අලිමංකඩ හිරවෙලා ඉඳිද්දි දෙතනට එරුණු කිරි මිරිකලා මම පොළොවට හැලුවා
මුලතිව් වෙල්ලිමුල්ලිවයික්කාල් බිමේදී එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මරා දමා තිස් වසරක් පුරා පැවති යුද්ධය ජයග්‍රහණය කිරීමේ 13 වන සංවත්සරය යෙදී ඇත්තේ මැයි 19 වැනිදාටය. මේ ලිපිය සැකසෙන්නේ ඒ නිමිත්තෙනි.
පිරිමින්ගේ ගොරෝසු අත්වලට වඩා ගෑනුන්ගෙ අත් හරි පුංචියි. ඒ වගේම සියුමැලියි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ අත් හයිය නැතිබව. ඒ අත් හයියයි. අත්වලටත් වඩා ගෑනුන්ගේ හිත් හයියයි. ඒ බව ඔප්පු කරලා පෙන්නපු ඉතිහාසයක් අපිට තියෙනවා. රට වෙනුවෙන් ජීවිතේ මුහුදට බිලිදෙන්න ඉදිරිපත් වුණ විහාරමහාදේවියත් ඒකට හොඳ උදාහරණයක්.
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ සිටින්නෙත් විහාරමහාදේවියගේ පරපුරේම කාන්තාවන්. ඒ බව සංකේතවත් කරන්න තමයි කාන්තා බළකා ලාංඡනයේ විහාරමහාදේවිය සිත්තම් වෙන්නේ.
හැබැයි මේ වීරවරියන්ට හැප්පෙන්න වුණේ මහමුහුද එක්ක නෙමෙයි. ඊට වඩා ම්ලේච්ඡ සහ ලෝකයේ දරුණුතම කොටි නායකයා විදිහට හැඳින්වුණු වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය එක්ක. ඒ කටුක ගමනේ නොදන්න තැන් ගැන අද වගේ දවසක කතා නොකර ඉන්නෙ කොහොමද? ඒ නිසයි යුද හමුදා කාන්තා බළකායේ ලංකාවේ පුහුණුව ලැබූ මුල්ම නිලධාරිනී කණ්ඩායමේ වීරවරියක් එක්ක මේ කතාබහට අපි සම්බන්ධ වුණේ. ඇය විශ්‍රාමික ලුතිතන් කර්නල් මන්ත්‍රී කොස්වත්තයි.
හමුදා කාන්තා බළකායක් මුලින්ම පිහිටුවීමේ අවශ්‍යතාව මතුවෙලා තියෙන්නේ එවකට යුද හමුදාපති ධුරය දැරූ ලුතිතන් ජනරාල් ඩෙනිස් පෙරේරාට. ඒකටත් විශේෂ හේතුවක් තිබිලා තියෙනවා. 1949 ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරම්භයේ ඉඳලම ආරක්ෂක කටයුතුවලට අමතරව ලිපිකරු, දුරකතන ඇමතුම් මෙහෙයවීමේ කටයුතු ආදිය පැවරිලා තිබුණෙත් යුද හමුදා සෙබළුන්ටය. ඉතින් ඔවුන්ව ඒ සේවයෙන් නිදහස් කිරීමේ අරමුණු ඇතිව තමයි 1979 සැප්තැම්බර් 01 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය ආරම්භ කරලා තියෙන්නෙ.
