විශේෂාංග

බබෙක් හම්බවෙන්න ගියපු දුවෙක් නිසා පාසලේ විදුහල්පතිනියට ජීවිතයෙන් සමුගන්න වුණා

දූලට අද මං කියන්න යන්නේ අපේ දුවක් කරගත්ත විනාශයක් ගැන කතාවක්. මම ඒ සිද්ධිය වුණේ මොන පළාතේද කියන එක නොකියා සිද්ධිය විතරක් කියන්නම්.

එක්තරා විද්‍යාලයක 10 වසරේ ඉගෙනගනිපු දුවක් හිටියා. ඒ දුවගේ දෙමව්පියෝ දරුවව චරිත්‍රෙට ඉස්කෝලේ එව්වා මිසක් අධ්‍යාපනයේ වැදගත්කම ගැන හිතලා ඉස්කෝලේ එව්වේ නැහැ. ආණ්ඩුවෙන් පොතුයි රෙදියි නිකන් දුන්න හින්දා ඇය ඉස්කෝලේ ආවේ විනෝදය පිණිස. ගෙදරින් ඒ දුවට අසීමිත නිදහසක් ලැබිලා තිබුණා. එයා ගැන සොයන්න බලන්න කවුරුවත් හිටියේ නැහැ. ඇගේ අතේ ඉස්තරම්ම වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකතනයකුත් තිබුණා. ඒක ලැබුණේ කොහොමද, කවුද අරන් දුන්නේ කියලා කිසි කෙනෙක් ඇහුවේ නැහැ. දෙමව්පියෝ ඒ ගැන ආඩම්බර වුණා මිසක් ඒ ගැන විපරම් කළේ නැහැ. සමහරවිට ඒ අය හිතාගෙන ඉන්න ඇති රෙදියි, පොතුයි දෙනවා වගේ දුරකතනත් ආණ්ඩුවෙන්ම දෙනවා කියලා. නැත්නම් ‘ඕක උඹට කොහෙන්ද ලැබුණේ?’ කියලා අහන්න එපැයි. කාමරේ දොර වහගෙන එළිවෙනකල් දුරකතනය අතේ තියාගෙන ඇය කරපු කිසිම දෙයක් දෙමාපියෝ දැනගෙන හිටියේ නැහැ. ඒ ගොල්ල හිතුවේ දුව අධ්‍යාපනයට දැඩිව නැඹුරුව ඒ මත්තෙම නැහෙනවා කියලා.

ඔහොම කාලයක් ගියා. ටිකක් කල් යද්දී  ඇය පංතියේ යාළුවෝ එක්ක නිතර කතා කරන්න ගත්තේ අඹුසැමි සම්බන්ධතා ගැන. ඒකටම ගැළපෙන තවත් අයත් මේ පංතියේ හිටියා. ඒ අයගෙනුත් මෙයාගේ වැඩවලට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. ඒ වගේම මේ දුවට පිරිමි යාළුවෝ කිහිපදෙනෙකුත් හිටියා. ඒ අය දැනගෙන හිටියා මේ ළමයා ඕන තැනකට අරගෙන යන්න පුළුවන් කියලා. ඒකෙන් ප්‍රයෝජන ගත්තු මේ පිරිමි ළමයි මේ දැරිවිව හෝටල් කාමරවලට අරගෙන ගියා. මුලදි අකමැත්තෙන් වගේ ගියත් පහුවෙනකොට මේ ළමයගෙන් බේරෙන්න කොල්ලන්ටත් අමාරු වුණා. ඇයට ජංගම දුරකතනය අරන් දීලා තිබුණෙත් ඒ තරුණයන්ගෙන් එක් කෙනෙක්. ඇය සමඟ රවුමේ යන තරුණයන් සියල්ලම පාහේ මුහුණුපොතෙන් එකතු කරගත් අය නිසා ඒ එක එක්කෙනාට හොරෙන් මේ සෙල්ලම කරගෙන යන්න එයාට පහසු වුණා. සතිඅන්තවල අමතර පන්තිවලට යන බව කියමින් ගෙදරින් ගියපු මේ දුවගේ දින ගෙවු‍ණේ අවට නගරවල තිබුණු ලැගුම්හල්වල.

