විශේෂාංග

මගේ ප්‍රින්සිපල් ලෙඩ වුණාම බලාගන්න මම කවදාහරි වෛද්‍යවරියක් වෙනවා

පේරාදෙණිය රාජකීය විද්‍යාලයෙන් එක්තරා දවසක මට ආරාධනාවක් ලැබුණා. ඒ ඉස්කෝලේ විදුහල්පතිවරයා විශ්‍රාම යන දවසේ සිසු දෙමාපියන් අමතා ගුරුවරු පිළිබඳ අනුස්මරණ දේශනයක් කිරීමට. ඒ විදුහල්පතිතුමා මං දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි. ඒත් මං ආරාධනය භාරගත්තා. රෝයල් විද්‍යාලය පිරිමි විද්‍යාලයක්. මං උත්සවයට ගියාට පස්සේ චාරිත්‍රානුකූලව කෙරෙන කටයුතු එකින් එක අවසන් වුණා. ඊටපස්සේ තිබුණේ මගේ දේශනය. මම කතා කරන්න යනවිටම සුදු ඇඳගත් මහාමායා ශිෂ්‍යාවක් මගේ ළඟට ආවා.

සර්ගේ කතාවට කලින් මට සර්ගේ කාලයෙන් පුංචි වෙලාවක් දෙනවද කතාවක් කරන්න?”

න්‍යාය පත්‍රානුකූලව ඒ වගේ අවදානම් වැඩක් කරන එක ටිකක් භයානක වුණත් ඒ වගේ ඇට්ටර වැඩ කිරීමට මම ගොඩක් කැමති හින්දා මං ඒ දුවත් එක්ක වේදිකාවට ගොඩවුණා. මම වේදිකාවට ගොඩවෙනකොටම ඒ සිදුවීම බලාගෙන හිටිය විශ්‍රාම ගන්නා විදුහල්පතිතුමා ඒ දුවගේ ක්‍රියාව දිහා සැලකිල්ලෙන් බලාගෙන ඉන්න බව මං දැක්කා. ඇය පළමුවෙන් සභාවෙන් අවසර ගත්තා. තමන්ගේ කාලයෙන් විනාඩි කිහිපයක් ලබාදීම ගැන මටත් ස්තූති කරා. මං කිව්වනේ දුවේ මේ පාසල පිරිමි පාසලක් කියලා. ඒ හින්දා මේ වෙන්න යන දේ ගැන මටත් පුදුමයි.

ඉතින් දුවේ ඒ දුව කියන්න පටන්ගත්තා මෙහෙම කතාවක්. ඒ දුව ඉගෙනගෙන තියෙන්නේ පේරාදෙණිය පැත්තේ මිශ්‍ර ඉස්කෝලෙක. ඒ ඉස්කෝලේ විදුහල්පතිතුමා විදියට ඉඳලා තියෙන්නේ අද විශ්‍රාම යන මුල් ගුරුතුමා. එතකොට එයා ඉඳලා තියෙන්නේ හය වසරේ. අම්මා තාත්තාටත් මේ දුවට ඉගැන්වීමට ඒ තරම් උවමනාවක් තිබිලා නැහැ. මේ දුවට ඉගෙනගන්න ඕනකමක් තිබිලත් නැහැ. ඒ හින්දා මේ දුව ඉස්කෝලේ ඇවිල්ලා තියෙන්නේ ගෙදර ඉන්න කම්මැලිකමට. ආණ්ඩුවෙන් නිකන් දෙන සුදු රෙදි ටිකයි, නිකන් දෙන පොත් ටිකයි හින්දා ඉස්කෝලේ ආවා මිසක් ඇයට අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාවයක් තිබිලා නැහැ. ඉස්කෝලේ උගන්වන පාඩම් වැඩට සහභාගී වුණා මිසක් අතිරේක පංතිවලටවත් ඇය සහභාගී වෙලා නැහැ. අම්මලා යන්න කියලත් නැහැ. මේ අතර දහය වසරේ ඉගෙනගන්න ඒ දුව තමන් දන්න හඳුනන කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්තා. මේ සිදුවීම සිදුවෙන කාලයේ ජංගම දුරකතන භාවිතය දියුණු වෙලා තිබුණෙත් නැහැ. ප්‍රේමය ප්‍රකාශ කරගැනීමට ලියුම් ලියන කාලයක තමයි මේ සිදුවීම සිද්ධ වුණේ. ඇගේ දෙමව්පියෝ මේ දුවගේ හැසිරීම් ගැන හෙව්වෙත් නැහැ. ඒ හින්දා එයා තම පෙම්වතාට ලියුම් ලියමින් විනෝදෙන් කලදවස ගෙව්වා. ඔය අතරේ පෙම්වතා දුන්න ලිපියක් ඇගේ අත්වැරදීමක් හින්දා පංතිභාර ගුරුතුමියගේ අතට අහුවුණා. ලිපිය දැකලා පංතිභාර ගුරුතුමිය කෝපයෙන් වෙව්ලන්න පටන්ගත්තා. ගුරුතුමිය හැසිරුණේ ලෝකෙ පළවැනි පෙම් ලිපිය තමන් අතට පත්වුණා තරම් කෝපයකින්. ජීවිතයේ කිසිම දවසක කිසිම කෙනෙකු හා ප්‍රේමයක් විඳලා නැති ගුරුවරියක් වගේ ඇය මේ දුව දිහා බලාගෙන ඉඳලා පාසලේ විනයභාර ආචාර්යවරිය වෙත ඇය පිටත් කරා. ඇය මේ දුවගෙන් ඒ තරුණයා ගැන නොයෙක් දේ ඇහුවා. රෝමියෝ ජුලියට්ට පසු පෙම් ලිපියක් මේ ගුරුතුමී කවමදාකවත් දැකලා තිබුණේ නැහැ. ඇය මේ දුව දිහා බැලුවේ පලිගන්නා දෑසකින්. මේ ටීචගේ වැඩේ ළමයින්ගේ මේ වගේ කාරණා ඉස්කෝලෙ පුරාම පතුරලා ඒ ළමයට ඉස්​කෝලෙ එපා කරවන එක බව මේ දුව දැනගෙන හිටියා. ඇය මේ දැරිවිවත් රැගෙන විදුහල්පතිතුමා ළඟට ගියා. ඇයට පෙම්වතා ලියා එවූ පෙම්පත එතුමිය විදුහපල්පතිතුමාට දුන්නා. එතුමා ලිපිය දිහා බැලුවෙවත් නැහැ. ඇය දිහා බලලා මුල් ගුරුතුමා ඒ ලිපිය කෑලි කෑලිවලට ඉරලා කුණු කූඩෙට දැම්මා.

