සිගරට් විතරක් නෙවෙයි මම කිසිම මත්ද්‍රව්‍යක් පාවිච්චි කරන්නෙ නෑ
කාලයකට ඉහතදී විදෙස් මෙගා ටෙලිකතා රැලලක් වෙලා ලංකාවේ රූපවාහිනී නාලිකාවල විකාශය වුණා. ඒ හරහා දකින්න ලැබුණේ විදේශීය නළු නිළියන් වුණත් ඒ වෙතින් ඇසුණ හඬවලට හිමිකම්කීවේ ලංකාවේ හඬකැවීම් ශිල්පීන්. ඒ අතරින් හිරු නාලිකාවේ විකාශය වුණ ‘ඉම්ලි’ ටෙලිකතාවේ ආදිත්‍ය ත්‍රිපාටිගේ චරිතයට වගේම දෙරණ නාලිකාවේ විකාශය වුණ ‘මුතුඅහුරේ’ ට්‍රොප් රැක්ගේ හඬට හිමිකම් කීව තරුණයෙක් හිටියා. අද වෙද්දී ඔහු හඬකැවීම් ශිල්පියෙක් විදියට විතරක් නෙවෙයි රංගන ශිල්පියෙක් විදියටත් විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටින කෙනෙක්. ඒ තමයි යශ් වීරසිංහ. කාලයක් හිරු නාලිකාවේ විකාශය වුණ ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ රෙදිමෝල්වත්තේ අනාගේ චරිතයෙන් ප්‍රේක්ෂක හමුවට ආ ඔහු මේ දිනවල බොහෝ සෙයින් ජනප්‍රියව සිටින්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ‘විසේකාරී’ ටෙලිනාට්‍යයේ ධීරගේ චරිතයෙන්. ධීරට පණපොවන අන්න ඒ යශ් සමඟයි අපි මෙවර කතාබහක යෙදුණේ.
*ඉතින්, යශ් කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
*ඒ කියන්නේ අලුත් වැඩකටවත් අතගැහුවද?
අලුත් චිත්‍රපටයක් වෙනුවෙන් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපටයේ රූගතකිරීම් යෙදිලා තිබුණේ ජනවාරි මාසේ. ඒත් ලොකේෂන්වල ගැටලුවක් වෙලා හදිස්සියේ රූගතකිරීම් මාර්තු මාසෙට කල්ගියා. ඒ වුණත් ඒ චිත්‍රපටය වෙනුවෙන් මේ දවස්වල සූදානම් වෙනවා.
*ඒ අලුත් චිත්‍රපටයේ නමත් කියමුද?
ඒකට නම් ටික දවසක් ඉවසගෙන ඉන්න වෙනවා. චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් මම ප්‍රේක්ෂකයන් අතරට එන පළවැනි වතාව මේක.
*ඊට අමතරව මේ දවස්වල ඔබ රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යය මතක් කළොත්?
මේ දවස්වල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘විසේකාරී’ ටෙලිනාට්‍යයේ ධීරගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒ අතරේ ‘24 love story’ කියලා ටෙලිනාට්‍යයක රූගතකිරීම් අවසන් කරලා තියෙනවා. ඊට අමතරව මාර්තු මාසයේ අගවෙද්දී තවත් ටෙලිනාට්‍යයක රූගතකිරීම්වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
* විසේකාරී ටෙලිනාට්‍යයේ ධීරගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මට දැන් කොතැන ගියත් කතා කරන්නේ ධීර කියලා. මම පසුගිය දවස් කිහිපයේ නුවරඑළි ගිහින් ආවා. එතකොට ගොඩක් අය ඇවිත් මට කතා කළා. ඒ අතරේ මුස්ලිම් සහෝදරයොත් බොහෝදෙනෙක් හිටියා. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ විසේකාරී ටෙලිනාට්‍යයේ ධීරගේ චරිතය ජාති භේදයක් නැතිව හැමෝම ආදරයෙන් වැළඳගෙන කියලා. මම රංගනයට ඇවිත් ගතවුණ මේ අවුරුදු 09 ඇතුළේ ඒක හිතට තදින්ම දැනුණ ප්‍රතිචාරයක්.
*ඒ කියන්නේ ඔබ රංගනයට ඇවිත් අවුරුදු 09ක්?
ඔව්. හැබැයි මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවේ හඩකැවීම් ශිල්පියෙක් විදියට. ඊටපස්සේ තිර පරීක්ෂවලට මුහුණ දීලා 2015 අවුරුද්දේ ටෙලිනාට්‍යය චරිත කිහිපයකට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. හැබැයි 2019 අවුරුද්දේදී තමයි මට පළවැනිපාරට ප්‍රධාන චරිතයක් කරන්න අවස්ථාව ලැබුණේ. ඒ විදියටයි රංගනයෙන් මේතාක් දුර ආවේ.