අඩුතරමේ ඔය යන පංතිවල පංති ගාස්තු ගෙවන්නේ කොහොමද, බස් එකට සල්ලි තියෙනවද කියලවත් මේ දුවගේ අම්මා තාත්තා කවදාවත් ඇහුවේ නෑ. ඒ ළමයා ගෙදරින් ඒවාට සල්ලි ඉල්ලුවෙත් නෑ. ඒ දුවගේ ගෙදර තව නංගිලා දෙන්නෙකුත් මල්ලියෙකුත් හිටියා. තාත්තා කළේ ගොවිතැන් වැඩ. කාලය ඔහොම ගෙවිලා ගියා. ඇගේ මේ අභිරහස් ජීවිතය තවදුරටත් හංගගෙන ඉන්න ඇයට ඕන වුණේ නැහැ. ඇය පංතියේ මිතුරියන් එක්ක ඇගේ හපන්කම් එකින් එක කියන්න ගත්තා. ඒ අයත් ඒවා ආශාවෙන් අහගෙන හිටියා. එක දවසක් එයා යාළු දැරියකට කියනවා මගේ බඩේ බබෙක් හැදෙනවා වගේ දැනෙනවා කියලා. ඒ දැරිය මේ රහස කනෙන් කනට යැව්වා. අන්තිමේ මුළු ඉස්කෝලෙම මේ රහස දැනගත්තා. ගුරුවරුන් අතරටත් ඒක ගියා. විදුහල්පතිනියට මේක ආරංචි වුණා. ඇය මේ දුවව කැඳවලා අම්මට එන්න කියලා පණිවිඩයක් යැව්වා. ඒ වගේම විදුහල්පතිනිය සියලු ගුරුවරු කැඳවලා මේ ගැන එයාලගෙ අදහස මොකක්ද කියලා ඇහුවා. සියලුම ගුරවරු එකහඬින්ම කියාසිටියේ අම්මටත් දන්වා සතියකට පමණ ඇයට පාසල් ඒමට තහනමක් පනවන ලෙසයි. ළමයින්ගේ ප්‍රශ්න දිහා කරුණාවෙන් බලන විදුහල්පතිනිය ඇගේ අම්මා කැඳවා ඇයට මේ සිදුවීම දන්වලා ටික දවසකට දුව ගෙදර තබාගන්නා ලෙසත් දුව වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙසත් දැනුම් දුන්නා. අම්මා දුවත් රැගෙන ගෙදර ගියා. අම්මා එයාව වෛද්‍යවරයෙකුට පෙන්නුවා. ඇය ගැබිනියක් නොවන බව වෛද්‍යවරයා සහතික කළා. තමන් යාළුවන්ට විහිළුවට කී දෙයක් ඒ අය බොරුවට විදුහල්පතිනියට වාර්තා කළ බවයි ඇය අම්මට කිව්වේ.

තම දුව ගැබිනියක නොවන බව කියා විදුහල්පතිනිය ලවා යළි දුව පාසලට දාන්න අම්මා තීරණය කළා. විදුහල්පතිනිය ඇයට කියලා තිබුණෙත් එහෙමයි. ඊළඟ සඳුදා විදුහල්පතිනිය හමුවී තත්ත්වය වාර්තා කිරීමට අම්මා කල්පනා කළා. හැබැයි ඊට කලින් ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකාර මහත්මයෙකුට මේ පුවත ආරංචි වුණා. ඔහු සිද්ධිය ගැන කිසිවක් නොදැන සිසුවිය තාවකාලිකව පංති තහනමකට ලක්ව ඇති බව තමන්ගේ පුවත්පතට වාර්තා කළා. ඊටපස්සේ ඒක සියලුම රූපවාහිනී නාළිකාවල පළවුණා. මේ ආරංචිය එවකට සිටි අධ්‍යාපන ඇමතිවරයාටත් වාර්තා වුණා. ඔහු වහාම දැරිය එක්තරා ජාතික පාසලකට මාරු කරන්න කටයුතු කළා.

ඒක ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වුණු අයට යන්න පුළුවන් පාසලක්. ඒ නිසා ශිෂ්‍යත්වයක් නැතිව එවැනි පාසලකට යාමට ලැබීම ඒ දුවට වාසනාවක් වුණා. නමුත් කලින් පාසලේ විදුහල්පතිනිය වැඩ තහනමට ලක්වුණා. මොකද මේ සිදුවීම ගැන තීරණ ගන්න කලින් විදුහල්පතිනිය කලාප කාර්යාලයෙන් අවසර ගත යුතුව තිබුණා. ඇය හිතුවේ නැහැ මේක මේ තරම් බරපතළ ප්‍රශ්නයක් වේවි කියලා. ගුරුතුමිය සතියකට දැරියගේ පංති තහනම් කළේ ඒ දුවගේ යහපතට. අනෙක් සිසුන් ඇයට අපහාස කරන නිසා. කොහොමින් කොහොමහරි විදුහල්පතිනිය ගෙදර නැවතී මාසයක් ගියේ නැහැ ඒ පීඩනය දරාගත නොහැකිව ඇය ජීවිතයෙන් සමුගත්තා.

