සබ්ජෙක්ට් එක සිංහල වුණාට ඇඟේ තිබ්බ මියුසික්වලින් මං ආශාවරී හැදුවා
ප්‍රසංග වේදිකාවේ වැඩ පෙන්වන ලස්සන පුංචි කෙල්ලෝ ටිකක් මේ දවස්වල රටේ හරිම ජනප්‍රියයි. කලාවට අධිපති සරස්වතී මෑණියන් මේ පුංචි උන්ට හරියටම තමන්ගේ ශාස්ත්‍රය පිහිටවලා තියෙනවා කියලා තමයි මේ දරුවන්ගේ දක්ෂකම් දැක්කම අපිට හිතුනේ. පුංචි වුණාට රටේ ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම් එක්ක පවා මේ කෙල්ලෝ ටික හරි හරියට සංගීතයෙන් හැප්පෙන අපූරුව පහුගිය දවසක අපි දැක්කා. මැදිරිගිරිය ආශාවරී! ඒ තමයි ඔවුන්ගේ සංගීත කණ්ඩායමේ නම. මෙතන තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ‘ආශාවරී’ කියන සංගීත කණ්ඩායම නිර්මාණය කරන්නේ සංගීතය තමන්ගේ විෂයය කරගත්තු කෙනෙක්නම් නෙවෙයි. පොළොන්නරුව, මැදිරිගිරිය ජාතික පාසලේ සිංහල විෂයභාර ආචාර්යවරයා වන එස්.ජී.නාලක ජයලත් මහත්මයා තමයි ආශාවරීගේ අයිතිකාරයා වෙන්නේ. ආශාවරී හදපු විදිය ගැන ඔහු කියූ කතාව තමයි මේ.
‘‘ලංකාවට කොරෝනා ආපු මුල් කාලේ අපි හැමෝටම දීර්ඝ නිවාඩුවක් ලැබුනනේ. මටත් ඔය කාලේ ටිකක් වෙනස් වැඩක් කරන්න හිතුනා. විෂයක් හැටියට මං පාසලේ සිංහල ඉගැන්නුවාට සංගීතය කියන්නෙ මගේ ඇඟේ තියෙන දෙයක්. ඒ නිසාම ගායනය වගේම කණ්ඩායම් සංගීතය තුළ භාවිතා කරන හැම සංගීත භාණ්ඩයක්ම වගේ වාදනය කරන්නත් මට පුළුවන්. ඉතින් දන්න කියන දෙයින් වෙනස්ම වැඩක් කරන්න ඕනේ කියලා මං හිතාගත්තා.
දවසක් දෙකක් කල්පනා කරද්දි මට හිතුනා සංගීත කණ්ඩායමක් පටන් ගන්න. හැබැයි පඳුරකට පයින් ගැහුවත් සංගීත කණ්ඩායම් තුන හතරක් විසිවෙන කාලෙක සංගීත කණ්ඩායමක් කියන එක වෙනස්ම දෙයක් වුණේ නෑ. ඒ නිසා මං හිතුවා පොඩි දරුවෝ ටිකක් හොයාගෙන ලංකාවේ ළාබාලතම සංගීත කණ්ඩායම හදන්න ඕනෙ කියලා. තවත් වෙනසක් කරන්න ඕනේ නිසා ඒ වැඩේට ගෑනු ළමයි විතරක්ම ගන්න ඕනේ කියලා කල්පනා කළා. මොකද ඒ වෙනකොට අපේ රටේ එහෙම සංගීත කණ්ඩායමක් බිහිවෙලා තිබුණේ නෑ.
මං මුලින්ම කළේ අපේ ගමේ පොඩි දරුවෝ ඉන්න මගේ හිතවත් දෙමව්පියෝ එක්ක මේ ගැන කතා කරපු එක. එයාලා කැමතිවුණා එයාලගේ දරුවන්ව මේ වැඩේට දෙන්න. ඒ දවස්වල පාසල් නිවාඩුව හින්දා වැඩේ තවත් පහසු වුණා. පස්සේ දරුවෝ කීපදෙනෙක් එක්ක මගේ ගෙදරම වැඩේ පටන්ගත්තා. හැබැයි අපිට සංගීත භාණ්ඩ කියලා කිසිම දෙයක් තිබුණේ නෑ. මං හදාගත්ත සංගීත භාණ්ඩ කීපයක් විතරයි ගෙදර තිබුණේ. තව දෙයක්, එතැන හිටපු කිසිම දරුවෙක් ඒ වෙනකොට සංගීතය හදාරලා තිබුණේ නෑ. ඔවුන් ඒකට හුරුකරන එක තමයි ලොකුම අභියෝගය වුණේ. අනික එයාලා හරි පොඩියි සහ දැනුම් තේරුම් ඇති අය නෙවෙයි.
‘ආශාවරී’ සංගීත කණ්ඩායමේ ඉන්නේ පාසලේ පහ, හය සහ හත වසරවල ඉගෙනගන්න පොඩි ගෑනු දරුවෝ. ඩ්‍රම්ස් ගහන්නේ පහ වසරේ ඉන්න දරුවෙක්. ඔක්ටපෑඩ් ගහන්නෙත් පහ වසරේ දරුවෙක්. එයා තවම ශිෂ්‍යත්ව විභාගයවත් ලියලා නෑ. කීබෝඩ් එක ගහන්නේ හත වසරේ දරුවෙක්. ගිටාර් ගහන්නේ හය වසරේ දරුවෝ තුන්දෙනෙක්. සිංදු කියන දරුවොත් එක්ක දැන් ඔක්කෝම ගෑනු ළමයි දහයක් ඉන්නවා. බාලම දරුවට වයස අවුරුදු දහයයි. වැඩිමල් දරුවට වයස අවුරුදු පහළොවයි. මෙයාලා මට හරි අවනතයි. ඒ නිසා වැඩේ කරගෙන යද්දි ලොකු පහසුවක් වුණා. ලොකු අය එක්ක කළා නම් දැනටමත් දෙතුන් දෙනෙක් සංගීත කණ්ඩායම කඩාගෙන ගිහිල්ලා.