*ප්‍රධාන චරිතයක් කරන්න එච්චර කාලයක් බලන් හිටියේ ඇයි?
මම පුංචි කාලේ ඉදලම හීන දැක්කේ නළුවෙක් වෙන්න. ඒකට පවුලේ පසුබිම වගේම මගේ හැකියාවත් ගොඩක්ම බලපෑවා. පවුලේ අයගෙන් ලැබුණ පන්නරය එක්ක පුංචි කාලේ ඉඳලම පාසල් වේදිකානාට්‍යවල මම රගපෑවා. ඒ දේවල් එක්ක මට ඕනවුණේ ටික ටික අත්දැකීම් එකතු කරගෙන දුර ගමනක් යන්න. ඒක නිසා හරිම වෙලාව එනකන් ඉවසීමෙන් බලන් හිටියා.
*හැබැයි අද වෙද්දී නව පරපුරේ බෝහෝ පිරිස් එක රැයින් රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන් බවට පත්වීමේ බලාපොරොත්තුවෙන් රියැලිටි වැඩසටන්වලට සහ අවුරුදු කුමර කුමරිය තරඟවලට සහභාගී වෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
ක්ෂේත්‍රයට එන්න එහෙම අවස්ථා ලැබෙන එක හොඳයි. හැබැයි එහෙම එද්දී ක්ෂේත්‍රයේ රඳාපවතින්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන එනවා නම් ගොඩක් හොඳයි.
*ඔය කියන විදියට ක්ෂේත්‍රයේ රඳාපවතින්න යෂ් අනුගමනය කරන්නේ මොනවගේ ප්‍රතිපත්තිද?
මට පැවරුණ වැඩේ මම හරි වෙලාවට වගේම හරියටම කරනවා, පොළොවේ පය ගහලා ජීවත්වෙනවා. ඊට අමතරව ක්ෂේත්‍රයේ රඳාපවතින්න විනය කියන දේත් ගොඩක් වැදගත් කියලා මම විශ්වාස කරනවා.
*දැන් එතකොට හඬකවන්නේ නැද්ද?
කලා කටයුතු නිසා මෑතකදී නම් හඬකවන්න ඉඩක් ලැබුණේ නැහැ. මගේ මතකේ හැටියට අන්තිමටම මම හඬකැව්වේ හිරු නාලිකාවේ විකාශය වුණ ඉම්ලි ටෙලිනාට්‍යයේ ආදිත්‍යගේ චරිතයට. ඊටපස්සේ හඬකැවීම්වලට සහභාගී වෙන්න වුණේ නැහැ.
*ඔබ සිගරට් එකක්වත් පානය කරන්නේ නැහැ කියන කතාව ඇත්තක්ද?
මම සිගරට් විතරක් නෙවෙයි මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පානය කරන්නේ නැහැ. හදිස්සියෙවත් රූගතකීරීම්වලදී සිගරට් බොන චරිතයක් කරන්න වුණොත් කටට දුම යන්න නොදී කොහොමහරි පාලනය කරගෙන තමයි ඒ චරිතය කරන්නේ.
*පවුලේ විස්තර කිව්වොත්?
පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අයියා, මම, නංගී.
*ඒ අතරට අලුත් සමාජිකයෙකුත් මෑතකදී එකතු වුණා නේද?
ආ ඔව් (සිනාසෙමින්). එයාගේ නම ලියෝ වීරසිංහ. එයා තාම මාස 09ක බලු කොල්ලෙක්.
*දැන් කලවයසත් හරි නේද?
අපෝ නැහැ. ඒවට තව කල් තියෙනවා. මේ වෙලාවේ මගේ එකම අරමුණ කලා කටයුතුවලට මුල්තැන දෙන එක විතරයි.
*එතකොට පෙම්වතියක් එහෙම නැද්ද?
නැහැ.
*කාලයක් ඔබට ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් අළලා ගොසිප් එකක් හැදුනා නේද?
ඒක ඉතිං සාමාන්‍ය දෙයක්. නළුවෙක් වගේම නිළියක් ටෙලිනාට්‍යයක පෙම්වතා, පෙම්වතියගේ චරිතය රගපෑවොත් ඒ දෙන්නා ගැළපෙනවා කියලා හිතුණොත් ගොසිප් එකක් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතිං මටත් ඒ වගේ නිළියන් කිහිපදෙනෙක් අදාළ කරගෙන ගොසිප් හැදිලා තියෙනවා. ඉස්සරහට තව ගොසිප් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
නෙත්මි තෂාරා