සුව දිවිය

ගෝනි නැතුව කරේ යන යක්කු යෝනියට වද්දගන්න එපා

කාන්තාවක් වුණහම ලස්සනට, පිරිසුදුවට ඉන්න ඕනේ කියලා හැමදාමත් අපි උපදෙස් දෙනවා. පිරිසුදුව ඉන්න කිව්වම සමහරු හිතන්නේ ලෝකෙට පේන්න තියෙන තැන් ටික හරියට තියාගත්තම ඇති  කියලා. ඔන්න ඔහොම හිතන නිසාදෝ බහුතරයක් කාන්තාවන් තමන්ගේ පෞද්ගලික ස්වස්ථතාවය නැත්තම් ස්ත්‍රී නිමිත්තේ යහපැවැත්ම ගැන හිතනවා අඩුයි කියලා වෛද්‍යවරුන් පවා කියනවා. මේ වගේ දේවල් රහසින්වත් කතා කරන්න හොඳ නැහැ කියලා හිතන උදවියත් ඉන්න නිසා ගොඩක් දෙනා මේ දේවල් ගැන නොදැනුවත්. ඒ කොයික වෙතත් නිරෝගීව, පිරිසුදුව ඉන්න කැමති කාන්තාවක් නම් මේ ලිපිය කියවන්නම ඕනේ.

ස්ත්‍රී නිමිත්ත කියන්නේ අම්මා කෙනෙක් ලෝකයට ජීවය දෙන තැන. ඉතින් ඒ නිසා මව්හත් ගුණය ගැන දන්න අය ඒ ගැන අසභ්‍ය හැඟීම් ඇති කරගන්නේ නැහැ කියන එකයි අපේ විශ්වාසය. හැබැයි බොහොම ඉස්සරින්දා ඉඳලම කාන්තා රහසඟ ගැන විවිධාකාරයේ කතා තිබිලා තියෙන බවත් කියන්න ඕනේ.

ඒ කාලේ ග්‍රීසියේ ඇරෙටන්ස් කියලා වෛද්‍යවරයෙක් හිටියලු. හැම කාන්තාවකගේම ශරීරයේ ස්ත්‍රී නිමිත්තට අරක්ගත්තු යක්ෂයෙක් ඉන්න බවත්, මේ යක්ෂයා විසින් කාන්තාවන්ට විවිධ ලෙඩ රෝග ඇති කරන බවටත් මේ වෛද්‍යවරයා මතයක් ඉදිරිපත් කරලා. හැබැයි නිතරම යෝනිය සුවඳවත් කරනවා නම් මේ යක්ෂයා ශරීරයෙන් ඉවත් වෙන බවත් වෛද්‍යවරයා කියලා තියෙනවා. ඉතින් ඕක අහපු කාන්තාවන් විවිධ මල් වර්ග, පැණි, ඔලිව් එහෙම භාවිතා කරලා ඔය තැන් සුවඳ කරගන්න නොසෑගෙන වෙහෙසුණාලු.

කාන්තාවකගේ ලිංගික පෙදෙස මහා භයානක අනතුරුදායක දෙයක් කියලත් යුරෝපයේ ඒ කාලේ කසුකුසුවක් තිබිලා තියෙනවා. දත් ඇති යෝනියක් සහිත කාන්තාවන් ඉන්න බවටත් යුරෝපයේ විශ්වාසයක් තිබිලා. එහෙමයි කියලා සැක කරන ඇතැම් කාන්තාවන්ව මරාදැම්මයි කියලත් පතපොතේ සඳහන්. මේ බොහෝ කතා ස්ත්‍රී දූෂණ සහ ලිංග ඡේදනය අවම කිරීමට ගොඩනැගුණු කතා කියලත් සමහරු කියනවා.

