තිත්ත කරවිල සල්ලි කරමු
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.
‘කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි’
අහලා තියෙනවනේ ඔය ප්‍රස්ථා පිරුළ? කොහොඹ වගේම කරවිලත් තිත්තයි. ඉතින් ඔය කතාවෙන් කියැවෙන්නේ තිත්තට තිත්ත එක්කාසු වුණත් එතැන නියම ගැලපීමක් තියෙනවා කියන එකයි. එහෙම නැත්නම් තකට තක කියනවා වගේ අදහසකුයි.
අපේ අන්දරේගේ කාලෙත් ඔය ප්‍රස්ථා පිරුළ භාවිතා වුණාලු. ඔන්න ඉතින් දවසක් බෑරක් යන අතරතුරේදී අන්දරේට රජබිසවව මුලිච්චි වුණාලු. අන්දරේට අපූරුවට හිටිවන කවි කියන්ට පුළුවන් නොවැ. ඉතින් තමන් ගැන ලස්සන කවියක් කියන්න කියලා එවෙලේ රජබිසව අන්දරේට කිව්වා.
‘බොහොම හොඳට රන්කම් කළ වැඩක් වගෙයි
දේවතුමට මහ බඹු දුන් ලියක් වගෙයි
ලෝකේ ඉන්න පඬිහට පිස්සුවක් වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙයි’
මුල් පේළි දෙක තුනෙක් තමන්ව වර්ණනා කරලා රජතුමයි බිසවයි කොහොඹ ගහටයි, කරවිල වැලටයි උපමා කරපු නිසා රජබිසවට නහුතෙටම තද වුණාලු. අන්දරේගේ කට කැඩිච්චි කතාවට තරහින් බිසව බිම පෙරළි පෙරළි අඬන්න ගත්තලු.
“මේ යෝධි මේක ගිහිල්ලා රජතුමාට කිව්වොත් මගේ බෙල්ල කම්මුතුයි” කියලා හිතව්ව අන්දරේ බිසව සනසන්න තවත් කවියක් කිව්වා.
‘කොහොඹ හොඳ දේට වෙදවරු ගනින්නා
කරවිල අම පලක් ලෙස ගෙන උයන්නා
පඬිවරු පිස්සුවක් මෙන් නිති බනින්නා
මම්වද වැරදිකරු අහකින් සිටින්නා’
ඕන් ඒ පාර යාන්තම් රජබිසව ඇඬිල්ල නතරකරගත්තලු.
තවත් දවසක් අන්දරේ උන්දැගෙ මායියා එක්ක අමනාප වෙලා,
‘එක්වෙනදාට උක්දණ්ඩේ පැණි සේමා
වෙන්වෙනදාට යක් දෙබරේ වද සේමා
ගොසින් ගොසින් කටු අත්තේ අග සේමා
ඉතින් ළදේ කරවිල තිබ්බටු සේමා’
එදත් අන්දරේ බිරිඳව උපමා කළේ කරවිලවලට. ඉස්සර මිනිස්සු ඔය උපහැරණෙන් අදහස් කළේ තිත්ත රසේ කටුක බව මිසක කරවිල අහිතකර බව එහෙමනම් නෙවෙයිලු.
බොහොම ඉස්සර කාලේ ඉඳලා අපේ රටේ උදවිය කරවිල කාලා තියෙනවා. ඒ උන්දැලා ඒ වගේ ගුණ ගැනත් දැනගෙන ඉඳලා තියෙනවලු. කරවිල වෑංජනය දෙවන රාජසිංහ රජතුමාගේ ප්‍රියතම කෑමක්ය කියලා රොබට් නොක්ස්ගේ ‘එදා හෙළදිව’ පොතේ පවා සඳහන්.
‘උඩහ ගෙදර මම යනකොට
අඟර දඟර වැලක් තිබුණා
මල් සුවඳයි ගෙඩි තිත්තයි
නොතේරුවොත් ටොකු විස්සයි’
ඔය තේරවිල්ලෙන් කියැවෙන්නේත් කරවිල ගැන නොවැ. ගෙඩි තිත්ත වුණාට මොකද මෙව්වගේ ගුණ තිත්ත නැහැනේ.
මුලින්ම කරවිල වැවිලා තියෙන්නේ අප්‍රිකාවේ. සුද්දෝ අප්‍රිකාවේ මිනිස්සුන්ගෙන් වහල්ලු වගේ වැඩ ගනිද්දි ඒ මිනිසුන්ගේ අතපය තුවාල වෙනවලු. අප්‍රිකානුවෝ එතකොට කරවිල ගෙඩි කඩාගෙන අමුවෙන් කනවලු. තුවාලවලට ඒ ඉස්ම බඳිනවලු. මේ අමුතු ගෙඩියෙන් තුවාල සනීප වෙනවා බලාගෙන ඉඳපු සුද්දෝ ඒ ගැන පුදුමවෙලාලු කරවිල කන්න පටන්ගත්තේ. අද වෙනකොට යුරෝපයේ ඖෂධීය පෙති, කරල් විදියටත් කරවිල යුෂ භාවිතා කරනවා.