චීටර් මේ ප්‍රශ්නේ මෙතැනින් ඉවරයි. කිසිම ගුරුවරයෙකුට මේ කේලම කියන්න එපා. එහෙම කියලා පතුරවලා තිබුණොත් මං ඒ ගැන බලාගන්නම්.”

දැරියව මඳක් එළියට යවා එතුමා ගුරුවරියට තදින් දෝෂාරෝපණය කරා. පංතිභාර ගුරුමියවත් ගෙන්නුවා. ඇයට ගුරුතුමා දොස් කිව්වා. ඒ ගුරුවරු කරන්නේ ළමයින්ගේ මේ වගේ වරදක් දැක්කම විසඳන එක නෙවෙයි. ඒක රහ කර කර ගුරු විවේකාගාර​යේ පතුරන එක. ඉතින් ආපහු ළමයව කැඳවපු ගුරුතුමා ඇයට කිව්වා

දුවේ ඒක ඉවරයි. ඔයා ඉගෙනගන්න. පෙම් කරන්න ඕන වයසක නෙවෙයි දුව ඉන්නේ, ඉගෙනගන්න වයසක. දුව බයවෙන්න එපා. ඔයා පංතියට යන්න.”

දුව හිතුවේ මුල් ගුරුතුමා දෙමව්පියන් කැඳවලා තමන්ව දැඩි අසරණ තත්ත්වයකට පත්කරයි කියලා. සිද්ධිය එතැනින් නතර වුණා. පංතිභාර ගුරුතුමියයි විනයභාර ගුරුතුමියයි මේ දුවගේ කතාව පැතිරුවේ නැහැ. මුල් ගුරුතුමාගේ හැටි දන්න හින්දා ඒ අය නිහඬ වුණා. හැබැයි ඒ දෙන්නා එදායින් පස්සේ මේ දුවගේ මූණ දිහාවත් බැලුවේ නැහැ. විදුහල්පතිතුමාගේ හිතුවක්කාර වැඩ ගැන ඒ දෙන්නා හිටියේ දැඩි කළකිරීමෙන්. එදා ඉඳලා මේ දුව අර ප්‍රේම සබඳතාව අතහැරියා. ඒ පිරිමි ළමයා මේ දුව පස්සේ ආවෙත් නැහැ. ඇය ආදරණීය මුල් ගුරුතුමා දුන්න දඬුවම භුක්ති වින්දා. මුල් ගුරුතුමා ඇයට පහර දුන්නේ නැහැ. කොන් කරේ නැහැ. ඉතින් දුවේ එදා ඉඳලා දුවගේ සම්පූර්ණ අවධානය ඉගෙනීමට යොමුවුණා. දෙමව්පියන්ට මේ වෙනස තේරුණේ නැහැ. කොහොමටත් ඒ අය දරුවගේ අධ්‍යාපනය ගැන ඒ හැටි අවබෝධයක් තිබ්බ අය නෙවෙයි. ඇය වසරක් ඇතුළත ඒ පාසලට කීර්තියක් ගෙන දෙමින් A9ක් සහිතව සමත් වුණා. ඉතින් දුවව කැඳවලා  මුල් ගුරුතුමා ඇයට සුබ පැතුවා. දැන් දුව වෙන ඉස්කෝලෙකට යා යුතුයි. මුල් ගුරුතුමා ඒකටත් උදව් කරා. ඇය මහාමායාවට තේරුණා. මහාමායාවේ ඇඳුමෙන් සැරසී විද්‍යා විෂයයන් හදාරණ ඇය විදුහල්පතිතුමා දෙස බලාගෙන කිව්වා,

