විශේෂාංග

තාත්තේ උඹ නියම පිරිමියෙක් නෙවෙයි ඒ නිසා අම්මගේ ඇඳුමක් මහලා ඇඳගනින්

මහාවංශ කතාවල වැඩිපුරම ලියැවිලා තියෙන්නේ අපේ රජවරු එදා ඉඳලම රට එක්සේසත් කරන්න කොයිතරම් යුද සැලසුම් දියත් කළාද, සේනාව රැස්කළාද කියලනේ. හැබැයි ඉතින් දුටුගැමුණු රජතුමාගේ පිය රජ්ජුරුවෝ වුණ කාවන්තිස්ස රජතුමා ගැන නම් ඉතිහාසයේ ලියැවිලා තියෙන්නේ වෙනස්ම විදියේ කතාවක්. ඒ තමයි කාවන්තිස්ස රජතුමා යුද්ධෙට තදින්ම විරුද්ධ වුණ ඉතාමත් දැහැමි රජෙක් කියන එක.

ඒ මොනවා වුණත් යුද්ධය ගැන විතරක් නෙවෙයි හිතුවක්කාර ගැමුණු කුමාරයාගේ මුරණ්ඩු වැඩවලදිත් රජතුමා කටයුතු කරලා තියෙන අපූරුව දැක්කම ඒ ඔහුගේ දැහැමිකමද එහෙමත් නැත්නම් ඉතාමත් සූක්ෂමශීලී දුරදක්නා නුවණද කියලත් අපිට හිතෙනවා. මොකද කාවන්තිස්ස රජතුමා මාගම රජ කරපු කාලේ රජරට පාලකයා වු‍ණේ එළාරනේ. එළාරට සමකාලීනව කාවන්තිස්ස රජතුමාත් අවුරුදු 64ක් මාගම පාලනය කළා කියලා මහාවංශයේ සඳහන් වෙනවා. ඔය අවුරුදු 64ක කාලෙදි යුද්ධ නොකළට මොකද මාගම පරපුරේ රජ පෙළපත පරම්පරා දෙක තුනක් තිස්සේ සැලසුම් කරපු යුද සැලසුම් කාවන්තිස්ස රජතුමා විසින් ඉතාමත් සූක්ෂමශීලීව ඉදිරියට අරන් ගිහිල්ලා තියෙනවා.

ඒත් පිය රජතුමාගේ මේ පාලන පිළිවෙත ගැන හිතුවක්කාර ගැමුණු කුමාරයා නම් ඉඳලා තියෙන්නේ පුදුමාකාර තරහකින්. ඔය කියන කාලේ වෙනකොට ගැමුණු කුමාරයාට යාන්තමට අවුරුදු දාසය සම්පූර්ණ වුණා විතරලු. වයස පොඩි වුණාට මොකද මේ හිතුවක්කාර කොල්ලා හැමදාමත් එළාරට විරුද්ධව යුද්ධ කරන්න කියලා කාවන්තිස්ස රජතුමා එක්ක හරි හරියට වලි අල්ලනවලු. මේ තාත්තගෙයි පුතාගෙයි වලි නිසා විහාරමහාදේවිටත් හිතට නිදහසක් තිබිලාම නෑ. රාජසභාවෙදි වුණත් තාත්තයි පුතයි කතාවක් පටන්ගත්තොත් ඒක කෙළවර වෙලා තියෙන්නෙ එළාර නිසා ඇතිවෙච්ච රණ්ඩුවකින්.

කොහොමනමුත් ඒ වෙනකොටත් දුටුගැමුණු කුමාරයා කීපවිටක්ම එළාරත් එක්ක යුද්ධ කරන්න කාවන්තිස්ස රජතුමාගෙන් අවසර ඉල්ලලා තියෙනවා. හැබැයි ඒ එක වතාවකදිවත් දුටුගැමුණු කුමාරයාට පිය රජතුමාගෙන් ඒ අවසරය ලැබිලා නෑ. ඒ මොකද කියනවා නම් අතේපයේ හයිය තිබුණට ඒ වෙලාවේ හැටියට එළාර එක්ක යුද්ධෙට ගියොත් මහා විනාසයක් වෙයි කියලා එතුමා දැනගෙන ඉඳලා තියෙන නිසා. අන්තිමේදි මොනතරම් ඇහුවත් පිය රජතුමාගෙන් යුද්ධෙට යන්න අවසරයක් ලැබෙන්නෙ නැති නිසා කෝපවුණ ගැමුණු කුමාරයා, පිය රජතුමාට විහාරමහාදේවියගේ සළුපිළි වස්ත්‍රාභරණ පාර්සලයකුත් එක්ක මේන් මේ විදියේ ලියමනකුත් යවලා තියෙනවා.

