විශේෂාංග

ඕස්ට්‍රේලියාවෙ හිටියට මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලාංකික ලේ

පසුගිය මැයි 21 වෙනිදා පැවැත්වුණු ඕස්ට්‍රේලියාවේ 41 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය ලංකාවේ සිටි අපිටද විශේෂ එකක් විය. ඒ මෙරට උපත ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු පළමු වරට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වීම නිසාය.

මේ මැතිවරණයේදී එරට පාලක පක්ෂය වූ ස්කොට් මොරිසන්ගේ ලිබරල් සන්ධානය පරාජයට පත්විය. ඒ නිසා  ජයග්‍රහණය කළ කම්කරු පක්ෂයේ ඇන්තනි ඇල්බනීස්ට අගමැති පුටුව හිමිවිය. කම්කරු පක්ෂය මෙලෙසින් ඕස්ට්‍රේලියාවේ බලය තහවුරු කරගනු ලැබුවේ දශකයකට පමණ පසුවය.

මෙවර මහා මැතිවරණයට පෙර සිටම එරට දේශපාලන විශ්ලේෂකයෝ පවසා සිටියේ ප්‍රතිඵලය පාලක පක්ෂයට අවාසි සහගත වන බවයි. ඒ ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපෑමත් ඒ හරහා ජීවන වියදම ඉහළ ගොස් තිබීමත් නිසාවෙනි. මේ තත්ත්වය හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රමුඛ රජයේ ජනප්‍රියත්වය අඩුවීමට ප්‍රබලම හේතුව විය. කිව්වා වාගේම මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂය ආසන 72 කට වඩා දිනාගැනීමට සමත් වූ අතර හිටපු අගමැති ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට හිමිකර ගැනීමට හැකිවූයේ ආසන 51 ක් පමණි.

මෙම මැතිවරණයට කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු හැරුණු විට තවත් ලාංකිකයින් දෙදෙනෙකු තරඟ වැදුනහ. ඒ රාන්ජ් පෙරේරා සහ විරෝෂ් පෙරේරාය. රාන්ජ් මෙන්ම විරෝෂ් තමන් නියෝජනය කළ පාර්ලිමේන්තු අසුන් පරාජයට පත්වෙද්දී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු කම්කරු පක්ෂය නියෝජනය කරමින් සුපිරි ජයග්‍රහණයක් ලැබීමට තරම් වාසනාවන්ත විය.

මං කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු. තවත් විදිහකින් කිව්වොත් සාඩම්බර සංක්‍රමණිකයෙක් වගේම වෘත්තියෙන් සූපවේදියෙක්. ඒ වගේම වැඩ කරන මිනිස්සු වෙනුවෙන් කතා කරන ගැහැනියක්.

34 වෙනි වියේ පසුවන ඇය ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචියට පැමිණ ඇත්තේ කුඩා කාලයේදීය.

මං 1999 අවුරුද්දේ ඕස්ට්‍රේලියාවට ආවේ මගේ පවුලේ අයත් එක්ක. අම්මයි, තාත්තයි, මල්ලියි තමයි ආවේ. එතකොට මට යාන්තමට වයස අවුරුදු 11 යි. ඊටපස්සේ ඉස්කෝලේ ගියෙත් මෙහෙමයි. ඒ කාලේ අපිට වැඩිය සල්ලි තිබුණේ නෑ.

කාලයත් සමඟ ඇය ආහාර සැකසුම් ක්ෂේත්‍රය දෙසට යොමු විය. එහිදී සුපවේදිනියක් ලෙස පහළොස් වසරක් පුරාවට වූල්වෝර්ත් සුපිරි වෙළඳසැල් ජාලයට සම්බන්ධ වී එහි සේවය කළාය. ඒ අතරතුරේ කැසෙන්ඩ්‍රා එරට බෙදාහැරීමේ සහ අනුබද්ධ සේවක සංගමයේ කම්කරු පක්ෂ නියෝජිතවරියක වී පසුව එහි සංවිධායකවරියක ලෙසද පස්වසරක් පමණ සිටියාය. ඇය පවසන පරිදි ඇගේ දේශපාලන ගමනාන්තයේ මුල් අඩිතාලම වැටී ඇත්තේ එතැනින්ය.

මේ වෙනකොට මං ආහාර සම්බන්ධ කර්මාන්තවල සහ ඒ ක්ෂේත්‍රය නියෝජනය කරන කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම එම කර්මාන්තයේ වැඩකරන අයගේ දියුණුව සඳහා අතහිත දෙනවා.

ආගන්තුක සත්කාරය පිළිබඳ ඩිප්ලෝමාවක් මෙන්ම අධ්‍යාපන සහාය පිලිබඳ වෘත්තිය සුදුසුකම් සපුරා ඇති ඇය සමාජ ක්‍රියාකාරකම් කෙරෙහිද සෑහෙන උනන්දුය. ඒ නිසාමදෝ ඇය මේ වනවිට අපූරු වැඩකද නිරත වී සිටියි.