කොහොම නමුත් 15 සියවසේ පුනරුදයත් එක්ක ශරීර ව්‍යුහ විද්‍යාව දියුණු වුණා. ඉතින් ඊටපස්සේ කාන්තා යෝනිය හුදෙක් ශ‍රීර අවයවයක් විතරයි කියන කාරණාව ඔප්පු වුණා. 1840 දී ජේම්ස් සිම්ස් කියන අමෙරිකානු වෛද්‍යවරයා යෝනි ප්‍රදේශය ආශ්‍රිත ලෙඩ රෝග ගැන සාර්ථක පරීක්ෂණ රාශියක්ම කරලා තියෙනවා. ඔහු ඒ සඳහා බීට්සි, අනර්චා සහ ලුසී කියන අප්‍රිකානු වහල් තරුණියන්ව තමයි යොදාගෙන තියෙන්නේ. මේ හැම කාන්තාවක්ම නිර්වින්දනය නොකරම සැත්කම් තිහකට විතර බඳුන් කරලා තිබෙන බවයි ආරංචි. ඉතින් කාන්තාවන් විදිහට අපි හැමෝම ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ.

හරි, කාන්තාවක් විදිහට ලිංගික ප්‍රදේශ පිරිසුදුවට තියාගන්නේ කොහොමද කියන කාරණාවට දැන් අපි බහිමු. මේ ප්‍රදේශයේ සම බොහොම සංවේදී නිසා මේකත් මලක් වගේ බලාගන්න ඕන තැනක්. ඒ වගේම තමයි මේ ප්‍රදේශය ඕනවට වඩා පිරිසිදු කරන්න ගියොත් වෙන්නේ වැඩේ එක දෙක වෙන එකයි. ඒ නිසා හැමවෙලේම pH අගය නැත්තම් ආම්ලිකතාවය රැකගන්න එක වැදගත්.
මොකද්ද මේ ආම්ලිකතාවය කියන්නේ? යෝනි මාර්ගය ආශ්‍රිතව සමට හිතකර ලැක්ටොබැසිලස් කියන බැක්ටීරියා විශේෂයක් ජීවත් වෙනවා. ආම්ලික තරලයක් හදලා යෝනි මාර්ගය විසබීජවලින් ආරක්ෂා කරගන්න එක තමයි මේ අයගේ රාජකාරිය. ඉතින් ඕක නොදන්නකමටදෝ අපේ ලලනාවොත් රටේ නැති සේදුම්කාරක වර්ග දාලා ඔය ප්‍රදේශය සෝදන්න යනවා. එතකොට වෙන්නේ අර ලැක්ටොබැසිලස්ලා ටික විනාශ වෙලා වෙනත් දිලීර සහ බැක්ටීරියා ආසාධනය වෙන එකයි. යෝනි ප්‍රදේශයෙන් දුර්ගන්ධයක් ඇති වෙන්නත් මේ කාරණාව හේතු වෙනවා. අනික මේ ප්‍රදේශයේ ලෙඩ රෝග ඇතිවෙන එක මානසිකවත් බලපාන කාරණාවක් නිසා මේ වගේ දේවල් ගැන අවධානය යොමු කරන එක හරි වැදගත්.

ලිංගාශ්‍රිත ප්‍රදේශයේ, යෝනි මාර්ගය (vagina) සහ යෝනි මුඛය (vulva) කියලා කොටස් දෙකක් තියෙනවා. මේ පෙදෙස්වලින් යෝනි මාර්ගය කියන කොටස ඒ කියන්නේ යෝනි අභ්‍යන්තරය නම් සෝදන්න අවශ්‍යම නැහැ. අර කිව්ව ලැක්ටොබැසිලස්ලා නිසා ඒ කොටස ස්වයංකීයව පිරිසුදු වෙනවා. ඉතින් බාහිරින් පෙනෙන කොටස විතරක් පිරිසිදු කළාම හොඳටෝම ඇති. මේ ප්‍රදේශය 3.8-4.5 pH අගයකින් යුක්තයි. ඒ නිසා සේදුම්කාරක තෝරගන්නකොට ඒ අගයට ගැළපෙනවද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්නම ඕනේ. විෂබීජනාශක කියලා ගහලා තියෙන සබන් වර්ග නම් ඔය ප්‍රදේශෙට ආලේප කරන්නම එපා.