පියාණෙනි, නුඹට හොඳටම විශ්වාසද නුඹ නියම පිරිමියෙක් කියලා? හැබැයි ඒක මට නම් විශ්වාස නෑ. මොකද නුඹ නියම පිරිමියෙක් නම් අර පරදේසක්කාර සොලී රජා තමන්ගේ රටවැසියන්ව දිගට හරහට මරලා ගඟට විසි කරනකල් මාලිගාවට වෙලා අතපය අකුළාගෙන ඔ​හේ නිකන් බලාගෙන ඉන්නෙ නෑ. ආන්න ඒ නිසා මම මේ එවන මෑණියන්ගේ ඇඳුම් ටික ඔබතුමාගේ සයිස් එකට හරියනවා නම් ඇඳගන්න පියාණෙනි කියලා.

ඒ කියලා මේ හිතුවක්කාරයා මාගමින් කඳුරට කොත්මලේට පැනලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ගැමුණු වෙස්වලාගෙන හැංඟිලා ඉන්නෙ කොත්මලේ කියලා ඒ වෙලාවේ කාවන්තිස්ස රජතුමා හොඳාකාරවම දැනගෙන ඉඳලත් තියෙනවලු. කාවන්තිස්ස රජතුමාට ඒ වෙලාවේ ඕන වුණා නම් රාජපුරුෂයින්වයි, දසමහා යෝධයොන්වයි කොත්මලේට යවලා ගැමුණු කුමාරයාව අල්ලගෙන වරෙල්ලා කියලා අණ කරන්න තිබුණා. ඒත් මේ නුවණක්කාර පියා එහෙම කළේ නැහැ. ඒ වෙනුවට ඔහු කරලා තියෙන්නේ ගැමුණුට කොත්මලේ සරසවියක් කරගෙන ජීවිතේ ගැන අත්දැකීම් ලබාගන්න ඉඩ දීලා කිසිදෙයක් නොදන්න ගානට දුරට වෙලා ගැමුණු දිහා බලාගෙන ඉඳපු එක. එදා අවුරුදු දාසයෙන් කොත්මලේට පැනලා ගිය ගැමුණු කුමාරයා රටක් සශ්‍රීක කරලා, ගොවිතැන් බත් කරන විදිය, ජන ජීවිතය නගා සිටුවන හැටි, සංඝයා වහන්සේලා එක්ක කටයුතු කරන විදිය, යුද සැලසුම් කරන විදිය වගේ බොහෝ දේ ඉගෙනගෙන තිබුණේ කොත්මලේ සරසවියෙන්. නමුත් එදා පුතා තමන්ට ගෑනු ඇඳුම් එවලා සයිස් එක හරි නම් ඇඳගනින් තාත්තේ කියපු වෙලාවේ කාවන්තිස්ස රජතුමාත් දුරදිග නොබලා රට්ටු ඉස්සරහට අරන් ගිහින් ගැමුණුගේ හිස ගසා දාන්න නියම කළා නම් අද අපේ මහාවංශයට වෙනස් විදියේ වංශ කතාවක් එකතු වෙන්නත් ඉඩ තිබුණා.

මේ කතාව පොඩ්ඩක් මතක් කරලා හිටියේ අදටත් අපේ සමාජයේ දරුවෙක් අතින් පුංචි වරදක් වුණත් රටේ ලෝකේ සේරම උන්ට පේන්න ඒ දරුවට ගහලා බැනලා ලැජ්ජාව, බය නැති කරන දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ ඕනතරම් ඉන්න නිසා. සමහර දෙමාපියෝ හිතන් ඉන්නේ දරුවෙකුට ප්‍රසිද්ධියේ දඬුවම් කරලා වැරදිකාරයෙක් හොරෙක් කියලා හංවඩු ගහපු ගමන්ම ලැජ්ජාවට ආපහු ඒ වරද නොකර ඉඳීවි කියලා. ඒත් ඒක එහෙම නොවී නහයට උඩින් ගිය වතුර ඔලුවට උඩින් ගියාම මොකද කියලා ඒ දරුවා එතැන ඉඳන් එළිපිටම ඒ වරද නැවත නැවතත් කරන්න පෙළඹෙන්න පුළුවන්. එළිපිටම හොරමැරකම් කරන්න, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන්ගන්නත් පුළුවන්.