ඒ අනුව පළමු සම්මුඛ පරීක්ෂණයට අයැදුම්පත් 200-250ක් විතර ලැබිලා තියෙනවා. කෙඩෙට් නිලධාරිනියන් විදිහට පුහුණු කරන්න තෝරගෙන තියෙන්නේ ඒ අතරින් හයදෙනෙක් විතරයි. රමණි කංගනාආරච්චි, කුමුදිනී වීරසේකර, ප්‍රියංගනී සිල්වා, මානෙල් විජේගුණවර්ධන, වජිරා පෙරේරා සහ නිශානි කරුණාරත්න යන අය තමයි ලංකාවේ යුද හමුදා කාන්තා බළකායේ මුල්ම නිලධාරිනියන් වුණේ. එවකට නිලධාරිනියන් පුහුණු කරන්න ලංකාවේ යුද පුහුණු පාසලක් නොතිබුණු නිසා මේ කණ්ඩායම පුහුණුව සඳහා එංගලන්තයේ කැට්බරි ප්‍රදේශයේ තිබුණු රාජකීය යුද හමුදා කාන්තා විද්‍යාලයකට පිටත් කරලා තියෙනවා. මේ නිලධාරිනියන් හයදෙනාට අමතරව අධිකාරි නොලත් නිලධාරිනියන් 10ක් හා සෙබළියන් 150කුත් පළමු කණ්ඩායමට තෝරගෙන තියෙනවා.
‘‘මුල් කාලේ ඉතින් කාන්තා බළකාය කිව්වම හැමෝටම පුදුමයි. මමත් පුංචි කාලේ ඉඳලාම ක්‍රීඩාවලට කැමති කෙනෙක්. ඉතින් පුහුණුව ලැබූ ඉහත කී කණ්ඩායම්වල ඡායාරූප එහෙම දැක්කම, යුද හමුදාවට බැඳෙන්න මටත් හරි ආස හිතුණා. අනික රට වෙනුවෙන් සේවය කරන්න ලැබෙන එක ලොකු අභිමානයක් විදිහටයි මම දැක්කේ. ඒ අනුව 1983දී නොවැම්බර් මාසෙදි මම යුද හමුදා කාන්තා බළකායට බැඳුණා. එතකොට මට අවුරුදු විස්සයි.’’
ඇය අයැදුම් කරන්නේ කාන්තා නිලධාරීන් බඳවාගැනීමේ පාඨමාලා අංක තුනේ කණ්ඩායමට. එවලා තිබුණු අයැදුම්පත් දොළොස්දාහක් අතරින් නිලධාරින් අටදෙනෙකුගේ කණ්ඩායමට ඇයවත් තේරෙනවා.
‘‘අධ්‍යාපන සුදුසුකම්, පෞරුෂය, ශාරීරික යෝග්‍යතාව වගේ දේවල් තමයි බැලුවේ. ඒ වෙනකොට මම මියුසියස් විදුහලෙන් උසස් පෙළ කරලා විශ්වවිද්‍යාල ප්‍රවේශයටත් සුදුසුකම් ලබලයි හිටියේ. මම විශ්වවිද්‍යාලයට නොයා හමුදාවට ගියා. අටදෙනෙක්ගේ කණ්ඩායමක් තේරුණා කිව්වනේ. එතැනින් දෙන්නෙක් පුහුණුවෙන් පස්සේ ආවේ නැහැ. ඉන් එක්කෙනෙක් එයාගේ අයියා මැරුණට පස්සේ දේශපාලනයට ඇවිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුණා. ඇය තමයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල. අපේ කණ්ඩායම පුහුණුවට බ්‍රිතාන්‍යයට යැව්වේ නැහැ. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේදි මාස නවයක් පුහුණු කළා.’’
යුද සේවයට බැඳෙන කාන්තාවකට කරන්න වෙන පළමුවෙනි දරදඬු කැපකිරීම තමයි යුද පුහුණුව ලබන එක. මොකද යුද හමුදා පුහුණුව කියන්නේ ලේසි පහසු එකක් එහෙම නෙමෙයිනේ. ඉතින් අර අවුරුදු විස්සේ සියුමැලි අත්වලට මේ පුහුණුව සැර වැඩිවුණු තැනුත් තිබුණලු.
‘‘පුහුණුවේදි අපිට පුහුණුව කාලේ දෙන ඇඳුම (ඕ.ජී. ඇඳුම) එක්ක සායකුයි, ටීෂර්ට් එකකුයි, ඔලිව්ග්‍රීන් පැහැයේ ඇඳුමකුයි දුන්නා. උදේ පහට අඳින ඇඳුම හවස් වෙනකල් ආයේ ගලවන්න බැහැ. ඉතින් දාඩියත් එක්ක ඇඟට හරි අමාරුයි. නිතර පිරිසිදුවට ඉන්න ලැබෙන්නෙ නැහැ. රෙදි කෑල්ලක් තෙමලා පූසෝ වගේ ඇඟ පිහගත්ත වෙලාවල් අනන්තයි.
