නවතම ප්‍රවෘත්ති

ඒ කාලෙ අපි ෆොටෝ එකක් ගැහුවේ කෙනෙක් මැරුණොත් විතරයි

මුලතිව් උපන් ශකිලා කුඩා කාලයේ පටන් අධ්‍යාපනයට, ක්‍රීඩාවට හා කලාවට දක්ෂකම් දක්වන්නීය. පියාට හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිය උසස් අධ්‍යාපනය අතරමග නවතා දමන ශකිලා ඊළාම් අධිකරණයේ රැකියාවට බැඳෙන්නීය. මේ අතර දෙවන ඊළාම් යුද්ධයේ ආරම්භයත් සමඟ මුලිතිව් පදිංචිය අතහැර පුදුකුඩිරිප්පු පදිංචියට යන ඈ යාපනය හෙද විදුහලේ පුහුණුවට ඇතුළත් වෙයි. නමුත් රිවිරැස මෙහෙයුම හේතුවෙන් යාපනය අතහැර නැවතත් පුදුකුඩිරිප්පු වෙත පැමිණීමට ඇයට සිදුවෙයි. 1996 ජූලි 18 දින මුලතිව් කඳවුරට එල්ල වූ දැවැන්ත ප්‍රහාරයත් සමඟ කඳවුර එල්.ටී.ටි.ඊ. ග්‍රහණයට නතු වේ. පසුව ශකිලා ඇතුළු පවුලේ සාමාජිකයන් නැවතත් මුලතිව්හි පදිංචිය සඳහා පැමිණීමට තීරණය කරයි. අද එතැන් සිට.

“මුලතිව් කඳවුර විනාශවෙලා සතියක් විතර යද්දි මුලතිව් අත්හැරලා ගිහින් හිටපු අය ටිකෙන් ටික මුලතිව් පදිංචියට එන්න ගත්තා. එල්.ටී.ටි.ඊ. සංවිධානයෙන් දැනුම් දුන්නා යුද හමුදා කඳවුරු සීමාවේ ඉඳපු අයට දැන්ම පදිංචියට එන්න එපා කියලා. එහෙම කිව්වේ ඒ වෙද්දිත් යුද හමුදාවේ අවි ආයුධ අහුමුළුවල තිබුණු නිසා. ඒ වගේම වළදාපු බිම්බෝම්බ, පුද්ගලනාශක බෝම්බ හැමතැනකම වගේ තිබුණා. ඒ දවස්වල මගේ මාධ්‍ය රාජකාරිය තමයි එල්.ටී.ටි.ඊ. සංවිධානයෙන් දෙන නිවේදන ප්‍රවෘත්තියක් විදියට ප්‍රචාරය කරන එක. ඔය විදියට සති 2-3ක් විතර ගියා. ඊටපස්සේ සංවිධානයෙන් නිවේදනය කළා මුලතිව් නගරය නැවත පිහිටුවන්න ඊළාම් රජය කටයුතු කරනවා කියලා.”

සැබැවින්ම මුලිතිව් කඳවුර කිලෝමීටර 4ක් පමණ දිගින් මෙන්ම කිලෝමීටර 1 1/2ක් පමණ පළලට පිහිටා තිබූ බැවින් එම ප්‍රදේශයට රජයේ හා පෞද්ගලික ​ගොඩනැගිලි රාශියක් අයත් වී තිබුණි. ඒ වනවිට මුලතිව් නගරයේ පිහිටි බැංකු, රජයේ කාර්යාල, පාසල් ඇතුළු බොහෝ ස්ථාන පුදුකුඩිරිප්පු නගරයේ ස්ථාපිත කර තිබුණි. නිල නොවන ඊළාම් රාජ්‍යයක් පවත්වාගෙන ගිය එල්.ටී.ටි.ඊ.ය විසින් මුලතිව්හි සිය බලය ස්ථාපිත කිරීමට කටයුතු කළ ආකාරය විස්තර කළ ශකිලා.

“ඒ කාලයේ උතුරේ එල්.ටී.ටි.ඊ. සංවිධානයේ ඊළාම් පාලනයක් තිබුණට රජයේ පාසල්, රෝහල් හා පරිපාලන මධ්‍යස්ථාන ඒ විදියටම තිබුණා. ඒ තැන්වලට වැටුප් ගෙව්වෙත් රජයෙන්. නමුත් අධිකරණ, පොලිසි, රේගු වගේ ආයතන තිබුණේ ඊළාම් රජයේ. මුලිතිව් කඳවුර ඉවත් වුණාට පස්සේ ඊළඟ මාස කීපයේම සිද්ධ වුණේ රජයේ කාර්යාල ස්ථාපිත කරන එක. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රෝහල, මුලතිව් විදුහල වගේ තැන්වල යුද හමුදා කඳවුරු විදියට තමයි පාවිච්චි කරලා තිබුණෙ. ඉතින් දවසින් දවස මේ ස්ථාන ප්‍රතිසංස්කරණය කරලා ඒ කාර්යාල විවෘත කළා. ඒ දවස්වල අපට වැඩිපුරම තිබුණ විවෘත කරපු රජයේ කාර්යාලවල ප්‍රවෘත්ති ආවරණය කරන්න.”

 

*එතකොට සාමාන්‍ය ජනතාවගේ පදිංචිය?