දරුවෙකුට ප්‍රසිද්ධියේ දඬුවම් කිරීම නිවැරදිද? එසේත් නැතිනම් දරුවාගේ හිරිඔතප් බිඳීමෙන් දරුවාට සිදුවෙන්නේ යහපතක්ද අයහපතක්ද?

ඒ ගැන මේ කතාබහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා සමඟින්.

අද වෙනකොට මම මේ වෘත්තීය ජීවිතේදී ඕනෑතරම් විශ්වවිද්‍යාලවලට, ඉස්කෝලවලට වගේම පෞද්ගලික ආයතනවලටත් දේශනවලට ගිහිල්ලා තියෙනවා. වගේම ආරක්ෂක අංශවලට, පුනරුත්ථාපන කඳවුරුවලටත් ගිහිල්ලා තියෙනවා. ඒ හැමතැනකදිම වගේ දේශනවලට ඇවිල්ලා හිටපු කවුරුහරි කෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නේ අහලා තියෙනවා.

ඉස්​කෝලවලට ගියාම සමහර ගුරුවරු ඇවිල්ලා කියන්නෙඅනේ සර් අද කාලේ හැදෙන උන් නම් මොන භාෂාවෙන් කියලවත් හදන්න බෑ කියලා. ‘ඒ නිසා බැරිම තැනක් ආවම මුළු ඉස්කෝලෙටම පේන්න දණ ගස්සලා තියනවාකියලා.

ඒ විදියටම සමහර දෙමව්පියෝ ඇවිත් කියලා තියෙනවාඅනේ සර් මේ දරුවන්ට කියලා හදන්න බැරිම තැන අහල පහල මිනිස්සු දැක්කමවත් ලැජ්ජාවට හැදෙයි කියලා හිතලා ගේ ඉස්සරහ අඹ ගහේ බැඳලා දිමිගොට්ටක් දැම්මාකියලා.

උදවිය එහෙම කිව්වට සමහරක් පුනරුත්ථාපන කඳවුරුවලට ගියාම ඒ දරුවෝ කියන්නේ වෙනම කතාවක්. උන් මට කියනවා අනේ බුදු සර්, සර් ඇවිල්ලා අපිට නෙවෙයි දේශන පවත්වන්න ඕනේ අපේ මහඋන්ටකියලා. මොකද කියලා ඇහුවම උන් කියන්නේ නොදැනුවත්කමට සිගරට් එකක් ගංජා සුරුට්ටුවක් ඉරුවා කියලා ගමටම පේන්න කුඩ්ඩා බේබද්දා කියලා ගැහුවම අල්ලපු ගෙදර උන්දැගෙ යටසාය නැති වුණත් පොලිසියෙන් උන්ව කුදලගෙන ඇවිත් පුනරුත්ථාපනය කරනවා කියලා.”

පසුව මහාචාර්යවරයා ඔහුගේ වෘත්තීය ජීවිතයේ රසවත් අත්දැකීමක්ද කියමින් ඒ ගැන මේ විදියට පැහැදිලි කළා.