පුහුණුවට යනකොට මම ටිකක් මහත කෙල්ලෙක්. හැබැයි පළමුවෙනි නිවාඩුවට ගෙදර යනකොට මම ඇටසැකිල්ලක් වෙලා. පුහුණුව එච්චර දුෂ්කරයි. ඔය පුහුණුවේදි පුංචි පුංචි වැරදිවලට පවා අපිට ටිකක් සැර දඬුවම් ලැබුණා. ඒ දේ වලින් අපේ දරාගැනීම මුවහත් වුණා. දියතලාවේ ඉන්න කාලේදි දෙසැම්බර් මාසේ දවසක රැයක් එළිවෙනකල් සීතලේ වෙව්ල වෙව්ලා කුණු වළක් කැපුවා මට තාම මතකයි. මම විතරක් නෙමේ යුද හමුදාවේ හැම කාන්තාවක්ම අදටත් ඔය කැපකිරීම් කරනවා. කොහොම හරි ඔය පුහුණුවෙන් පස්සේ දෙවන ලුතිතන් කෙනෙක් විදිහට අධිකාරිය ලබලා යුද නොවන පරිපාලන කටයුතුවලට ගියා.’’
ඊළාම් යුද්ධය ආරම්භ වෙලා මාස කීපයක් ගත වෙනකොට ත්‍රස්ත ක්‍රියාකාරකම් තරමකට පාලනය කරගන්න යුද හමුදාවට පුළුවන් වුණාලු. හැබැයි ඔය කාලේ දකුණේ හිරවෙලා හිටපු දෙමළ ජනතාව දැඩි ආහාර හා ඖෂධ හිඟකමකින් පෙළිලා තියෙනවා. ඉතින් ඒකට විසඳුම විදිහට වහලා තිබුණු වව්නියාව නගරය විවෘත කරලා ඔවුන්ගේ අවශ්‍යතා සපුරන්න එවකට රජය තීරණය කරලා. වව්නියාව නගරයට කිලෝමීටර තුනකට විතර මෙහායින් තමයි හමුදාවේ අවසාන ආරක්ෂක වළල්ල තිබිලා තියෙන්නේ. ඉතින් වව්නියාව නගරයට ඇතුළු වෙන සාමාන්‍ය දමිළ කාන්තාවන් පරික්ෂා කරන එක මෙතැනදි යුද හමුදාවට විශාල ගැටලුවක් වුණා. ඒකට විසඳුමක් විදියට යුද හමුදා සෙබළියන් ක්‍රියාන්විත ප්‍රදේශවලට අනුයුක්ත කරන්න රජය තීරණය කළා.
‘‘අවශ්‍ය වෙලාවට විතරක් අපි යටතේ හිටි සෙබළියන්ව ඒ රාජකාරිවලට අනුයුක්ත කරන්න අපිට සිද්ධවුණා. හැබැයි 1995 වගේ වෙනකොට එකපාර යුද්දේ වැඩි වුණා. හරි හරියට හමුදා සෙබළුන් මැරෙන්න ගත්තා. ඒ නිසාම හමුදාවට බැඳෙන්න තරුණයන් අදිමදි කළා. ඒ වනවිට තිබුණේ පළමුවැනි කාන්තා බළකාය විතරයි. ඊටපස්සේ රජය දෙවන කාන්තා බළකාය කියලා ඒකකයක් ස්ථාපිත කළා. ඔවුන්ව ගත්තෙම ක්‍රියාන්විත ප්‍රදේශවල සේවය කරන්න. කඳවුරු සහ බංකර ආරක්ෂා කිරීම සහ මාර්ග බාධකවලදී හමුවන කාන්තාවන් පරික්ෂා කිරීම තමයි ඔවුන්ට පැවරුණේ.