මේ ඉන්නේ මගේ ඒ මුල් ගුරුතුමා.”

මුළු සභාගැබක් කෙළවරක් නැති අත්පොළසන් නාදයකින් පුංචි දුවට ගෞරව කළා. ඇය අවසානයට කියපු දේ දුවේ මගේ කන් අස්සේ තවම දෝංකාර දෙනවා.

මගේ මුල් ගුරුතුමා අපේ මිශ්‍ර පාසැලෙන් මාරුවුණා මේ ඉස්කෝලෙට. ඒක මට ආරංචි වෙලා මම ආවා මේ උත්සවයට. අත්තනායක සර් මට අවස්ථාවක් දෙන බව මම දැනගෙන හිටියා. මම කොහොම හරි වෛද්‍ය විද්‍යාලයට යනවා. ගිහින් මං වෛද්‍යවරියක් වෙනවා. ඒ මොකටද දන්නවද? මට පහර නොදී අවවාද දීලා මාව මේ වගේ තත්ත්වයකට පත්කරපු මගේ මුල් ගුරුතුමා ලෙඩ වුණාම මට ඕන එතුමාව බලාගන්න. මං දොස්තර වෙන්නේ මගේ සර්ට උදව් කරන්න.”

සභාගැබ නොනවත්වා අත්පොලොසන් දෙන්න වුණා. විදුහල්පතිතුමා හිස ඔසවා බැලුවේ නැහැ. එතුමා බිම බලාගෙන සිටිනවා විතරයි මම දැක්කේ. ඒ උත්සවයේ ප්‍රධාන දෙසුම ඒ දුව කරා. හැමතැනම ප්‍රධාන දේශකයා වුණ මම එදා අප්‍රධාන දේශකයා වුණා. මං ඒ හැටි දිගු කතාවක් කරේ නැහැ.

කාලය ගෙවී ගියා. ඒ දුව උසස් පෙළ සමත් වුණාද? වෛද්‍ය විද්‍යාලයට ගියාද? මම දන්නේ නැහැ. ඔය සිද්ධියෙන් වසර පහකට පස්සේ මට කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආරාධනාවක් ලැබුණා වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දේශනයක් පවත්වන්න රස වින්දනාත්මක ගීත සාහිත්‍ය ගැන. ඒ.එන්.ඕ. ධර්මදාස, නන්දා මාලනී වගේ අයත් මාත් එක්ක ඔය ගී රස වින්දන සැඳෑවට එකතු වුණා. ඒ වැඩේ ඉවරවුණ ගමන් එක දුවෙක් මගේ ළඟට දුවගෙන ආවා.

සර්ට මාව මතකද? අර රෝයල් කොලේජ් එකේ මගේ මුල් ගුරුතුමාගේ උත්සවයේ කතාව කෙරුවේ මම. මම වෛද්‍ය විද්‍යාලයට ආවා සර්. සර්ට මතකද මගේ පොරොන්දුව? තව ටික දවසකින් මම වෛද්‍යවරියක් ලෙස සේවය අරඹනවා මගේ මුල් ගුරුතුමාට බෙහෙත් දෙන්න. මගේ නියම අප්පච්චිට බෙහෙත් දෙන්න. මම සර් හොයාගෙන යනවා.”

ඇගේ ඒ උදාන වාක්‍යයට අත්පොලොසන් දෙන්න කෙනෙක් එතැන හිටියේ නැහැ. ඒ දුව අද කොයි රෝහලේ ඉන්නවද? ඇයට මුල්ගුරුතුමා හමුවුණාද? මම දන්නේ නැහැ. ඒත් මේ සිදුවීමෙන් මට තවත් දෙයක් කල්පනා වුණා.

