කොටි ගුවන් බලකා ප්‍රධානි ශංකර් මළේ මහසෝනා ගහලද?
මුලතිව් උපන් ශකිලා කුඩාකල පටන් අධ්‍යාපනයට, ක්‍රීඩාවට හා කලාවට දක්ෂ තැනැත්තියක වූවාය. පවුලේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් උසස් අධ්‍යාපනය අතරමග නවතා දමන ඇය ඊළාම් අධිකරණයේ රැකියාවකට යන්නීය. ඉළාම් අධිකරණයේ රැකියාව කරන අතර රජයේ හෙදි පුහුණුවට අයැදුම් කරන ශකිලා හෙද පුහුණුව සඳහා යාපනය හෙද විදුහලට ඇතුළත් වූවාය. රිවිරැස මෙහෙයුම හේතුවෙන් යාපනය හෙද විදුහල තාවකාලිකව වසා දැමෙන අතර ඇය සිය ගම්මානයේ පදිංචියට පැමිණේ. මේ අතර තුන්වන ඊළාම් යුද්ධය ආරම්භ වන 1996දී මුලතිව් යුද හමුදා කඳවුර LTTE ග්‍රහණයට නතු වේ. රැකියාව අහිමි වී සිටින ශකිලා ඊළාම් මාධ්‍ය අංශයේ රැකියාවකට එක්වේ. එම රැකියාව අතර ඇයට යුදමය පුවත් ද වාර්තා කිරීමට සිදුවේ. අද එතැන් සිට…
“මුලතිව් සම්පූර්ණයෙන්ම එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ තිබුණු නිසා යුද හමුදා ප්‍රහාර තිබුණේම නැතිතරම්. හැබැයි නාවික හමුදාව ඈත මුහුදේ ඉඳලා, ඉඳලා හිටලා ප්‍රහාර එල්ල කළා. ඒ වගේම ගුවන් හමුදාවත් කෆීර් යානාවලින් ඇවිත් ප්‍රහාර එල්ල කළා. මේ ප්‍රහාර එල්.ටී.ටී.ඊ. ඉලක්කවලට එල්ල කළාට සාමාන්‍ය වැසියන්ටත් හානි සිද්ධ වුණා. හැබැයි මුලතිව් ඉඳලා පුල්මුඩේ පාරේ කිලෝමීටර 30ක් විතර ඈතින් තියෙන කොක්කුතුඩුවායි වගේම කිලෝමීටර 60-70ක් විතර දුරින් තියෙන වව්නියාව ඕමන්ත කියන පළාතට යන්න කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි සාමාන්‍ය වැසියෝ වගේම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අයත් නිදහසේ තමයි ගමන්බිමන් ගියේ. ඔහොම ඉද්දි තමයි 2001 සැප්තැම්බර් 26 දා ආරංචියක් ආවේ කර්නල් ශංකර් (එල්.ටී.ටී.ඊ. ගුවන්යානා බලකා ප්‍රධානී) ක්ලේමෝ ප්‍රහාරයකින් මරණයට පත්වෙලා කියලා. ප්‍රහාරය එල්ල වෙලා තිබුණෙ මුලතිව් පුදුකුඩිරිප්පු හා ඕඩ්ඩිසුඩාන් මාර්ගයේදී. ප්‍රහාරය එල්ල වුණු තැන ඉඳලා ආසන්නතම යුද හමුදා කඳවුරට කිලෝමීටර් 40-50 විතර තිබුණා. රජයේ පාලනය තිබුණෙත් ඒ වගේ දුරකින්. ඉතින් කාටවත් හිතාගන්න බැරිවුණා මොකද වුණේ කියලා” ශකිලා කීවාය.
කොටි සංවිධානයේ ගුවන් ප්‍රධානී ශංකර්ට ප්‍රහාරය එල්ල කර තිබුණේ යුද හමුදා විශේෂ බලකායේ කණ්ඩායමකි. යුද හමුදා විශේෂ බලකාය පිළිබඳව සඳහන් කිරීම දීර්ඝ විස්තරයකි. නමුත් ‘ධරණී’ පාඨකයාගේ පහසුව සඳහා ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ නම් එහි ආරම්භය සිදුව ඇත්තේ 1985 වර්ෂයේදීය. Treaker Team ලෙස හැඳින්වූ මුල් කණ්ඩායම 50ක පිරිසකට වඩා අඩු වූ අතර එම කණ්ඩායම සාම්ප්‍රදායික යුද උපක්‍රමවලින් බැහැරව ඔවුන්ට ආවේණික උපක්‍රම අනුගමනය කරමින් සටන් කළහ. කල්ගතවනවිට විධිමත්ව සකස් වූ යුද හමුදාවේ සුවිශේෂී බලකායක් බවට විශේෂ බලකාය පත්විය.