මම විශ්වවිද්‍යාලයේ දේශන පටන්ගත්ත මුල් කාලේ කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලෝ ටිකත් එක්ක සීගිරියේ විනෝද චාරිකාවකට සහභාගී වුණා. ඒ කාලේ ම​ගේ අතේ කොයිවෙලාවෙත් කැමරාව වරදින්නේ නෑ. මොකද මම හරි ආසයි තරුණ දරුවෝ එක්ක ගමන්බිමන් යනකොට උන්ට නොදැනෙන්න උන් කරන මගෝඩි වැඩ සේරම ෆො​ටෝ ගහන්න. ඉතින් ඔය ගියපු ගමනෙදිත් මම උන්ට හොරාට, උන් කෙල්ලො කොල්ලො උකුළු මුකුළු කරන හැටි, බත් කවාගන්න හැටි, හොරාට පෙම් කෙළින හැටි සේරම ෆොටෝ ගැහුවා. ඔහොම ටික වෙලාවක් යනකොට මට පේනවා සීගිරියේ ගල උඩ පැත්තේ ඉඳන් මිනිස්සු කට්ටියක් එකතුවෙලා මගේ කොල්ලෙක්ව හතරගාතෙන් උස්සගෙන එනවා.

වෙලා තියෙන්නේ මොක වුණත් මම හනිකට ඒකත් ෆොටෝ එකක් ගහගත්තා. ළඟට ගිහින් බැලින්නම් මේකා මට හොරාට ඒ පැත්තට ගිහිල්ලා කටගොන්නක් බීලා. අන්තිමට කොහොමහරි චාරිකාව ඉවරවෙලා අපි කැම්පස් එකට ආවට පස්සේ මම අර ෆොටෝවලට යටින් විහිළු කතා ලියලා දැන්වීම් පුවරුවේ ඇලෙව්වා. හැබැයි අර කොල්ලා බීලා හතරගාතෙන් උස්සගෙන එනකොට ගහපු ෆොටෝ එක විතරක් දැන්වීම් පුවරුවට නොදා ලියුම් කවරෙක දාලා ඌගේ අතේ තියලා මම සද්ද නොකර යන්න ගියා.

උපාධිය අරන් විශ්වවිද්‍යාලයෙන් ගියාට පස්සේ මම ​මේ කොල්ලව ආපහු ඇහැටවත් දැක්කෙ නෑ. ඔන්න ඊට ටික කාලෙකට පස්සෙ මම දැන් ඉන්න මහනුවර කඩුගන්නාවේ ගෙදරට එන කන්ද දිගේ ලස්සනට සරසපු මඟුල් කාර් එකක් එනවා මම දැක්කා. ඒ වෙලාවේ මට හිතුණේ බැඳලා හනිමූන් යන උන් දෙන්නෙකුට ගෙස්ට් හවුස් එක වැරදිලා අපේ ගෙදරට එනවා කියලා. ඒත් මේ මඟුල් කාර් එකෙන් බැහැලා ආවේ එදා අර බීලා වැටුණ කොල්ලා. මේකා මඟුල් ඇඳුම් පිටින්ම ඇවිල්ලා මට දණගහලා වැඳලා කිව්වා සර් මම එදායින් පස්සේ අද වෙනකල් අරක්කු සිගරට් කටේ තිබ්බේ නැහැයිකියලා.

හැබැයි එදා මම ඒ දරුවට හැමෝම ඉස්සරහ බැන්නනම්, කතා නොකර බේබද්දා කියලා කොන්කළා නම්, ලැජ්ජා කරලා ආත්මගරුත්වයට හානිකළා නම්, එක පැත්තකින් ඒ දරුවා මගෙන් ඉගෙනගන්න නෑවිත් අධ්‍යාපනය අඩාල කරගන්නවා. එහෙමත් නැත්නම් ඊටත් වැඩිය බීමට ඇබ්බැහි වෙලා බේබද්දෙක් වෙනවා.

ඒ නිසා මට මේ කතාවෙන් වැඩිහිටි හැමෝටම කියන්න ඕනේ වුණේ දරුවෝ උන්ගේ ළමාකමට, කොලුකමට, කෙළිකමට, නොදැනුවත්කමට හරි ඔය කොයි එක‍ට හරි වරදක් කරපු ගමන් කොස්ස, ඉදල, පොල්කටු හැන්ද අරන් රට්ටුන්ට පේන්න උන්ට ගහලා මී හරකෙක් වගේ ගස් බඳින්න යන්න එපා.

