නවතම ප්‍රවෘත්ති

‘ඔබගේ දෙවියන්ට ගෞරව නොදක්වා මා කළේ වරදක් නම් මට සමාවෙන්න’

මම නිසා මේ ලෝකෙ කවුරුම හරි ජීවිතේ හොඳ විදියට වෙනස් කරගන්නවා නම්, අමාරුම තැන්වලත් හිත ශක්තිමත් කරගෙන ජීවිතේට මුහුණ දෙනවා නම්, ඉවසීම ඇති අම්මෙක් වෙනවා නම්, අනිත් හැමදේටම වඩා තමන්ට ආදරේ කරන දුවෙක් පුතෙක් වෙනවා නම් ඒකයි මේ ලිවීම්වල අරමුණ…

මගේ පුතාගේ පළවැනි උපන්දිනය දවසෙ ඉඳලා ආපු හැම උපන්දිනයකම මම නිල් පාට පොතක් තියාගෙන ගොඩක් දේවල් ලිව්වා. ඒ පොත හරිම ලස්සන පුංචි ඉබ්බෙක් දාපු පොතක්. එයා ගැන මගෙ හිතේ තියෙන බලාපොරොත්තු, ආශිර්වාද, එයා උස්මහත් වෙනවට මම ආසා විදිය ගැන පුංචි කාලේ ලිව්වා. පුතා ටික ටික ලොකු වෙනකොට එයාගේ මූණට කියාගන්න බැරි, දැන්ම එයාට බර වැඩි – ඒත් කවදාහරි දැනගන්න ඕන කියලා හිතෙන දේවල් ලිව්වා. කොටින්ම එයාගේ විසිපස්වැනි උපන්දිනය දා මගේ අවසන් කටයුතු කෙරෙන්න ඕන විදිය පවා මම ඒ පොතේ ලිව්වා.

සුදු මැණිකේ උපන්දා ඉඳලා විස්තර මම යන්තම් මගේ ඇඟේපතේ අමාරු අඩුවුණ දවසේ ඉඳලා ලිව්වා. ඒක හරි ලස්සන රෝස පාට පොතක්. ලියලා ඉවර වෙලා චූටි ඉබ්බා තද කරලා යතුර අල්මාරියට දානවා. ඒ පොතේ මම හැමවෙලාවෙම ලීවේ ස්වාධීන ගැහැනියක් වෙන්න කියලා. හොඳට ඉගෙනගන්න කියලා. සැමියා රජෙක් වුණත් ආදායම් මාර්ගයක් තියාගන්න කියලා. ජීවිතේට අවංක වෙන්න කියලා. කිසිම දවසක අනියම් සම්බන්ධතා පවත්වන්න එපා කියලා. කිසිම වෙලාවක තව ගැහැනියකට දුකක් වෙන්න එපා කියලා. අයියත් එක්ක තියෙන සහෝදර බැඳීම කිසිම හේතුවක් නිසාවත් නැති කර නොගෙන ශක්තිමත් අභිමානවත් ගැහැනියක්, ගැහැනු ළමයෙක් වගේ ජීවත්වෙන්න කියලා. එයා ලංකාවේ නැතත් මම එයාගේ උපන්දිනය දාට තවමත් ඒ පොත ලියනවා. එයාට කවදාහරි කියවන්න. මම නිතරම කියන හැමදෙයක්මත්, එයා තවත් පරිණත වූ පසු දැනගත යුතු දේවලුත් මම එහි ලියලා තියෙනවා.

මම සමාජ මාධ්‍යවලට ලිපි ලියන්නේ බොහෝ කාලයක පටන්. කවි කතා, උපදේශන නොවන උපදෙස්, මගේ වෘත්තිය ඇතුළේ සිද්ධ වෙන යහපත් දේ ගැන මම බොහෝ දේවල් ලියලා තියනවා. දැන් මට පත්තරයකට ලියන්න තරම් මනුස්සයෙකුට ලේසියෙන් නොලැබෙන තරම් වාසනාවන්ත අවස්ථාවකුත් ලැබිලා තියෙනවා.

ඉතින් මා ජීවිතයේ ලැබුව අත්දැකීම් පාදක කරගෙන ලියන ඒ ලියවිලි තුළින් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ මේ ලෝකෙ එකම එක මනුස්සයෙකුට හරි තමන්ගේ ගැටලුවක් විසඳගන්න, ප්‍රශ්නයකින් මිදෙන්න, කොටින්ම තමන් කියන්නේ වටිනා මනුස්ස ආත්මයක් කියන එක පසක් කරලා දෙන්න.

මගෙන් ලැබුණු කුමන හෝ අභිප්‍රේරණයක් නිසා පවුල් ජීවිතයක් ලස්සනට ගෙවන අය දකිනකොට මට පුදුම සතුටක් දැනෙනවා.

විෂමාකාර ගැටලුවල හිරවෙලා තෙරපිලා හිටපු ගෑනු ළමයි මම නිසා අයෙමත් සතුටින් හයියට ජීවත්වෙනවා දකිනකොට මට පුදුම සතුටක් දැනෙනවා.

මම නිසා ඇඟේ බර අඩුකරගෙන, ලස්සන වෙලා, ලෙඩදුක් නැතුව ඉන්න කාන්තාවක් දැක්කොත් මට පුදුම තෘප්තිමත් හැඟීමක් දැනෙනවා.

