නවතම ප්‍රවෘත්ති

“පෙර භවයක මා ටිබෙට් දේශයේ ලාමාවරයෙක් වෙලා හිටියා” පලිඟු බෝලයෙන් බලා අනාගතය ගැන කියන්නී

විවිධ විදියට අනාගත අනාවැකි පවසන ලද පුද්ගලයන් ඉතිහාසය පුරාම අපට මුණගැහෙනවා. සමහරුන් පැවසූ අනාවැකි මුසා බවට පත්වී සමාජයේ ගැරහුමට ලක්වෙද්දී තවත් සමහරු සාර්ථක අනාවැකි පවසා ගරු බුහුමනට පාත්‍ර වී තිබෙනවා. අමෙරිකාව වැනි බටහිර රටවලින් පවා බිහි වූ මේ විදියේ අනාවැකිකරුවන් බොහොමයක් සිටිනවා. ජීන් ඩික්සන් කියන්නෙත් එහෙම කෙනෙක්. සුරූපී ලලනාවක් වුණු ඇය ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ඇතුළු අමෙරිකානු ජනපතිවරු කිහිපදෙනෙකුගේම සමීපතමයෙකු බවට පත්වෙලා හිටියෙත් ඇය ඔවුන්ට පැවසූ සමහර අනාවැකි ඒ ලෙසම සාර්ථක වුණු නිසා. මේ විදියට අනාවැකි කීම සඳහා ඇය යොදාගත්තේ සුවිශේෂී ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි පලිඟු බෝලයක් තුළින් නිරීක්ෂණය කිරීම.

ජීන් ඩික්සන් ඉපදුණේ 1904 වසරේ ජනවාරි 4 වැනිදා. උපතින්ම භක්තිමත් රෝමානු කතෝලික කාන්තාවක් වූ ඇය 1939 වසරේදී විවාහ වුණේ ජේම්ස් ඩික්සන් නමැති ව්‍යාපාරිකයෙකු සමඟ.

සාමාන්‍ය දැරියක් ලෙස ඉපදුණු ජීන් ඩික්සන්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන්ගත්තේ ඈ කුඩා කාලයේ එක්තරා දිනයක අහිකුණ්ඨික තැනත්තෙක් ඇගේ අත්ල පරීක්ෂා කිරීමෙන් පස්සෙයි. එහිදී ඇයගේ අනාවැකි කීමේ හැකියාව හඳුනාගෙන ඔහු ඇයට පලිඟු බෝලයක් තෑගි ලෙස ලබා දී තිබෙනවා. ඉන්පස්සේ වයස අවුරුදු 9 පටන් අනාගතයේ සිදුවන යම් යම් සිද්ධීන් තමන්ට පෙනෙන්නට පටන්ගත් බවයි ඇය පවසා තිබෙන්නේ.

තමන් පුනරුප්පත්තිය විශ්වාස කරන බවත් පෙර භවයක ටිබෙට් දේශයේ ලාමාවරයෙක් වශයෙන් ජීවත් වූ බවත් ඇය පසුකලෙක පවසා තිබෙනවා. තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තිබුණත්, ප්‍රසිද්ධ පුද්ගලයන්ට අතරින් පතර අනාවැකි ලබා දුන්නත් විවාහ වනතුරුම වෘත්තීය වශයෙන් ජීන් අනාවැකි ප්‍රකාශ කළේ නැහැ. සිය සැමියාගේ ව්‍යාපාරික කටයුතු සඳහා ඇය සැපයූ අනාගත වාක්‍යවලින් ඔහුගේ ව්‍යාපාර සාර්ථක වූ පසුවයි ඇය වෘත්තීමය වශයෙන් අනාවැකි කියන්නට පටන්ගත්තේ.

අනාවැකි කියන්නියක් විදියට ඇගේ නම අමෙරිකාවේ වඩාත් ප්‍රසිද්ධ වුණේ නම් 1942 ජනවාරි මාසයේ දවසක ඇය එවකට ප්‍රසිද්ධ හොලිවුඩ් නිළයක් වූ කැරොල් ලොම්බාර්ඩ්ට කියපු අනාවැකියක් නිසයි. ඊළඟ සති කිහිපය තුළ ගුවන්යානාවල ගමන් කිරීම ඇයට අනතුරුදායක බව ජීන් ඩික්සන් ප්‍රකාශ කර තිබුණා. ඒ අනාවැකිය දැඩි ලෙස විශ්වාස නොකළත් යන්නට සිටි ගමනක් ගුවනින් යාම අවලංගුකොට දුම්රියෙන් යාමට ඇය තීරණය කළා. අවසානයේ කිසිම කරදරයක් හෝ බාධකයක් නොමැතිව අදාළ කාර්යය ඉටුකරගත් ඇය නැවත පැමිණීමේදී ඉක්මනින් පැමිණීමට අවශ්‍යව තිබූ නිසා ගුවන්යානයෙන් පැමිණීමට තීරණය කළා. නමුත් යානය මගදී අනතුරට ලක්වීමෙන් ලොම්බාර්ඩ්ට ජීවිතය අහිමි වුණා. මේ අනාවැකිය සාර්ථක වීමත් සමඟ ජීන් ඩික්සන්ගේ නම අමෙරිකාව තුළ වඩ වඩාත් ප්‍රසිද්ධ වුණා.

