විශේෂාංග

‘අනන්තෙන් ආ තරු කුමරා’ වැඩිපුර කන්න කැමති ඉස්සොයි දැල්ලොයිලු

ඒ පසුගිය වසරේ සැප්තැම්බර් 01 වැනිදාය. එදා රාත්‍රියේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අතුරුසිදුරු නැතුව පිරී තිබුණේ ආසියා කුසලාන ක්‍රිකට් තරඟමාලාවේ අතිශය තීරණාත්මක තරඟයක් වූ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟය නරඹන්නන්ගෙනි. තරඟයෙන් පරාජය වෙන කණ්ඩායම තරඟාවලියෙන් ඉවතට විසිවීමට නියමිතව තිබුණි. කෙසේ හෝ මුලින්ම පන්දුවට පහරදුන් බංගලි ක්‍රීඩකයෝ සිය පන්දුවාර විස්ස නිමකළේ කඩුලු හතකට ලකුණු 183ක් ලබාගෙනය. කුසල් මෙන්ඩිස්, දසුන් ශානක වැනි පිතිකරුවන්ගේ කරමතින් ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය හඹාගියද ළඟ ළඟ දැවීගිය කඩුලු නිසා ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට මග ඇහිරී තිබුණි. 19 වැනි පන්දුවාරය වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු අටක් අහිමිව ජයග්‍රහණයට ලකුණු 10ක් පිටුපසිනි. නම් දැරූ පිතිකරුවන් සියල්ලෝම සිටියේ ක්‍රීඩාගාරයේය. ඒ මොහොතේ ජයග්‍රහණයේ සමස්ත වගකීම පැටවී තිබුණේ අංක 10 පිතිකරුවා ලෙස පිටියට පැමිණි වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුටය. පිතිකරුවෙක් නොවුණද බංගලි පන්දු යවන්නාව තඹ සතේකට මායිම් නොකළ අසිත තමාට ලැබුණු පළමු පන්දු දෙකම හතරේ සීමාවට හරවා යැව්වේය. ඉන් නොනැවතී තුන්වැනි පන්දුවට ලකුණු දෙකක් වෙනුවෙන් පැති මාරුකරගත්තේ බොඳවෙමින් තිබූ මුළු රටකම බලාපොරොත්තු මල්ඵල ගන්වමිනි. ඒ අනුව කඩුලු දෙකක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමිවිය. එවර ශ්‍රී ලංකාවට ආසියා ශූරයන් වෙන්නට මඟ සැකසූවේ එම ජයග්‍රහණයයි. එදා කවුරු කවුරුත් අසිතව හැඳින්වූයේ ‘අනන්තෙන් ආ තරු කුමරා’ ලෙසිනි. මේ දිනවල ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟාවලියේද ඔහු සුපිරි පන්දු යැවීමක නිරතව සිටියි. ඉතින් එවන් මොහොතක මේ කතාබහ අසිත ප්‍රනාන්දුගේ ආදරණීය මව වන අයිරින් ප්‍රනාන්දු සමඟිනි.

*අසිත ආයෙමත් ක්‍රිකට් පිටියේ වැඩ පෙන්නන්න පටන් අරන් නේද?

මටත් එහෙම හිතෙනවා. මේ දිනවල තියෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ එයා හොඳින්ම පන්දු යවමින් ඉන්නවා. පළවැනි තරඟයේදිම කඩුලු අටක් ගත්තා. පුතා සුපුරුදු දක්ෂතාවලට ආයෙමත් ආපු එක ගැන හරිම සතුටුයි.

 

*අපිට දැනගන්න ලැබුණා අසිත කියන්නේ දුෂ්කරතා ගොඩාක් එක්ක හරි පුංචි පවුලකින් ක්‍රිකට් ගහන්න ආපු ක්‍රීඩකයෙක් කියලා. ඒ කතාව ඇත්තද?