මමත් ඔය කණ්ඩායමේ දෙවන අණදෙන නිලධාරිනිය විදිහට පත්වුණා. ඒ වෙනකොට මම විවාහවෙලයි හිටියේ. මගේ සැමියා මේජර් ජෙනරාල් විජිත නිර්මාල් කොස්වත්ත (විශ්‍රාමික). අණදෙන නිලධාරිනියක් විදිහට අලිමංකඩට යන්න කියලා කියනකොට මට දරුවා ලැබිලා අවුරුද්දයි. රාජකාරි පීඩනය නිසා එයට කලිනුත් මගේ දරුවෙක් ගබ්සා වුණා. ඒ නිසා දරුවා දාලා ඒ ගමන යන්න මට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැතිම තැන මම දරුවවත් අරගෙනම උතුරට ගියා.
දරුවව එයාව බලාගන්න හිටි කාන්තාවත් එක්ක වවුනියාවේ තියලා මම ගුවන්යානයෙන් අලිමංකඩ ගියා. ඒ පහුවෙනිදා දරුවා ගාවට යන බලාපොරොත්තුවෙන්. ඒත් එදා යුද්දේ වැඩිවුණු නිසා මාව දවස් දහයකට අලිමංකඩ හිරවුණා. දරුවට කිරි දෙන්න නැතුව මගේ පපුව ගල් ගැහිලා. මම කිරි මිරික මිරිකා පොළොවට හැලුවා. දරුවගෙන් මාව ඈත්කළ නිසා ඒ වෙලාවේ මට ත්‍රස්තවාදීන් ගැන ලොකු තරහක් ඇතිවුණා.’’
ඇයට පමණක් නොව යුද හමුදාවට බැඳුණු ගොඩක් කාන්තාවන්ට තමන්ගේ දරුවන්ගෙන් වෙන්වෙලා ඉන්න සිද්ධ වුණා. හරි පවුල් ජීවිතයක් ගත කරන්න බැරිවුණු නිසා බහුතරයකගේ පවුල් ජීවිත අසාර්ථක වුණාලු. හැබැයි ඔවුන් ඒ කැපකිරීම් කළේ අපි නිසා බව මේ වෙනකොටත් බොහෝදෙනාට අමතක වෙලා.
‘‘යුද්දේ කාලෙදි රට වෙනුවෙන් දිවි පිදුව ස්වේච්ඡා බළකායේ පළමු කාන්තා සෙබළිය ලාන්ස් කෝප්‍රල් එම්.රූපවතී දැකුම්කලු හුරුබුහුටි යුවතියක්. රූපවතී ඇතුළු පිරිස නීර්වේලි බංකරයක ඉන්නකොට මේ අයගේ ටී56 තුවක්කු හොරකම් කරන්න මහ රෑක කොටි ඇවිල්ලා. එතැනදි ඇතිවෙච්චි වෙඩි හුවමාරුවකදී ඇයට වෙඩි කිහිපයක්ම වැදිලා තිබුණා. ඔය ආරංචිය එද්දි මම හිටියේ වව්නියාවේ. ආරංචිය ආව හැටියේ මම තිරප්පනේ ඇයගේ ගෙදරට ගියා. ඇය අහිංසක ගොවි පවුලක දුවෙක්. යමක් කමක් තියෙන මිනිස්සුන්ගේ ළමයින්ට වඩා අහිංසක ගැමි ජනතාවගේ දරුවෝ තමයි මේ රටට හැමදාම සේවය කළේ.’’
යුද හමුදා නිත්‍ය බළකායෙන් දිවි පිදූ ප්‍රථම සෙබළිය වෙන්නේ ඊ.එන්. ද සිල්වා ය. ඇය යාපනය තිරුනල්වේලිහි රාජකාරියේ යෙදිලා ඉන්නකොට ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරු වුණා. රට වෙනුවෙන් අපි වෙනුවෙන් එතෙක් මෙතෙක් ජීවිත පූජා කළ යුද හමුදා සෙබළියන් ගණන 28ක්. වැඩි කතාබහකට ලක්නොවුණට සෙබළියන් හයක් පමණ ආබාධිත තත්ත්වය පත්වෙලා තියෙන බව සංවේගයෙන් කියන්න ඕනේ.