“ඔයා එක්ක කතා කරලා ගියාට පස්සෙ මම කාලෙකින් හොඳින් නිදාගත්තා සහ මාව පාවෙනවා වගේ දැනුණා, මට තිබුණ හිසරදය මතකත් නැතුව ගියා” කියලා ඊයේ කෙනෙක් මට කීවා. එයා මේ පත්තරය කියවන කෙනෙක්. මම මේක මේ විදියටම ලිව්වේ මේක දැකලා එයා මාව අගය කරා වගේම එයාවත් සතුටින් පුරවන්න. ඉතින් ඒක මට දැනෙන්නේ මම මේ විශ්වයට කරන්නට පැමිණි සේවය යම් ප්‍රමාණයකට කර තිබෙනවා වගේ සිතිවිල්ලක්.

මම නිසා දෙවියන් වඳින්න කෝවිල් යන්න හුරුවෙච්ච එක්කෙනෙක්වත් සතියකට වතාවක් මට පින්තූරයක් දානවා.

“මට කෝවිල් යන්න ඕන කියන ෆීලින් එක දුන්නේ ඔයා. ඒ කෝවිල පුරාම මට මතක් වුණේ අක්කාව… ඔව් ඇත්තටම කෝවිල ඇතුළේ හරිම සුවඳයි… ඒ සුවඳ එළියේ නෑ. පොට්ටු තියලා ලස්සන සාරි ඇඳපු අය ගොඩයි… මම හරි ආසයි ඒ හැඟීමට.” කවුරුහරි එහෙම කියනකොට මට හරි නිවුණු සැනසුණු හැඟීමක් මම ගැනම දැනෙනවා.

කාගේ හරි හිතක මම ඉන්නවා නම්, ඉබේටම මාව සිහිවෙනවා නම්, මම ලියන හැඟීම් එච්චරම දැනිලා නම්, මට ආදරේ නම් ඒක මට ලොකු සතුටක්. මට දැන්වූවත් නැතත් මට සතුටක්.

ඇත්තටම මම ලියන්න පටන්ගත්තේ හුඟක් පරිණත වයසක. ජීවිතේ හැමදෙයක්ම වගේ ලැබිලා, දරුවෝ ලොකුවුණ කාලෙක. ඉතින් ඒ නිසා මේ ලිවීම තුළ මට විකුණාගැනීමට හෝ උපයාගැනීමට කිසිම අරමුණක් නෑ. වෙළඳ ව්‍යපෘති නැති බවත් කියන්නම ඕන.

ගෙවුණු කාලය කොච්චරක්ද කියලා අංකවලින් අපි දැනුවත් වුණාට ඉන්න තියෙන කාලය කොච්චරක්ද කියලා හීනෙකිවත් හිතෙන්නේ නෑ. කාලය ටිකයි. හොඳ විතරක් ප්‍රාර්ථනා කරගෙන යහපත් දේවල්ම කරගෙන, කොච්චර අමාරු තැනකදී වුණත් තමන් තමන්ට අවංකව වෙලා ජීවත් වුණාම පුංචි පුංචි කරදර ආවාට ලොකුවට කරදර එන්නේ නෑ.

අපට වටා ඇති ප්‍රථම දෙවියන් නම් මේ විශ්වයයි. ගලායන ජලයයි, පායන හිරුයි, සිත නිවන සොබාදහමේ සිසිලසයි. දෙවියන්ටත් ප්‍රථම අපව රකින්නේ හෝ අනතුරු කරන්නේ ඔවුන්. ශිව ත්‍රිත්වයේ ශිව හා දේවාලයක ස්වාමි කෙනෙක් අතර වූ අපූරු සංවාදයක් තියෙනවා මෙන්න මෙහෙම.

‘ශිවගේ දෑසේ වූ විමසුමට වේද ගුරුවරයා පිළිතුරු ලබාදුන්නේය… වන්දනය සඳහා මෙහි ඇතුළුවන සියලුදෙනාගේම ඇස් යොමුවන්නෙ මහා බ්‍රහ්මයාගේ පිළිමය වෙත විතරයි… මේ සුන්දර කෝවිල තැනූ වාස්තුවිද්‍යා ශිල්පියාගෙ දක්ෂතා කිසිවෙකුටත් ඇස ගැටෙන්නෙ නෑ. එහෙත් ඔබ යාන්තමටවත් තවමත් පිළිමය දෙස බැලුවේ නැහැ…

සමාව අයදින ආකාරයෙන් ශිව සිනාසුණේය… ඔබගේ අනුමානය නිවැරදියි. මම සංකේතාත්මක දෙවිවරුන් කෙරෙහි විස්වාසය තබන්නෙ නැහැ. මා විශ්වාසය තබන්නේ අප වටා ප්‍රකට හා පවතින දෙවිවරුන් කෙරෙහියි. නදියක් පහලට ගලායාමේ, සුළඟේ සැලෙමින් වෘක්ෂයන් නගන සිලි සිලියේ, සුළඟ නඟන මුණු මුණුවේ සිටින දෙවියන් සෑමවිටම අප හා කතාබහ කරනවා. අප කළ යුත්තේ සවන්දීම පමණයි. කෙසේ වෙතත් ඔබගේ දෙවියන් කෙරේ ගෞරවයක් නොදක්වා මා කරේ වරදක් නම් ඊට මා ඔබගෙන් සමාව ඉල්ලා සිටිනවා…’

‘ශිව… මෙලුහවේ අමරණීයයෝ…’  ඒ තමයි මේ දෙබස තියෙන පොතේ නම.

ඉතින් ලිපිය අවසාන කරන්න මත්තෙන් නැවතත් කියන්නේ, ඔබත් මමත් මේ ලෝකයට සතුට සැනසීම දෙනතුරු මේ ලෝකයත් අපට නිරතුරුවම එයම ලබාදෙනවා කියන එකයි.

ජනාලි මධුරසිංහ