යුද හමුදාව තුළ සිටි දක්ෂතම සෙබළුන් තෝරා දැඩි හා දුෂ්කර පුහුණුවන් ලබාදීමෙන් විශේෂ බලකා සෙබළෙකු බිහිවීම සිදුවිය. 1990 දශකයේදී විශේෂ බලකායේ සිටි සෙබලුන්ට විශේෂ පුහුණුවක් ලබා දී 03 වන විශේෂ බලකාය ආරම්භ කරන ලදි. ඔවුන්ට වනයේ නොනැසී ජීවත්වීම, පලායාම, මගහැරයාම, ලුහුබැඳීම යන පුහුණුව උපරිම ලෙස ලබාදෙන ලදි. මෙම බලකාය ආරම්භ කිරීමට හේතුව වූයේ දීර්ඝ කාලයක් ත්‍රස්තවාදීන් සමඟ සටන් කළ යුද හමුදාව එල්.ටී.ටී.ඊ.ය මර්දනය කිරීමට නම් එහි නායකත්වය විනාශ කිරීම මුලින්ම කළ යුතු බවට තේරුම්ගෙන තිබීම නිසාය.
එල්.ටී.ටී.ඊ. නායකත්වය ඒ වනවිට සිටියේ කොටි පාලන අඩවියේ කිලෝමීටර 50-60 අභ්‍යන්තරයේ පිහිටි කොටි අධිආරක්ෂක කලාපය තුළය. එම කලාපය වෙත ගොස් ප්‍රහාර එල්ල කර ආපසු පැමිණීම යනු මාරයාගේ කටට රහසිගතව රිංගාගෙන මාරයගේ කටේ දතක් ගලවා නිරුපද්‍රිතව ආපහු පැමිණෙනවා වැනි අවදානම් ක්‍රියාවකි. නමුත් විශේෂ බලකාය එම අභියෝගය භාරගෙන තිබුණි. ඒ සඳහා වූ පුහුණුව සඳහා පැවති තෝරාගැනීමේ කටයුත්තේදී විශේෂ බලකා සෙබළු අතර ඉදිරිපත්වීම ඉතා ඉහළ මට්ටමක තිබුණි. පුහුණුව අවසන් කළ මෙම කණ්ඩායම හඳුන්වන ලද්දේ දිගුදුර මෙහෙයුම් (Long Range Reconnaissance Patroling) ලෙසයි. කෙටියෙන් එය LRRP ලෙස හැඳින්විනි.
නමුත් මහජනතාව අතර එය ප්‍රසිද්ධ වූයේ ‘මහසෝන් බලකාය’ ලෙසයි. එවැනි නමක් පටබැඳීමට නිශ්චිත හේතුවක් නොමැති නමුත් බොහෝදෙනාගේ අදහස වන්නේ අතීතයේදී හේතුවක් නොමැතිව මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ එළිමහනේ තිබී හමුවූ විට පැරැන්නන් එම මරණය හඳුන්වන්නේ ‘මහසෝනා ගහලා’ යනුවෙන් වීමයි. එනම් එම මරණය සිදුවූ ආකාරය කිසිවෙකු නොදනී. ඇතැම්විට මහසෝනා ගැසූ පහරේ සළකුණු පමණක් තිබේ. දිගුදුර මෙහෙයුම් බලකාය ද ප්‍රහාරය එල්ල කිරීම හා ආපසු පැමිණීම ඉතාම රහසිගතව සිදුකරන අතර එල්.ටී.ටී.ඊ.යට හමුවන්නේ මියගිය තම සගයාගේ මෘතදේහය පමණි.
කෙසේ නමුත් කොටි ගුවන් බලකා ප්‍රධානී ශංකර්ට ප්‍රහාරය එල්ල කළ හමුදා කණ්ඩායමට නායකත්වය දුන්නේ යුද හමුදාවේ සිටි විශිෂ්ටතම රණකාමියෙකු ලෙස සැලකෙන ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ය. පදවිය කම්බිලිවැව ප්‍රදේශයෙන් කොටි පාලන අඩවියට ඇතුළු වූ LRRP කණ්ඩායම තම ඉලක්කය කොටින්ගේ පාලන ප්‍රදේශයේ කිලෝමීටර 50ක පමණ දුරක් ගමන් කර තිබුණි. කිසිවෙකුගේ ඇස නොගැසෙන ලෙස මෙම ගමන යෑම සඳහා ඔවුන්ට සති දෙකක පමණ කාලයක් ගතවිය. අවසානයේදී තම ඉලක්කය සපුරාගත් භටපිරිස නිරුපද්‍රිතව ආපහු පැමිණිනි.
මෙම ප්‍රහාරය පිළිබඳව මාධ්‍යවේදිනියක ලෙස ඇය ලද අත්දැකීම විමසීමි.
“කර්නල් ශංකර් පුදුකුඩිරිප්පුවලිදී ඝාතනයට ලක්වුණා කියන එක එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතාගන්න බැරි දෙයක් වුණා. ඒක කොච්චර බැරෑරුම් දෙයක් වුණාද කියනවානම් සාමාන්‍ය මාධ්‍යවේදීන්ට හෝ ඊළාම් රජයේ මාධ්‍යවේදීන් වුණ අපටවත් ඒක ආවරණය කරන්න යන්න දුන්නෙ නැහැ. එල්.ටී.ටී.ඊ. හමුදා ඒකකයේ අයට විතරයි එහි මාධ්‍ය ආවරණ හා ඡායාරූප කටයුතු සඳහා යන්න දුන්නෙ.”
ශංකර්ගේ මරණයෙන් පසුව වන්නියේ සිදුවූ වෙනස්කම් ලබන සතියට…
සනත් ප්‍රියන්ත