අපිට තිබුණේ අවම පහසුකම්. ඩ්‍රම් එකක් හදාගත්තේ එක්ස්ට්‍රේ කොළ පාවිච්චි කරලා. ඔක්ටපෑඩ් එක හැදුවේ බූලි කෑලිවලින්. මුලින්ම දරුවන්ට කළේ ස්වර ගැන පොඩි අවබෝධයක් දීපු එක. මොකද මේක ස්වර එක්ක කරන ගණුදෙනුවක්. වාසනාවට වගේ මාසෙකින් දෙකකින් කෙල්ලෝ ටික වැඩේ අල්ලගත්තා. ඊටපස්සේ මං කෙළින්ම එයාලට සිංදු දුන්නා. කියන්න සතුටුයි මාස හතක් වගේ කෙටි කාලෙකින් එයාලා සංගීත කණ්ඩායමක් විදිහට ගොඩනැගුනා. අපි ඒකට ‘මැදිරිගිරිය ආශාවරී’ කියලා නම දැම්මා. ඊටපස්සේ සිංදු කීපයක් කියන වීඩියෝස් තුන හතරකුත් සමාජ මාධ්‍යයට යොමුකළා. පොඩි වෙලාවකින් ඒකට ඉහළ ප්‍රතිචාර ලැබුනා. මං හිතුවා වැඩේ සාර්ථකයි කියලා. තවත් සති කීපයක් ඉඳලා අපේ පළවෙනි සංගීත ප්‍රසංගය මැදිරිගිරියෙදි අපි කළා.
දැන් ‘මැදිරිගිරිය ආශාවරී’ කියන්නේ ගොඩාක් අය කතාබහ කරන සංගීත කණ්ඩායමක්. එච්චර ජනප්‍රිය වෙලත් අපිට අදටත් පුහුණුවීම් කරන්න සංගීත භාණ්ඩ නෑ. දරුවන්ගෙයි දෙමාපියන්ගෙයි උනන්දුව නිසයි මෙච්චර දුරක් එන්න පුළුවන් වුණේ. අපි ඉන්නේ මැදිරිගිරිය නව නගරයේ. ඉතින් පුහුණුවීම් කරන්න කිලෝමීටර් විසිදෙකක් විතර ගෙවාගෙන හිඟුරක්ගොඩට යන්න ඕනේ. ඒ ගියත් පුහුණුවීම් කරන්න පැයකට දාහක් දෙදාහක් වගේ ගන්නවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඒ.එම්.නිමේෂා මධුෂානි දරුවන්ට ගීත පුහුණු කරන්න ගොඩාක් උදව් කළා. ඒ වගේම අපේ වීඩියෝස් සමාජ මාධ්‍යයෙන් දැකලා ප්‍රසන්න කුමාර එදිරිසිංහ සහ චන්දන පලිහවඩන කියන මහත්වරු අපිට ගිටාර් දෙකක් අරන් දුන්නා.
දරුවෝ ටික පාසල් කීපයක හින්දා පුහුණුවීම් කරන්න එච්චර ලේසි නෑ. ගොඩක් වෙලාවට අපි රෑට තමයි පුහුණුවීම් දාගන්නේ. අනික තමයි මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවෙන විදියටයි හැමදේම කරන්නේ. දරුවන්ගේ ආසාවයි, දෙමාපියන්ගේ කැපවීමයි නිසා මට ඒ ගැන බයක් නෑ. ප්රසංගවලින් ලැබෙන මුදල් දරුවන් අතර බෙදලා දීලා ඉතිරි වුණොත් සංගීත කණ්ඩායමේ වැඩවලට යොදවනවා.
දැනට මේ පුංචි කෙල්ලෝ ටික එළිමහන් සංගීත ප්‍රසංග දොළහක් විතර කරලා තියෙනවා. ගෘහස්ථ ප්රසංගත් පහක් හයක් කරලා තියෙනවා. පසුගිය සතියේ ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන දෙරණ ඩ්‍රීම්ස්ටාර් ජනිත් ඉද්දමල්ගොඩ ප්රමුඛ ‘ස්ටේජ් වන්’ එක්ක ඇටෑක් ෂෝ එකක් පවා කරන්න මෙයාලට හැකියාව ලැබුනා. එතැනින්ම පේනවා මෙයාලා කොච්චර දක්ෂයිද කියලා. ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවෝ පවා මෙයාලගේ දක්ෂතා දැකලා කතා කරනවා. මෙච්චර පොඩි කෙල්ලෝ ටිකක් ඉන්න සංගීත කණ්ඩායමක් ලංකාවේ වෙන නෑ. ඒක නිසාම මට ඕනේ ‘මැදිරිගිරිය ආශාවරී’ ලංකාවේ ප්‍රසිද්ධම සංගීත කණ්ඩායමක් කරන්න. ලංකාවේ අංක එකේ කාන්තා පත්තරෙන් අපිට කතා කළාට ගොඩාක් ස්තූතියි. පොළොන්නරුවේ ‘ධරණී’ හරි ජනප්‍රියයි. ඒ නිසා අපි හිතනවා මේ ලිපියෙන් පස්සේ මේ පුංචි කෙල්ලන්ගේ සංගීත ගමන වෙනස් කරගන්න කාගෙන්හරි උදව් ලැබෙයි කියලා.’’
රුවන් එස්.සෙනවිරත්න