මං හරි ආසාවෙන් තව දෙයක් කරනවා. ඒ තමයි ඉංග්‍රීසි කතා කරන්න බැරි සංක්‍රමණිකයන්‍ට ඉංග්‍රීසි උගන්වනවා. ඒක මං හරිම ආසාවෙන් ස්වේච්ඡා සේවයක් විදිහටයි කරන්නේ.

පසුගිය සතියේ කැසෙන්ඩ්‍රා ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයට තරඟ කළේ මේ සියල්ල කරන අතරතුරය. ඇය තරඟ වැදුනේ වික්ටෝරියා ප්‍රාන්තයේ ‘හෝල්ට්’ (Holt) ආසනයටයි. ඒ අනුව ඇය ඡන්ද 39,185 ක් ලබාගත්තේ 57.09% ක දැවැන්ත ප්‍රතිශතයක්ද සමඟිනි.ඇගේ ප්‍රතිවාදියා වූ රාන්ජ් පෙරේරාට ලබාගත හැකිවූයේ 42.91% ක ප්‍රතිශතයක් සමඟින් ඡන්ද 28,777 ක් පමණි. කැසෙන්ඩ්‍රාට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දොර ඇරුණේ එහෙමය. සිය ජයග්‍රහණයෙන් අනතුරුව ඇය පවසා සිටියේ මෙවැන්නකි.

මේ මැතිවරණය ඕස්ට්‍රේලියාවේ අනාගත පරපුරයි නිර්වචනය කරන්නේ. මං බලාපොරොත්තු වෙනවා මේ ජයග්‍රහණයත් එක්ක හැමෝගෙම සහාය මට ලැබෙයි කියලා. ඒ වගේම පුළුවන් ඉක්මනින් මගේ ජනතාව මුණගැහෙන්න මං කටයුතු කරනවා. මං කැමතියි සාධාරණ ඕස්ට්‍රේලියාවක් දකින්න. හැමෝටම සළකන ඕස්ට්‍රේලියාවක් දකින්න. අපි ඉන්නේ අවස්ථාවන් ගොඩාක් තියෙන රටක. ඒ නිසා ඉදිරියට යන්න ලේසියි. මං මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා සහතික වෙනවා. ඒ වෙනුවෙන් මේක මට ලැබුණු වටිනා අවස්ථාවක් කියලා මට හිතෙනවා.

මෙහිදී ඇය තම උපන් රට වන ශ්‍රී ලංකාව ගැනද කතා කරන්නට අමතක නොකළාය.

මං මෙවර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත් වූ එක ගැන සතුටුයි. මොකද දැන් මට පුළුවන් ලංකාවම නියෝජනය කරමින් එතැන ඉඳන් කතා කරන්න. මං ඕස්ට්‍රේලියාව නියෝජනය කළත් මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලාංකික ලේ. ඒක හැමදාමත් එහෙමයි.

කැසෙන්ඩ්‍රා වැඩිදුරටත් සඳහන් කළේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන් ඇතුළුව සියලුම ඕස්ට්‍රේලියානු ජාතිකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි. මේ අතර මෙරටින් සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් සිටින ප්‍රාන්තය වන්නේද වික්ටෝරියා ප්‍රාන්තයයි.

මම තරුණියක් විදියට වැඩ කරන්න පටන්ගත්තේ මීට අවුරුදු දාහතරකට කලින් ඉඳලා. එදා ඉඳන්ම මං මහන්සියෙන් සහ කැපවීමෙන් වැඩකරපු හින්දා අද වෙනකොට මට ඒකට වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒක මට ලොකු ශක්තියක්.

ඇය එසේ කියන්නේ නිහතමානී ආඩම්බරයකිනි. නොදන්නා රටකට සංක්‍රමණය වී එහි පාර්ලිමේන්තුවට පිවිසීම හිතන තරම් පහසු නැත. එහෙත් සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම අභිමානයක් එක්කරමින් කැසෙන්ඩ්‍රා එම වික්‍රමය කර තිබේ.

ඕනෑම දෙයකට අපි මහන්සි වුණොත් විතරයි අපිට හොඳ අනාගතයක් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. අපි හිතට ගත්තොත් අපිට හැමදේම පුළුවන් කියලා කිසිම දෙයක් බැරිවෙන්නේ නෑ. ඒක මට වගේම මේ ලෝකේ හැම මනුස්සයෙකුටම පොදුයි.

අධිෂ්ඨානය, උත්සාහය සහ කැපවීම ඇත්නම් කළ නොහැක්කක් නැත. ලාංකික තරුණියක වුවද කැසෙන්ඩ්‍රාට විදෙස් රටක පාර්ලිමේන්තු අසුනක් හිමිවුණේ ඒ නිසාය. ඉතින් ලංකා මාතාවටද අභිමානයක් එක් කරමින් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට පිවිසි ඒ දිරිය දියණියට ‘ධරණී’ අපිද සුබපතමු.

 

රුවන් එස්.සෙනවිරත්න