මේකත් ගුරුවරියක් දුරදිග නොබලා දීපු දඬුවමක් නිසා ජීවිතේ නැති කරගන්න හදපු දුවෙකුගේ කතාවක්. දවසක් මම මේ කොළඹ පැත්තේ ඉස්කෝලෙකට ගියා දේශනයක් පවත්වන්න. දේශනය ඉවර වුණාට පස්සේ එක දුවෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා අනේ සර්, සර්ට පුළුවන්ද මාව මේ ඉස්කෝලෙන් අයින් කරලා වෙන ඉස්කෝලෙකට යවන්න? නැත්නම් මම වහ ටිකක් කාලා හරි මැරෙනවා සර්කියලා. පස්සේ මම කාලවේලාව ගැන තකන්නේ නැතුව මේ දුවව පැත්තකට කතා කරගෙන සිද්ධවෙලා තියෙන දේ ගැන අහලා දැනගත්තා. ඒ වෙනකොට මේ දරුවගේ අම්මා කුලී වැඩ කරලා තියෙන්නේ. තාත්තා දාලා ගිහිල්ලා. මේ දුව හැමදාම ඉස්කෝලෙට එන්නේ කහට උගුරක්වත් නැතුව බඩගින්නෙලු. ඒ නිසා බඩගින්න ඉවසගන්න බැරිම තැන දවසක් පන්තියේ ළමයි එහාට මෙහාට වෙනකල් ඉඳලා වෙන ළමයෙකුගේ කෑමපෙට්ටියෙන් බටර් පාන් පෙත්තක් හොරෙන් අරන් කාලා. ඕක දැනගත්තු අනිත් දරුවා පන්තිභාර ගුරුතුමියට කිව්වම ගුරුතුමිය මේ කිසිම දෙයක් ගැන අහන්නේ නැතුව පන්තියේ පිටිපස්සෙ දණගස්සලා තියලා. එදා ඉඳලා ඉස්කෝලෙම ළමයි මේ දරුවව දකිනකොට අපෝ අද නම් පාන් කන්න බෑ, අද උදේ අපේ ගෙදර තිබුණ පාන් ගෙඩිය නැතිවෙලාවගේ හින්ට් පාස් කරනවලු. පස්සේ මම ඒ ගැන අදාළ ගුරුතුමිය එක්කයි, ඉස්කෝලෙ විදුහල්පතිතුමිය එක්කයි කතා කරලා ඒ අය ලව්වා අනිත් දරුවන්ට කරුණු පැහැදිලි කරලා දුන්නා. නමුත් බලන්න එදා අර ගුරුතුමිය ඒ දුවව පන්තියේ ඉස්සරහා දණගස්සවන්න කලින් පාන් පෙත්තක් හොරකම් කරන්න හේතුව මොකක්ද කියලා අහලා ඒක පන්තියේ අනිත් දරුවන්ට නොදැනෙන්න විසඳුවා නම් ඒ දුව වහ බීලා මැරෙනවා කියන තැනට එනකල් ඒ ප්‍රශ්නේ දුරදිග යනවද?

ඕවට විතරක් නෙවෙයි තරුණ දරුවොන්ගේ පෙම් පලහිලව්වලදිත්, හිතුවක්කාරකම්, මුරණ්ඩුකම්වලදිත් ආයෙ නොකරයි කියලා හිතාගෙන ප්‍රසිද්ධියේ දඬුවම් කරන වැඩිහිටියන්ට, දෙමාපියන්ට වගේම ගුරුවරුන්ටත් මම කියන්නේ ඔබ ඒ වරද කරන්න එපා කියලා. ඔබ ඒ වරද කරලා ප්‍රසිද්ධියේ උන්ගේ හිරිඔතප් බින්දට පස්සේ ආයේ උන්ට අලුතින් රැකගන්න හෝ නැතිවෙන්න ලැජ්ජාව, බය කියලා දෙකක් නැතිව යනවා. ලැජ්ජාව, බය නැතිවුණු මිනිස්සු තමයි ඊටපස්සේ මංකොල්ලකාරයෝ, සල්ලාලයෝ වෙන්නේ.

දෙමාපියෝ, ගුරුවරු වෙන අපිට දරුවොන්ට වඩා ජීවිත අත්දැකීම් තියෙනවා. ඒ නිසා කාවන්තිස්ස රජතුමා ගැමුණු කුමාරයාගේ මුරණ්ඩුකම ඉස්සරහා දුරදිග බලලා වැඩකළා වගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕනේ.”

 

ලිහිණි මධුෂිකා