‘‘උතුරේ දෙමළ මිනිස්සු හිතාගෙන හිටියේ සිංහලයා කියන්නේ යක්ෂයෙක් කියලා. කොටි ත්‍රස්තවාදීන් ඒ තරමට ඒ ඔළු වෙනස් කරලයි තිබුණේ. ඉතින් ගොඩක් දෙමළ මිනිස්සු මඩු පල්ලියේ හැංගිලා හිටියා. රජය ඔවුන්ගේ හිත් දිනාගන්න මනෝ ක්‍රියාන්විත කියලා ක්‍රියාන්විතයක් පටන් ගත්තා. එතැනදි අපි රේඩියෝ සේවා ඔස්සේ දෙමළ ජනතාව අමතලා අපි බොහොම සුහද ජාතියක් බව එයාලට පැහැදිලි කළා. ඔන්න කාලයක් යද්දි සිවිල් ජනතාව හමුදාව ඉන්න ප්‍රදේශවලට එන්න පටන්ගත්තා. දවසක් එක අතකින් දරුවෙක් වඩාගෙන කුසෙත් දරුවෙක් දරාගෙන ඉන්න අවුරුදු දාසයක විතර ගෑනු දරුවෙක්ව මම දැක්කා. ඇයව දැක්කම මගේ පපුව පිච්චිලා ගියා. ඒ දුවගේ සැමියටත් අවුරුදු දාහතයි. මේ අයව කසාද බැන්දුවේ ඇයි කියලා මම ඒ දෙමව්පියන්ගෙන් ඇහුවා. යුද්දේ පටන්ගත්තු මුල්ම කාලේ කසාද බැඳපු අයව කොටි හමුදාවට බඳවගත්තේ නැහැලු. ඒ නිසා වැඩිහිටි උදවිය ගොඩක් දරුවන්ව කටේ කිරි සුවඳ යන්නත් කලින් බන්දලා දානවලු. අපි වගේම ඒ මිනිස්සුත් හරියට දුක් වින්ද බව අපි නම් ඇස්වලටම දැක්කා.’’
ගෑනු හරිම සංවේදීනේ. දරුණු අවි ආයුද එක්ක මොන පුහුණුව දුන්නත් ගෑනු හිතක තියෙන මව්හත් ගුණය මරලා දන්න බැරි බවට උදාහරණ නෙමෙයිද මේ?
‘‘අපේ කණ්ඩායමට ග්‍රෙනේඩ් බෝම්බ විසිකිරීමේ පුහුණුවක් දුන්නේ නෑ. ඒ නිසා දවසක් මම වෙනත් කණ්ඩායමක පුහුණුවීමක් බලන්න ගියා. බෝම්බයක් පුපුරනකොට රාස්සිගේ අව්ව වැටිලා වගේ හරි එළියයි. ලස්සනට එළියට තිබුණට බෝම්බ ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔය පුහුණුවීමේදි ඉතින් මගේ නිකටට බෝම්බ කෑල්ලක් විසි වුණා. ඒ වෙලාවේ දැනුණු වේදනාවට සමාන කරන්න පුළුවන් වේදනාවක් මගේ ජීවිත කාලෙටම මම විඳලා නැහැ. බෝම්බ කෑල්ලක් වැදුනම ඒක අපේ හම කඩාගෙන ඇඟ ඇතුළට යනවා. එදා මගේ නිකටට වැදුණු බෝම්බ කෑල්ල හොයාගත්තෙ කන ගාවින්. එදා මට සැත්කමක් කළා. පහුවෙනිදා මූණ බලද්දි මගේ මූණ විකෘති වෙලා. එදා මම යටිගිරියෙන් කෑගැහුවා. ගෑනු ළමයෙක්ට මූණතරම් වටින තවත් දෙයක් තියෙනවද?’’