“නගරයේ තිබුණ රජයේ බැංකු කීපයක්ම විවෘත කළා. වෙළෙන්දෝ එයාලගෙ වෙළඳසැල් ප්‍රතිසංස්කරණය කරලා පටන්ගත්තා. හැබැයි තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි ඉඩකඩම් සීමා ප්‍රශ්න. සමහර ගොඩනැගිලි විනාශ වෙලා නිසා ඒවාවල මායිම් හොයාගන්න බැහැ. ඒ අතර සමහරු කලින් අපි තමයි මෙතැන හිටියෙ කියලා අයිතිවාසිකම් කියනවා. මාස කීපයක් යනකම් ඉඩම් අයිතිය, මායිම් ගැටලුවල ඉවරයක් නැහැ. ඊළාම් පොලිසිය හා ඊළාම් අධිකරණය ඉඩම් නඩුවලින් පිරිලා ගියා. ප්‍රවෘත්ති වාර්තා කරන අතරතුර මමත් ගෙදර අයත් එක්ක මගේ ගෙදර තිබුණ තැන පදිංචි වෙන්න හිතාගෙන ආවා. ට්‍රැක්ටරයක තමයි බඩු පටවගෙන ආවේ. අපි ඇවිත් බලද්දි ගෙදර තියා තිබුණ තැනක්වත් හොයාගන්න නැහැ. විනාශ වෙලා. කොහොමහරි මායිම් නිරවුල් කරගත්තට පස්සේ ගේ හදන්න එල්.ටී.ටි.ඊ. සංවිධානය උදව් කළා. අපිට විතරක් නෙමෙයි ගොඩක් අයට උදව් කළා. කණු ඉන්දලා තහඩු කීපයක් දාලා පොඩි ගෙයක් තමයි හැදුවේ. ගොඩක් අය පොල්අතු තල්අතු දාලා තමයි හැදුවේ. ගොඩක් අය අත්හැරලා ගිය හමුදා කඳවුරුවල තිබුණ තහඩු, දොර ජනෙල් වගේ දේවල් ගලවගෙන ඇවිත් ගෙවල් හදාගත්තා. ඔය විදියට මුලතිව් නගරය ටිකෙන් ටික සාමාන්‍ය තත්ත්වයට පත්වුණා.”

 

*ඊටපස්සෙ ගැටුම්, මරණ වගේ සිදුවීම් වාර්තා වුණේ නැතිද?

“මූණට මුහුණලා ගැටුම් වාර්තා වුණේ නැහැ. හැබැයි බිම්බෝම්බවලට අහුවෙලා මැරුණු අය වගේම තුවාලකරුවන් ගැන ගොඩක් වාර්තා කරන්න වුණා. සමහර අය සංවිධානයෙන් එපා කියලා තියෙද්දි යුද හමුදාවේ අත්හැරපු බංකර්, කුඩා කඳවුරු වගේ තියෙන තැන්වලට ගිහිල්ලා ජොනි බට්ටෝ (පුද්ගලනාශක බෝම්බ) පෑගිලා තුවාල වුණා. මගේ මතකයේ හැටියට 20-30කගේ විතර පිරිසකගේ කකුල් විනාශ වුණා. ඒ කාලයේ කැමරා පහසුකම් ගොඩක් අඩුයි. ෆිල්ම් රෝල් දාපු කැමරා තමයි තිබුණේ. ෆිල්ම් රෝලුත් හිඟයි. ඒ නිසා ලේසියකට ඡායාරූපයක් ගන්නෙ නැහැ. කෙනෙක් මැරුණොත් වගේ විශේෂම දේකදි තමයි කැමරාව පාවිච්චි කරන්නෙ. ගොඩක් වෙලාවට කළු සුදු ඡායාරූප තමයි ගත්තෙ. තව දෙයක් වුණා. හමුදා කඳවුර ඉවත් වුණාට හමුදා ප්‍රහාර නැති වුණේ නැහැ. සැරෙන් සැරේ ගුවන් ප්‍රහාර එල්ල වුණා. නාවික හමුදාව මුලතිව් මුහුදු ප්‍රදේශයට ඇවිත් එයාලගේ යාත්‍රාවලින් ප්‍රහාර එල්ල කරා. සමහර වෙලාවට සාමාන්‍ය ධීවරයිනුත් ගැටුම්වලට මැදිවෙලා හානි වුණා. සමහර දවස්වලට රෑට මුහුදෙ සටන් පවතිද්දි ගිනිකෙළි සංදර්ශන වගේ. ඒ වගේ වෙලාවට මගේ වැඩේ සංවිධානයට වුණ හානි මොනවද, නාවික හමුදාවට වුණ හානි මොනවද කියලා හොයලා බලන එක. මුලතිව්වලට යුද හමුදා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්න බැරි වුණාට මුලතිව් ආසන්න ප්‍රදේශවලට කාලතුවක්කු ප්‍රහාර එල්ල වුණා. වැලිඔය කොක්කුතුඩුවායි වගේ ප්‍රදේශවල ඉඳලා තමයි ප්‍රහාර එල්ල වුණේ.”

 

ලබන සතියට

මුලතිව් කොටි බලප්‍රදේශයට හමුදා මහසෝන් බළකාය (විශේෂ බලකා දිගුදුර හමුදා) ඇතුළු වේ.

සනත් ප්‍රියන්ත