අර තරම් හොඳ පාසලකට යන්න අවස්ථාව ලැබුණත් දුවේ, කැලය මාරු වුණාට කොටියාගේ  පුල්ලි මාරු වුණේ නැහැ. ඒ කියන්නේ පාසැල මාරු වුණාට මේ දුවගේ චර්යාවල වෙනසක් වූයේ නැහැ. ඒ පාසලටත් මේ සිදුවීම ආරංචි වුණා. දුව ගැන දැනගත් ඒ විදුහලේ ළමයින් ඇයව කොන් කළා. මේ දැරිය සුපුරුදු පරිදි තමන් සිදුකළ දේ දිගටම කරගෙන ගියා. අන්තිමට ඇය පාසැල අසල ගැරේජ් එකක වැඩකරපු තරුණයෙක් එක්ක පැනලා ගියා.

ඉතින් දුවේ පාසල් දරුවන් දුරකතන භාවිතා කිරීම නිසා දුවලාට සිදුවෙන විපත ගණනය කිරීමට කිසිම සංඛ්‍යාලේඛනයක් අප ළඟ නැහැ. කාමර නැතිනම් මේ ලැගුම්හල් සංස්කෘතිය අද නගරයෙන් ගම්බදටත් පැතිරිලා. මෙහෙම අයාලේ යන ජීවිතවල අවසානය කුමක්ද? ‘ස්පා’ද? තාක්ෂණික ගණිකා වෘත්තියද? ඉතින් දුවේ කල්පනා කරලා මේ ගැන තීරණයක් ගන්න. අවුරුදු 18 වෙනතෙක් මේ දුවලා පුතාලා අයිති රටට. ආණ්ඩුවට. ඒකයි ඊට කලින් විවාහ වුණොත් අත්අඩංගුවට ගන්නේ. දෙමව්පියන්ට ආපසු නොදී පරිවාස භාරයට පත්කරන්නේ.

මම දීපු උදාහරණය ඇරුණම මේ වගේ සිද්ධි මේ රටේ තව ඕනෑතරම් සිද්ධ වෙලා ඇති. බලන්න අර පුවත්පත් වාර්තාකරු දුරදිග නොබලා කරපු ක්‍රියාව නිසා මුළු රටක්ම මේ ඕපදූපය ගැන කතා කරන්න ගත්තා. ඒ ළමයා සියදිවි හානි කරගත්තනම් ඒ වගකීමෙන් මිදෙන්න අම්මට තාත්තාට, පාසලේ ගුරුවරුන්ට විතරක් නෙවෙයි කුණු රසය මතු කරන්න මේ සිද්ධිය මතුකරපු මාධ්‍යයටත් බෑ. ඒ නිසා ජනමාධ්‍ය පෙනී හිටින්න ඕන මේවා ගැන දැනුවත් කරන්න මිසක්, මේ වගේ සිද්ධියක් වුණාම ඒකෙ කුණු රසය මතු කරලා ඕපදූප මවන්න නෙවෙයි. අනික ගෙදරක දෙමව්පියෝ කොච්චර නූගත් වුණත්, කොච්චර ග්‍රාමීය වුණත් දරුවෙකුට දැනමුතුකම් දෙන්න ඒවා බාධක නෙවෙයි. ඒ නිසා දෙමව්පියෝ වගේම ගුරුවරුත් මේ කාරණා හිතට ගන්න. අවස්ථානුකූලව බුද්ධිමත්ව වැඩ කරන්න.

සමහරවිට දහය වසරේ දුවලා ගැන මෙහෙම ලියන එක හොඳ නැහැ කියලා සමහරු කියයි. ගිය සතියේ දහය වසරේ දුවෙකුට බබෙක් හම්බවෙලා තියෙනවා බාත්රූම් එකේදි. අම්මා දැනගෙන ඉඳලා නෑලු බබා හම්බවෙලා ළමයා කෑගහනකල්. අපි ඉන්නේ එහෙම සමාජයක. ඒ නිසයි අපි දිගින් දිගටම කියන්නේ අපේ දුවලා පුතාලට ‘ලිංගික අධ්‍යාපනයක්’ ලබාදීම ඉක්මන් කරන්න ඕන කියලා.

අත්තනායක එම්.හේරත්