ඒක ඇත්ත. අපේ ගෙවල් තියෙන්නේ කටුනේරියේ. ගෙවල් ළඟමයි මුහුද තියෙන්නේ. අසිතගේ තාත්තා කළේ ධීවර රස්සාව. ඉතින් ආර්ථික අතින් අපිට ගොඩාක් දුෂ්කරතා තිබුණා. එහෙම දුෂ්කරතා මැදින් ඇවිත් තමයි අසිත අද ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ. ඒ නිසාම අසිතගේ අම්මා විදියට මට ලොකු ආඩම්බරයක් තියෙනවා.

 

*පුංචි කාලේ අසිත ටිකක් විතර දඟකාරයෙක්ලු නේද?

(සිනාසෙමින්) ඔව් ඔව් පුතා පොඩි කාලේ ටිකක් දඟයි. එයාට ඉන්නේ අයියලා දෙන්නෙක්. ඉතින් තුන්දෙනාගේ රණ්ඩු බේරලා මට ඉවරයක් නෑ. රෑට නිදාගන්න ගියත් කොට්ටවලින් හරි ගහගන්නවා. ඒ වුණාට ලොකු වෙනකොට ඒක හරි ගියා. දැන් නම් එයාට අයියලාව නැතුවම බෑ.

 

*එතකොට අසිත ක්‍රිකට් ගහන්න පටන්ගත්තේ කොහොමද?

එයා යාළුවොත් එක්ක වැල්ලේ ක්‍රිකට් ගැහුවා. දවසක් එයාලා පොඩි මැච් එකකට ගිහින් දිනලා. ඉතින් කප් එකක් එහෙම අරන් ගෙදර ආවා. එදා තමයි එයාට ක්‍රිකට්වලට ආසාවක් ඇවිත් තියෙන්නේ. පස්සේ එයා ඉස්කෝලේ ටීම් එකට එකතුවුණා. ඒ වෙනකොට විදුහල්පති හිටියේ මොහාන් වික්‍රමසිංහ කියලා සර් කෙනෙක්. ඇන්ටන් කියලා සර් කෙනෙක් පුහුණුකරු හිටියේ. ඒ අය අසිත පන්දු යවන්නෙක් විදියට ඔපමට්ටම් කරවලා ගත්තා. බිග් මැච්වලදි එහෙම හොඳටම ක්‍රීඩා කළා. ඒ දක්ෂතා එක්ක එයාට කොළඹ යන්න අවස්ථාව ලැබුණා. මට මතකයි එයා ලොකු බෑග් එකකුත් පිටේ එල්ලන් කෝච්චියේ කොළඹ ගිය හැටි. එදා මං හොඳටම ඇඬුවා. අන්තිමේ එයා නැවතුණේ ජාතික කණ්ඩායමටත් තේරිලා.

 

*ඒ වෙනුවෙන් ඔහු ගොඩක් කැපකිරීම් කරන්න ඇති නේද?

පුතා ඒ දවස්වල ක්‍රිකට් ගැහුවට අපේ ගෙදර තිබුණු ආර්ථික පසුබිමත් එක්ක ක්‍රිකට් බඩු ගන්න බැරිවුණු වෙලාවල් තිබුණා. ඒත් පුළුවන් විදියට අපි හැමදේම එයාට අරන් දුන්නා. පුතා වුණත් මදිපාඩු බැලුවේ නෑ. අසිතට යාළුවෙක් හිටියා සචින් කියලා. අනේ ඒ දරුවා මගේ පුතාට මේස් දෙකේ ඉඳලම අරන් දීපු වෙලාවල් තිබුණා. අදටත් ඒ යාළුකම වෙනස් වෙලා නෑ.

 

*අසිත ප්‍රනාන්දු කියන්නේ කවුද කියලා රටම දැක්කේ පසුගිය ආසියා කුසලාන ක්‍රිකට් තරඟාවලියේදි. මොකද අසිත නොහිටින්න ආසියා කුසලානය අපට හීනයක්ම වෙන්න තිබුණා. එහෙම නේද?