තෝරගන්න සේදුම්කාරකය කෘතිම වර්ණක, රසායනික ද්‍රව්‍ය, මධ්‍යසාර අඩංගු නැති එකක් වෙන්නත් ඕනේ. මේ ප්‍රදේශය වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු සේදුම්කාරක එහෙමත් තියෙනවනේ. වෛද්‍ය නිර්දේශ යටතේ ඒ වගේ දෙයක් භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි ඔය මොන දේත් දවසට දෙවතාවට වඩා පාවිචිචි කරන්න නම් එපා.

රහස්‍ය ප්‍රදේශයේ පිරිසුදුකම ගැන හිතන්නෙම නැති අයත් ඉන්නවා. ඒකත් යෝනි ප්‍රදේශය දුර්ගන්ධවත් වෙන්න වගේම විවිධ ආසාදන ඇති වෙන්න හේතු වෙනවා. මුත්‍රා කළාට පස්සේ රහස් ප්‍රදේශය සාමාන්‍ය ජලයෙන් සෝදලා කපු රෙදි කඩකින් නැත්තම් ටොයිලට් පේපර්වලින් තෙතමාත්තු කරගන්න ඕනේ. ඔය ප්‍රදේශයේ තෙතමාත්තු නොකළොත් විවිධ බැක්ටීරියා වර්ගවලට වර්ධනය වෙන්න ලේසියි. රාත්‍රී නින්දට කලින් මද රස්නේ ජලයෙන් යෝනි පෙදෙස සෝදන එකත් හොඳයි. ඒ වගේම මේ ප්‍රදේශය සුවඳ කරන්න හිතාගෙන සුවඳ විලවුන් වර්ග, ඩියෝඩ්‍රන්ට් එහෙම ආලේප කරන අයත් නැතුවම නෙමේ. එවැනි දේ ආලේප කරනවා නම් ආසාත්මිකතා නැත්තම් අවපැහැගැන්වීම් ඇති වෙන්න ඉඩක් තියෙන බවත් මතකයේ තියාගන්න ඕනේ.

කාන්තාවන්ගේ පෞද්ගලික ස්වස්ථතාවය ගැන කතා කරනකොට අනවශ්‍ය රෝම ගැනත් කතා නොකරම බැහැනේ. අපේ ශරීරයේ හැම කොටසක්ම හැදිලා තියෙන්නේ මොකක් හරි හේතුවකටලුනේ. රහස් ප්‍රදේශය අවට රෝම තියෙන්නේ බාහිරින් ඇතුළු වෙන්න පුළුවන් විෂබීජවලින් ඒ තැන ආරක්ෂා කරගන්නයි. ඒ වගේම මේ ප්‍රදේශයේ සමෙන් දහඩිය ඉවත් කරන්නත් මේ රෝම උපකාරී වෙනවා. එහෙම බැලුවම ඉතින් මේවට අනවශ්‍ය රෝම කියන්නත් බැහැ නේද? හැබැයි රෝම වැඩිපුර තියෙනකොට දහඩිය, තෙල්, අපද්‍රව්‍ය වගේ දේ රැඳෙන නිසා මේ ප්‍රදේශයෙන් දුර්ගන්ධයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ලිංගාශ්‍රිත ප්‍රදේශවල රෝම කතුරක් භාවිතයෙන් කෙටි කරන්න කියලා තමයි වෛද්‍යවරු උපදෙස් දෙන්නේ. හැබැයි රහස් ප්‍රදේශයේ රෝම සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනෙමයි කියලා හිතෙන අයත් ඉන්නවා. ගොඩක් අය ඒකට භාවිතා කරන්නේ රේසර් එක. රේසර් එකෙන් රෝම ඉවත් කරද්දී මේ ප්‍රදේශය සියුම් කැපීම්වලට ලක්වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම බිබිලි, විසප්පු වගේ ආසාදන ඇති වෙන්නත් ඉඩ තියෙනවා.
රහස් ප්‍රදේශයේ රෝම ඉවත් කරන්න දැනට පෙන්වා දෙන හොඳම ක්‍රමය තමයි වැක්ස් කරන එක. වැක්ස් කරනකොට රෝම කූපය මුළුමනින්ම වගේ ඉවත්වෙන නිසා නැවත රෝම වැවෙන්න වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම ලේසර් තාක්ෂණයෙන් මේ රෝම සදහටම ඉවත් කරලා දාන්නත් බැරි නැහැ.