මූණේ කුරුලෑවක් ආවත් ගෑනු උදවිය වද වෙනවා. ඒ හැටි. එහෙව් එකේ මූණට බෝම්බයක් වදිනවා කියන්නේ කාන්තාවකට ඉවසන්න පුළුවන් දෙයක් නොවන බව නම් පැහැදිලියි. බංකරවල හිටියත් යුද හමුදා සෙබළියන් පුංචි කණ්ණාඩි කෑල්ලකින් මූණ බලන්න, මූණට පියරු චුට්ටක් තවරන්න එහෙමත් අමතක කරන්නේ නැහැ කියලා ඇය කිව්වා.
‘‘ඉතින් පස්සේ මූණ ටිකෙන් ටික සුව වුණා. ප්ලේන්වල එහෙට මෙහෙට යද්දි බෝම්බ වැදිලා ඇඟේපතේ කෑලි කැඩිලා ප්‍රතිකාරවලට ගෙනියන සෙබළුන්ව මුණගැහෙනවා. ඒ අය මහා හයියෙන් විලාප තියනවා. පුංචි බෝම්බ කෑල්ලට අච්චර රිදුනානම් මේ අයට කොච්චර රිදෙනවා ඇද්ද කියලා ඉතින් එවෙලෙට මම කල්පනා කරනවා.’’
නිලධාරිනියන් හැමකෙනෙක් දිහාම කරුණාබරිතව සමානාත්මතාවයෙන් බැලුවත් යුද හමුදාවේ ඇතැම් පිරිමි නිලධාරින්ගෙන් කාන්තා නිලධාරීන්ට නිසි ගෞරවයක් නොලැබුණු අවස්ථාත් තිබුණලු. හමුදා පිළිවෙත අනුව සිය උසස් නිලධාරියාට ආචාර කිරීමේදී ගෑනු පිරිමි භේද සලකන්නේ නැත. නමුත් මුල් කාලේ සෙබළුන් නිලධාරිනියන් ගනන් ගත්තේ නැත.
‘‘නිලයෙන් අඩු සෙබළුන් පවා කාන්තාවන්ට සැලියුට් කරන එක මදිකමක් විදිහට දැක්ක තැන් තිබුණා. ‘ඔයාලටත් ඉතින් අපේ පඩියම හම්බෙනවනේ’ කියලා මගේ මූණටම කිව්ව පිරිමි නිලධාරින් හිටියා. හමුදා ක්‍රියාන්විතවලදි පිරිමි සෙබළුන්, නිලධාරින් කළ සේවය අගය කරන්නම ඕනේ. හැබැයි අපිත් ඒ සමානවම කැපකිරීම් කළ බව බොහෝ දෙනාට අමතකයි. රජයෙන්වත් අපිට නිසි ඇගයීමක්, උපහාරයක් ලැබෙන්නේ නැහැ. මේ වෙනකොට මම විශ්‍රාම ගිහිල්ලා අවුරුදු විස්සක් වෙනවා. යුද හමුදා විශ්‍රාමික කාන්තා සංගමයේ සභාපතිනිය විදිහට කටයුතු කරනවා. එතැනදි විශ්‍රාමික හමුදා නිලධාරිනියන්ට සුබසෙත සලසන එක තමයි අපේ අරමුණ. ඉදිරියේදි ඔවුන් වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වන්නත් අපි සුදානම් වෙනවා.’’
තොටිල්ල නැලවූ අත අවි දැරූ හැටි ඇය අපි එක්ක කිව්වේ ඔහොම. කවුරු කොහොම කිව්වත් රට රකින්න පෙරමුණට ගිය ලක්මවගේ වීර දියණියන්ව අපිට අමතක නැති නිසා තමයි අද ‘ධරණී’ පිටු අතර ඔවුන් වෙනුවෙන් මේ ඉඩ වෙන්වුණේ. රට වෙනුවෙන් දිවි පරදුවට තියා කැපවුණු ඒ වීරවරියන්ට අපේ ප්‍රණාමය!
සෙව්වන්දි හෙට්ටිආරච්චි