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ, කොළඹ වෛද්‍ය පීඨයේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම අවධානයට ලක්වෙච්ච මහාචාර්ය සේනක බිබිලේ මහත්තයා ගැන සඳහනක් කරන්න ඕන දුවේ. එතුමා ඉපදුණාට පස්සේ එතුමගේ අම්මට කිරි එරුණේ නැහැ. බිබිලේ දරුවගේ තාත්තා ගමේ දුප්පත් අම්මලට එන්න කියලා ඒ දුප්පත් අම්මලට කියලා දුප්පතුන්ගේ කිරි බිබිලේ දරුවාට පොවන්න සැලැස්සුවා. බිබිලේ මහත්තයගෙ තාත්තා රදළයෙක් වුණත් ගැමියා තලාපෙලා වැඩගත් කෙනෙක් නෙවෙයි. එතුමා තම පුතාට නිතරම කිව්වේ බීපු කිරිවල ණය ගෙවන්නනම් කවදහරි මේ දුප්පත් අම්මලට සේවය කරන්න කියලා. තමන්ගේ කුඹුරු ගොවින්ට අඳේට දුන්නත් ඒවයේ වැඩි ලාභය බිබිලේ මහත්තයා දුන්නේ දුප්පත් ගැමියන්ට. ඉතින් දුවේ පුංචි බිබිලේ දරුවා ඉගෙනගන්න ආවේ ත්‍රිත්ව විද්‍යාලයට. ඔය අතරේ තාත්තා නැතිවුණා. බිබිලේ දරුවට අධ්‍යාපනය අතහරින්න කටයුතු යෙදුණා. නමුත් ත්‍රිත්ව විද්‍යාලයේ ගුරුවරු එකතුවෙලා බිබිලේ දරුවට ඉගැන්නුවා. එතුමා කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරුණා. දොස්තර විභාගය පාස්වෙච්ච බිබිලේ මහාචාර්යතුමාට ඕන වුණා අර අම්මලා හොයාගෙන ගිහිල්ලා සලකන්න. අනේ එතකොට ඒ අම්මලා සේරම නැතිවෙලා. ඊටපස්සේ තමයි ලෝකයේ බෙහෙත් මාෆියාවට එරෙහි සටන එතුමා පටන්ගත්තේ. වෛද්‍ය නාමයෙන් පමණක් බෙහෙත් නිකුත් කිරීම මුළු ලෝකයේම රැල්ලක් බවට පත් කරා. තමන්ට කිරි දුන් අම්මලා නැති හින්දා රටේම අම්මලා වෙනුවෙන් ඖෂධ ප්‍රතිපත්තියේ වෙනසක් එතුමා ඇති කරා. S.P.S බෙහෙත් ලාභ කරා. රාජ්‍ය ඔසුසල එතුමාගේ සංකල්පයක්. එතුමගේ මේ විප්ලවයට බෙහෙත් සමාගම් විරුද්ධ වුණා. එතුමාට මරණීය තර්ජන ආවා. මේ ශ්‍රේෂ්ඨ මහඇදුරා හදිසියේම මියගියා.

අර දුව වෛද්‍ය විද්‍යාලයෙන් නුවර එනකොට මුල් ගුරුතුමා හිටියත් නොහිටියත් දුප්පත් ජනයාට සලකන්න ක්‍රමයක් ඇති කරලයි දොස්තර බිබිලේ මියගියේ. දුප්පතුන්ට සලකන්න කියලා ඌවේ මහකළු සිංහලයා කිව්ව අභියෝගය මහාචාර්ය සේනක බිබිලේ මහත්තයා ඉෂ්ට කරා. ඉතින් මගේ දුවේ ඉගෙනගෙන ඉවර වෙනකල් ප්‍රේමය, කසාදය ඔයාලගේ පරිච්​ඡේදය කරගන්න එපා. සාගින්නේ හරි ඉගෙනගන්න. මුල් ගුරුතුමා පෙන්වූ මාර්ගයේ ගිය දුව එතුමා කියූ තැනටම ගියා. මහාචාර්ය සේනක බිබිලෙත් තාත්තගේ​ අවවාදය භාරගෙන ඒ විදියටම කළා.

 

‘වේවැල් කෝටු නාරං සියඹලා අතු

කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතූ

මෙහැම ඉපල් මගෙ දෑසට නොපෑ යුතු

පමා නොවී එමි අකුරට මෙයින් මතූ’

 

අත්තනායක එම්.හේරත්