ඊළඟ කාරණාව යටඇඳුම් භාවිතය. ගොඩක් අය ඇඟට ගැළපෙන හොඳ යටඇඳුමක් තෝරගන්න දන්නේ නැහැ. යටඇඳුම් ගන්නකොට ඇඟට කිටි කිටියේ තද යටඇඳුම් ගන්න එපා. තද යටඇඳුම් නිසා මේ ප්‍රදේශයේ සම අවපැහැ ගැන්වෙන්න ඉඩ තියෙනවා. යටඇඳුම් ගන්නකොට පාට පාට විච්චූර්ණ සිල්ක්, නයිලෝන් යටඇඳුම් වෙනුවට දහඩිය උරාගන්න කපු ඇඳුම්ම තෝරගන්න එක පහසුයි. ඒ වගේම එකම යටඇඳුම එක දවසකට වඩා අඳින්න යන්න එපා. ඒකෙන් වෙන්නේ නැති ලෙඩ හැදෙන එකයි. අනික හැම යටඇඳුමක්ම හොඳට සෝදලා, වියළලා, මැදලා පාවිචිචි කරන්න පුළුවන් නම් වඩා හොඳයි.

අනිත් කාරණාව තමයි සනීපාරක්ෂක තුවා භාවිතය. ඔසප් දවසට පැය ගණනාවක් එකම සනීපාරක්ෂක තුවාය භාවිත කළා නම් ඒ පුරුද්දෙන් හෙට ඉඳලම මිදෙන්න බලන්න. සනීපාරක්ෂක තුවා පැය හතරකට සැරයක්වත් මාරු කරන එක බොහොම වැදගත්. මොකද ඒකත් ඔය ප්‍රදේශයේ විවිධ ආසාදන ඇති වෙන්න හේතුවක්. දියණියක් ඉන්න අම්මා කෙනෙක් නම් පුංචි කාලේ ඉඳලම දෝණිට මේ දේවල් කියලා දෙන්න අමතක කරන්න එපා.

මේ ප්‍රදේශයේ නීරෝගීමත්කම ගැන හිතනවා නම් ආහාරපාන ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. අධික කුළුබඩු යෙදූ ආහාර, සුදුලූනු, ලූනු, ගෝවා මල්, රතු මස්, කිරි ආහාර නිතර නිතර ගන්නවා නම් යෝනි පෙදෙසෙන් යම් දුර්ගන්ධයක් ඇති වෙන්න ඉඩ තියෙනවාලු. එතකොට බතල, බෙරි වර්ග, ඔමේගා 3, ඇපල්, සෝයා ආහාර, අලිගැටපේර සහ කොළ වර්ග මේ ප්‍රදේශයේ ස්වස්ථතාවය රැකගන්න උපකාරී වෙන බවත් කියැවෙනවා. ශරීරයේ බර ඕනවට වඩා වැඩිවීමත් යෝනි ප්‍රදේශය අවපැහැගැන්වෙන්න හේතුවක්. ඒ නිසා හැමවෙලාවෙම උසට සරිලන බරක් පවත්වගන්න එක වැදගත් කියන එකත් අවසාන වශයෙන් මතක් නොකරම බැහැ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි