කල්පනා කළා. අවසානයේ ඔහුට එක්වරම යමක් සිහියට ආවා. ඒ තමා සුරතලයට හදාවඩාගන්නා අයාලේ ගිය බැළලිය යොදාගෙන ප්‍රවර්ධන වැඩපිළිවෙලක් සිදුකිරීමට. ඒ සඳහා සුදුසු පෙනුමක් ඒ වනවිටත් ඇයට ලැබී තිබුණා. තමා නිලයෙන් ඉවත් වී ඒ වෙනුවට මේ ‘පූසිය’ කිෂි දුම්රිය පොළේ සංකේතාත්මක ස්ථානාධිපති බවට පත්කිරීමට අවසානයේ ඔහු තීරණය කළා.
කොයාමා වහාම දුම්රිය සමාගමේ ප්‍රධානීන් සමඟ මේ ගැන සාකච්ඡා කළා. පිස්සු අදහසක් ලෙස සලකා බලධාරීන් විසින් එය ඉවත දමාවි යැයි ඔහු සිතුවත් ඔහුගේ ප්‍රධානීන් ඔහුට ඒ සඳහා අවසර දුන්නේ අගය කිරීමකුත් සමඟයි.
ඉතින් එහි ප්‍රතිඵලයක් විදියට 2007 අවුරුද්දේ ජනවාරි 05 වැනිදා ‘ටාමා’ නම් මේ පූස් ධේනුව නිල වශයෙන් කිෂි දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙස සංකේතාත්මකව පත් කෙරුණා. ඒ වනවිට ඇගේ වයස අවුරුදු හතයි. ටාමාට පැවරුණු මුල්ම රාජකාරිය වුණේ එහි එන මඟීන්ට සුබ පතන එක.
ඔන්න ඉතින් ටික දවසක් ගතවෙනකොට කොයාමා හා ඔහුගේ ප්‍රධානීන් ගත්තු මේ නිර්භීත තීරණය මල්ඵල ගැන්වෙන ලකුණු පහළ වෙන්න පටන්ගත්තා. ජපානයේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව අඩු සංචාරක ආකර්ෂණයක් තිබුණු කිෂිගාවා දුම්රිය මාර්ගය අයත් ප්‍රදේශයට සෙමින් සෙමින් සංචාරකයන් සම්ප්‍රාප්ත වන බවක් පෙනුණා. ඒ වෙන කිසිම දේකට නෙවෙයි, මේ හුරුබුහුටි ස්ථානාධිපතිනිය නැරඹීමට. ඇයව සුරතල් කිරීම හා ඇය සමඟ එකට හිඳ පින්තූර ගැනීම ඔවුන් බොහෝ සෙයින් ප්‍රිය කළා. මේ නිසා වසරක් තුළ දුම්රිය සමාගමේ ආදායම සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියා.
වැඩිකල් යන්නට මත්තෙන් වකයාමා විදුලි දුම්රිය සමාගම තමන් වැටී සිටි මූල්‍ය අර්බුධයෙන් මිදුණා පමණක් නොව ලාබ ලබන සාර්ථක සමාගමක් බවටත් පත් වුණා. මේ සියල්ලම සිදුවුණේ ‘ටාමා’ නිසායි. රාමුවෙන් පිට සිතා කටයුතු කළ කොයාමාත් ඊට අකුල් නොහෙලූ දුම්රිය සමාඟමේ ප්‍රධානීනුත් මේ සාර්ථකත්වයේ නිහඬ වීරයන් ලෙස ඉතා සතුටින් මේ දෙස බලා සිටියා. අවසානයේ ටාමා විසින් වසරක් ගත වෙද්දී දේශීය ආර්ථිකයට යෙන් බිලියන 1.1 ක අතිවිශාල අදායමක් උපයා දී තිබුණා.
ටාමාගේ ආකර්ෂණයෙන් තව තවත් ප්‍රයෝජන ගන්නට හිතපු වකයාමා විදුලි දුම්රිය සමාගමේ ප්‍රධානීන් කිෂි දුම්රියපළේ හැඩයත් බළලෙකුගේ හැඩයට අනුව වෙනස් කළා. ඒ මාර්ගයේ දිවෙන සමහර දුම්රියවලට ‘පූස්’ තේමාවක් හඳුන්වා දුන් ඔවුන් සමහර විටෙක ටාමාවත් ඒ තුළ ගෙන ගියා. ඇයට දුම්රියපොළ ‘කාර්යයාලයක්’ නවතම තේමාවකට අනුව සකස් කර දුන්නා. එයින් නොනැවතී ඇය බලන්නට එන සංචාරකයින්ට මිලදී ගැනීම උදෙසා විවිධ සමරු වැනි දෑ නිෂ්පාදනය කෙරුණා. මේ සියලු දේ නිසා කඩාවැටුණු සමාගම ජපානයේ ආර්ථික අතින් ශක්තිමත්ම ව්‍යාපාරයක් බවට පත්වුණා. සංචාරක ආකර්ෂණය වැඩි කරනු වස් කිහිපවිටක්ම ‘ටාමා’ ඉහළ නිලවලට පත් කෙරුණා. මේ ආකාරයට සත් වසරක්ම ටාමා සාර්ථකව සිය සමාගමට වාසනාව අරගෙන ආවා.
ඒ වුණත් 2015 වසරේදී බිලාල කුළයට අනුව දීර්ඝ ආයුෂයක් විඳ ටාමා අවසන් ගමන් ගියා. මියයන විට ඇගේ වයස අවුරුදු 16යි. තුන් දහසක් පමණ දෙනාගේ සහභාගීත්වයෙන් ඇගේ අවමඟුල් උත්සවය පැවැත්වුණා. මේ අතර ඇයගේ අනුප්‍රාප්තිකයා විදියට ඇය වැනිම තවත් අයාලයේ ගිය පූස් ධේනුවක් පත් කෙරුණා. ඇගේ නම ‘නිටාමා’. ඒ වසර ගණනාවක පුහුණුවකින් පසුවයි. ඇය ටාමා මෙන්ම සංචාරක ආකර්ෂණය නොමඳව දිනාගනිමින් විශාල වශයෙන් ආදායම් හා ලාභ සිය සමාගමට ගෙනාවා. තවත් දුරදිග බලමින් මේ සමාගම ‘යොන්ටාමා’ නමැති කුඩා පූස් පැටවෙකු නිටාමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පුහුණු කරන බවට 2017 වසරෙදී ප්‍රකාශ කළා. දැනගන්න ලැබෙන විදියට නම් තවමත් නිටාමා කිෂි දුම්රිය ස්ථානයේ පූස් දුම්රිය ස්ථානාධිපතිනිය විදියට වැඩ කරමින් ඉන්නවා.
සුරූපී බළල් ධේනුවක් කඩා වැටෙන්න ගිය සමාගමක ආර්ථිකය උඩු යටිකුරු කළේ ඔන්න ඔහොමයි.
ඩී.පී.වේවැල්පනාව