එදා  බංග්ලාදේශය එක්කනේ මැච් එක තිබුණේ. අපි පැරදුණා නම් එදා කැපෙනවා. ඒත් අසිත එදා මැච් එක දිනවලා දුන්නා. හැබැයි මං වුණත් හිතුවේ නෑ අසිත ඒක කරයි කියලා. මොකද එයා පන්දු යවන්නෙක්. ඒත් එදා එයා අන්තිම මොහොතේ හොඳ පිතිකරුවෙක් කියලත් ඔප්පු කරලා පෙන්නුවා. එදා ඉඳන් හැමෝම පුතාට කියන්නේ ‘අනන්තෙන් ආ තරු කුමරා’ කියලා.

 

*මැච් එකක් පටන්ගන්න කලින් අම්මට කතා කරනවා කියන්නේ ඇත්තද?

ඒක ඇත්ත. එයාට මැච් එකට කලින් මගේ ආශිර්වාදය ඕනේ. ඒ නිසා කොහේ මැච් එකක් තිබුණත් එයා මට කතා කරලයි මැච් එකට යන්නේ.

 

*ඒ කියන්නේ අසිත අම්මට හරි ආදරේ ඇති නේද?

ඔව් ගොඩාක් ආදරෙයි. එයාට ක්‍රිකට් ගහලා මුලින්ම මුදලක් අතට ලැබුණු දවසේ ඒක අරන් මගේ ළඟට ඇවිත් “අම්මට මොනවද ඕන?” කියලා ඇහුවා. ඒක හරිම සංවේදී මොහොතක් වුණා. මං “අනේ මුකුත් එපා පුතේ” කිව්වා. දැන් නම් ටුවර් එකක් යන ගානේ මට බෑග් එකක් අරන් එනවා.

 

*අසිත ගෙදර එන දවසට අම්මට වැඩ වැඩියි කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) එහෙම නෙවෙයි. එයා ගෙදර එන දවසට කන්න ආස දේවල් හදලා තියන්න කියනවා. එයා ඉස්සෝ, දැල්ලෝ එහෙම කන්න හරි ආසයි. කොහොමත් කොල්ලා කෑමට හරි රුසියෙක් තමයි.

 

*පසුගිය සතියේ වනිදු හසරංගත් විවාහ වුණා. ඊළඟට ඉන්නේ අසිත නේද?

(සිනාසෙමින්) ඔව් ඔව්. ගොඩාක් දුරට ලබන අවුරුද්දේ අසිතගේ විවාහය සිද්ධවෙයි.

 

*ඒ කියන්නේ අසිතට දැන් පෙම්වතියක් ඉන්නවද?

ඔව් එයාට ගෑනු ළමයෙක් ඉන්නවා. එයා නිකේෂලා පෙරේරා. ඒක ඉස්කෝලේ කාලේ ඉඳන්ම තිබුණු ආදර සම්බන්ධයක්. නිකේෂලා මට මගේම දුවෙක් වගේ. අසිත ගැන වගේම මගේ ගැනත් හොයලා බලනවා. එයා අසිතට කැමතිවුණේ පුතාට කිසිම දෙයක් නැති කාලේ. ඒත් එයා දැන් ලොකු කාලයක් පුරාවට අසිතගේ ළඟින්ම ඉන්නවා. එයා අසිතට ගොඩක් ආදරෙයි. අසිතත් එහෙමයි. ඉතින් දෙන්නගේ විවාහය දවස වෙනකල් මටත් ඉවසිල්ලක් නෑ.

 

*එක්දින ලෝක කුසලානයට තව ටික දවසයි තියෙන්නේ. අසිත ප්‍රනාන්දු ඒ වෙනුවෙන් ලෑස්තියිද?

මං හිතනවා අසිතට ලෝක කුසලාන කණ්ඩායමේ ඉඩක් ලැබෙයි කියලා. ඒ වෙනුවෙන් කොහොමත් එයා ලෑස්තිපිට ඉන්නේ. මමත් ආසාවෙන් ඉන්නවා මෙදා පාර ලෝක කුසලානේ පුතා ක්‍රීඩා කරනවා බලන්න. මගේ හිත කියනවා ඒ අවස්ථාව එයාට ලැබෙයි කියලා.

 

රුවන් එස්.සෙනවිරත්න