ඇඹරැල්ලා ව්‍යංජනය කප්පාදු කළාම දියවන්නාවෙ උත්තමයන්ගෙත් හිත් රිදිලලු
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.
ගම්පහ පැත්තේ ‘ඇඹරළුව’ කියලා ගමක් ගැන අහලා ඇති. ඔය ගම්පළාතේ හැමතැනම බොහොම සරුවට ගෙඩි පලදෙන මහා රූක්ෂ ගස් වර්ගයක් වැවිලා තිබුණලු. ගම්පළාතේ නම ඇඹරළුව නිසා ඒ ගමේ අය මේ ගෙඩිවලට කිව්වේ ‘ඇඹරැලු’ කියලලු. කාලයත් එක්ක ව්‍යවහාරයේදී මේ ගෙඩිවලට ඇඹරැල්ලා කියන නම වැටිලා.
ඔව්… හිතුවා හරි. අද කියලා දෙන්න හදන්නේ ඇඹරැල්ලාවලින් කරන වැඩක් ගැන තමයි. ඇඹරැල්ලා කිව් හැටියේ සමහරුන්ගේ කටවල් ඇඹුල් වෙලා කෙළ උනනවා. හැබැයි ඇඹරැල්ලාවල තරම නොදන්න අයත් නැතුව නෙමෙයි.
“දරුවන්ට පිටරටින් ගෙන්නන ඇපල්, දොඩම්, මිදි කවන්න අපේ අම්මලා සෑහෙන උනන්දුයි. හැබැයි ගහක් යට වැටිච්චි ඉදුණු ඇඹරැල්ලා ගෙඩියක් කන්න කියලා අම්මලා කවදාවත් දරුවන්ට කියන්නේ නෑ.”
මෑතකදී බලපු රූපවාහිනී සාකච්ඡාවකදී වෙද මහත්තයෙක් ඔය කතාව කිව්වේ මූණ නාළු කරගෙන. ඖෂධීය ගුණ තියෙන දේශීය පලතුරු ගස් යට වැටි වැටී යන එක මහා නස්පැත්තියක් කියලයි ඒ මහත්තයා කිව්වේ.
ලෝකේ පරණම ආයුර්වේද පොත විදියට හඳුන්වන චරක සංහිතාවේ පවා ඇඹරැල්ලා ගැන ගුණ සඳහන්. වාත, පිත, සෙම තුන්දොස් කප කොරන්ට මේ ගසේ ගෙඩි, මුල්, කොළ වගේම පොතුත් යොදාගන්නවලු.
වෛද්‍ය ග්‍රන්ථවල ඇඹරැල්ලා හඳුන්වන්නේ ‘අද්වභෝගය’ නමින්. ‘පයින් ගමන් කරන්නාගේ ආහාරය’ කියන එකයි ඒකේ තේරුම. කකුල් ඉදිමීම, කකුල් රුදාව වගේ දේවල් සමනය කරන්න පුළුවන් ගුණයක් ඇඹරැල්ලාවල තියෙනවලු. ඒ නිසා ඉස්සර මිනිස්සු පයින් දුර ගමන් යද්දි ඇඹරැල්ලා ගෙඩියක් හප හපා යනවලු.
ඒ විතරක්යෑ ශරීරයේ විස නසන්නත් ඇඹරැල්ලාවලට පුළුවන්ලු. ඉතින් රජ සෙබළුන්ට ඊතල ඇනුනහම විස අද්දන්න තුවාලවලට ඇඹරැල්ලා ගෙඩි බඳිනවලු. කැල්සියම්, පොස්පරස්, විටමින් බහුල නිසා අස්ථිවලට වගේම දත්වලටත් ඇඹරැල්ලා ගුණයි.