මේ අතරතුර 1945 දී එවකට අමෙරිකානු ජනපති ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් ඇයගෙන් අනාවැකියක් විමසා සිටියා. ඒ තමන් සිව්වැනි වර සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ජයග්‍රහණය කරාවිද කියලයි. නමුත් ඒ මොහොතේ ඇය ඔහුට ප්‍රකාශ කළේ “ඔබට තව ජීවත්වීමට ඇත්තේ කෙටි කාලයක්” කියා පමණයි. ඒ කිව්වා වගේම කෙටි කලෙකින් ඔහු මියගියා. ඒත් සමඟම ඇය බ්‍රිතාන්‍යයේ වින්ස්ටන් චර්චිල් ළඟ එන මැතිවරණය පරාජය වන බවත් එහෙත් හෙතෙම නැවත බලයට පත්වන බවත් පැවසුවා. ඒ කියූ ලෙසම ඒ අනාවැකියත් සාර්ථක වුණා.

මීට අමතරව ඇය 1940 හා 50 දශකවල කළ ප්‍රසිද්ධ හා සාර්ථක පෙරැයීම්වලින් කිහිපයක් විදියට 1947 ඉන්දු-පාකිස්තාන බෙදීමත්, කොරියානු යුද්ධය පිළිබඳ අනාවැකිත්, 1953 දී සිදුවුණු ස්ටාලින්ගේ මරණය පිළිබඳ අනාවැකියත් පෙන්වා දෙන්න පුළුවන්. 1953 දී සාර්ථකව රුසියාව ස්පුට්නික් යානය අභ්‍යාවකාශගත කිරීම පිළිබඳ අනාවැකියක් පැවසූ ඇය 1961 වසරේදී ගුවන් අනතුරකින් මියගිය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඩැග් හැමර්ෂල්ඩ්ට පවසා තිබුණේ එම ගුවන්යානයේ ගමන් නොකරන ලෙසයි.

ජෝන් එෆ්.කෙනඩි පිළිබඳව ජීන් ඩික්සන් කළ අනාවැකිය ඇය ජීවිත කාලය තුළ කළ අනාවැකි අතරින් වඩාත්ම කතාබහට ලක්වුණු එකක්. 1956 වසරේදී ඇය 1960 මැතිවරණය ඩිමොක්‍රටික් පාක්ෂිකයා දිනන බවත් ඔහු සිය ධුර කාලය තුළ ඝාතනය වන බවත් ප්‍රකාශ කළා. 1960 වනවිට ඇය සිය මතය වෙනස් කරමින් කෙනඩි ඡන්දය පරාජය වනු ඇති බව ප්‍රකාශ කළත් එය වැරදුනා. අලුතෙන් පත්වුණු ජනපතිගේ ආරක්ෂාව ගැන නිති වදවුණු ඇය 1963 නොවැම්බර් 22 වනදා උදෑසනම සිය මිතුරු මිතුරියන්ට ප්‍රකාශ කර තිබුණේ “එය අද සිදුවනු ඇති” කියලයි. ඒ කිව්වා වගේම එදිනම ජෝන් එෆ් කෙනඩි ඝාතනය වුණා.

ජීන් ඩික්සන්ගේ අනාවැකි ඉතාම නිවැරදි ලෙස සැලකුණත් ඇය කියූ අනාවැකි සැලකිය යුතු ප්‍රමාණයක් වැරදී ඇති අවස්ථාත් තිබෙනවා. 1962 වසරේ ඇය ප්‍රකාශ කළ ලෝකයට සාමය ගෙන එන පුද්ගලයෙකු පිලිබඳ අනාවැකිය තවමත් විවාදිත මට්ටමේ තිබෙන එකක්. ඒ වගේම රුසියානුවන් අමෙරිකානුවන්ට කලින් සඳට යෑම, 1958 දී තෙවන ලෝක යුද්ධයක් ඇති වීම, 1967 දී පිළිකාවට ඖෂධයක් සොයාගැනීම, රිචඩ් නික්සන් ජනපතිතුමා හොඳින් රට පාලනය කිරීම, රෝමය නැවත ලෝකයේ ප්‍රධාන පාලන මූලස්ථානය වීම, 2000 වසර වනවිට ලෝකයේ සාමය ස්ථාපිත වී තිබීම කියන අනාවැකිත් සාර්ථක වී නැහැ.

කොහොම නමුත් ජනපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ගේ සිට රොනල්ඩ් රේගන් දක්වාම අතරින් පතර ජීන් ඩික්සන් ධවල මන්දිරයේ අනාවැකිකාරිනියක් ලෙස ක්‍රියා කර තිබෙනවා.

1997 ජනවාරි 25 වන දින හෘදයාබාධයක් හේතුවෙන් ජීන් ඩික්සන් මියයන විට ඇය වයස අවුරුදු 93ක වයෝවෘද්ධ තැනැත්තියක්. අද වනවිට ඇයගේ ලියකියවිලි, බඩු භාණ්ඩ වර්ජිනියා ප්‍රාන්තයේ ස්ටාර්ස්බර්ග්හි පිහිටුවා ඇති ජීන් ඩික්සන් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඩී.පී.වේවැල්පනාව