කරවිලවලට ආවේණික වුණු තිත්ත රසයක් තිබුණත් කරවිලවල ඖෂධීය වටිනාකම බොහොම වැඩියි කියලා ඒ කතාවෙන් පැහැදිලිනේ.
රුධිරයේ සීනි මට්ටම අඩු කරන්න කරවිලවලට පුළුවන්. ඒ නිසා ඉතින් දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ ලෙඩවලට කරවිල පංකාදු පහයි!
ප්‍රතිඔක්සිකාරකයක් විදියට වැඩ කරන නිසා පිළිකා සෛල විනාශ කරන්නත් කරවිලවලට පුළුවන් කියලා වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා.
විෂ නසන ඔසුවක් විදියටයි ආයුර්වේදයේ කරවිල හඳුන්වන්නේ. ඔය විෂ නසන ගුණය දැනගෙන බුද්ධ කාලෙට කලින් ඉඳලා ඉන්දියානුවෝ කරවිල කෑවලු. කරවිල අදටත් ඉන්දියාවේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාර භෝගයක්.
කරවිලවල තියෙන විටමින් K, A, C වගේම ලයිකොපේන් (Lycopene) වගේ සංයෝගවලට කිරි දෙන අම්මා කෙනෙක්ගේ කිරි වඩවන්න පුළුවන්ලු. කිරි දෙන අම්මා කෙනෙක් නම් දවස ගානේ කරවිල කන්න ඕන කියන එකයි ඉස්සර අත්තම්මලා කිව්වේ. අම්මා කන බොන කෑමවල විස නසලා බබාට හොඳින් කිරි දෙන්න පුළුවන් එතකොට කියන එකයි ඒ අයගේ විශ්වාසය.
අනික කරවිලවලට සම පැහැපත් කරලා සම තරුණ කරන්න පුළුවන් කියලා ඇමරිකාවේ ෆ්‍රෑන්ක් ෂැලෙන්බර්ග් කියන වෛද්‍යවරයා මේ ළඟදි තහවුරු කරලා. ඉතින් දැන් යුරෝපයේත් කරවිලවලට තියෙන ඉල්ලුම වැඩිලු.
‘තිත්ත කරවිල
තෙලෙන් බැද්දත්
පුංචි බණ්ඩට කන්න බෑ
තෙලෙන් බැද්දත්
තෙලෙන් බැද්දත්
පුංචි බණ්ඩට කන්න බෑ’
එහෙම කිව්වොත් නම් යසයි. ඕක ඉස්සර කාලේ රබන් පදයක්නේ. තිත්ත කරවිලවල තිත්ත නැති ඇත්ත දන්න නිසා දැන් අපේ රටේ ගොඩක් උදවිය කරවිල කන්න උනන්දුයි. ස්වයං රැකියාවක් විදියට තිත්ත නැති කරවිල බැදුමක් හදාගන්න හැටි තමයි අද කියලා දෙන්නේ.
මුලින්ම කරවිල 250gකින් ව්‍යාපාරයක් කරලා බලමු. කරවිල තෝරගන්නකොට අර ප්ලාස්ටික් වගේ නැති කටු ටිකක් පැතලිවට තියෙන කරවිල තෝරගන්න.
කරවිලවලට අමතරව රටකජු 50g, කරපිංචා 50g, සුදුලූනු 50g, මිරිස් කුඩු, ලුණු කුඩු, විටමින් E කරලක්, බැදගන්න තෙල් එහෙමත් අවශ්‍යයි.
පියවර 1
මුලින්ම කරවිල ටික සෝදලා වේලගන්න. ඊටපස්සේ ඇට ටික ඉවත් කරලා පෙති කපලා දවස් දෙකක් වේලගන්න.
පියවර 2
වේලගත්තු කරවිල ටික රන්වන් පාට වෙනකල් ගැඹුරු තෙලේ බැදගන්න. පොල්තෙල් මුසුවෙන එක නවත්තන්න ඕන නිසා පොල්තෙල්වලට විටමින් E කරලේ තෙල් ටික එකතු කරන්න.
පියවර 3
කරපිංචා, සුදුලූනු, රටකජු එහෙමත් වෙන වෙනම බැදගන්න. බැදගත්තු රටකජු, කරපිංචා, සුදුලූනු, කරවිල උණුවෙන්ම එකට මිශ්‍ර කරලා 2 : 1 අනුපාතයට මිරිස් කුඩුයි, ලුණුයි එකතු කරන්න. මිශ්‍රණය නිවුණට පස්සේ අසුරන්න.
මේ කරවිල බැදුමෙන් 50g රුපියල් 150-200ක වගේ මිලකට අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම මේ නිෂ්පාදනය මාස එකහමාරක් විතර කල්තියාගන්නත් පුළුවන්. වැඩි විස්තර සඳහා 0714766819 අංකයට කතා කරන්න.
සෙව්වන්දි හෙට්ටිආරච්චි