පලතුරක් විදියට කන්න අකමැති වුණාට අමු ඇඹරැල්ලා අච්චාරුවටයි, ව්‍යාංජනයි, චට්නිවලටයි අකමැති අය නැහැ. ඉස්සර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ රජ කෑමපතටත් ඇඹරැල්ලා වරදින්නේ නැතිලු. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න අපේ මහත්තුරුන්ටත් ඉස්සර දිනපතාම ඇඹරැල්ලා ව්‍යාංජනයක් දුන්නලු. මීට මාස හතරකට විතර උඩදි පාර්ලිමේන්තු ආහාර කප්පාදුවේදි ඇඹරැල්ලා ව්‍යාංජනය කප්පාදු කළා කියලා ගොඩක් අයගේ හිත් රිදිලා තිබුණලු. ඒ හිත් කොහොම රිදුනත් තමන්ට කරන්න පුළුවන් දෙයක් පුංචිවට හරි පටන්ගත්තොත් හිත් නොරිදෙන විදියට මේ ආර්ථිකේට මූණදෙන්න පුළුවන් කියන එකයි අපි නිතරම කියන්නේ.
අද අපි හදන්නේ ඇඹරැල්ලා චට්නි. දේශීය වෙළඳපොළේ වගේම විදේශීය වෙළඳපොළේත් හොඳ ඉල්ලුමක් තියෙන ආහාරයක්.
මුලින්ම අපි ඇඹරැල්ලා 500gකින් වැඩේ පටන්ගමු. ඇඹරැල්ලා ගන්නකොට බට් ඇඹරැල්ලා නැතිව සාමාන්‍ය ඇඹරැල්ලා ගන්න. ඇඹරැල්ලා ගස් පිටින් බදු දෙන උදවිය ඉන්නවා. එහෙම තැනකින් ගන්නවා නම් නැවුම් ඇඹරැල්ලා අඩු සාධාරණ මුදලකට ගන්න පුළුවන්. ඇඹරැල්ලාවලට අමතරව සීනි 300g, තලාගත්තු ඉඟුරු කැල්ලක්, සුදුලූනු බික් 4ක්, කොටාගත්තු කුරුඳු, කරාබුනැටි, කරදමුංගු තේ හැන්දක් වෙන්න, විනාකිරි 150ml, බැදගත්තු මිරිස් කුඩු තේ හැඳි 4ක්, මිරිස් කුඩු තේ හැඳි 3ක්, රස පදමට ලුණුයි සපයාගන්න.
පියවර 1
මුලින්ම ඇඹරැල්ලාවල පොතුයි, ඇටයි අයින් කරලා සෝදන්න. තරමක කෑලිවලට කපන්න.
පියවර 2
මැටි ඇතිලියක් ලිපේ තියලා ඒකට සීනි දාන්න. සීනි වැහෙන මට්ටමට වතුර දාලා සීනි ටික උණු කරන්න. සීනි උණු වෙනකොට ඉඟුරු, සුදුලූනු, කුරුඳු පොතු, කරදමුංගු, කරාබුනැටි දාගන්න. විනාඩියකින් විනාකිරිත් දාගන්න.
පියවර 3
දැන් කපාගත්තු ඇඹරැල්ලා ටික එකතු කරලා ඇඹරැල්ලා තැම්බෙනකල් වහලා තියන්න. ඇඹරැල්ලා තැම්බෙනකොට පාට වෙනස් වෙනවා.
මේකට බැදගත්තු මිරිස් කුඩුයි, අමු මිරිස් කුඩුයි දාලා මද ගින්දරේ තැම්බෙන්න තියන්න. මිශ්‍රණය ඝන වෙනකල් සැරෙන් සැරේ හැඳිගාන්න. පදමට ආවට පස්සේ උණුවෙන්ම ජීවානුහරණය කළ බෝතල්වලට දාගන්න.
චට්නි 100gක් රුපියල් 200-300 වගේ මිලකට අලෙවි කරන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න 0714766819 අංකයට කතා කරන්න.
සීතා පොන්නම්පෙරුම
ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා
සෙව්වන්දි හෙට්ටිආරච්චි