වෛරස් උණට වෛද්‍යවරු දෙදෙනෙක්ගෙන් ඖෂධ ගත් 11 හැවිරිදි දරුවෙකු මරුට
වෛරස් උණ රෝගයක් සඳහා පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබාගත් 11 හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ මියගිය පුවතක් බේරුවල – අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, බේරුවල වලතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි විදූෂ රන්දුනු නමැති බේරුවල වලතර කනිෂ්ඨ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.
අදාළ දරුවා පසුගිය 10 වනදා උණ රෝගී තත්ත්වයකට බේරුවල අබේපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගෙන තිබෙනවා.
ඉන්පසු සමෙහි ඇතිවූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් බේරුවල නගරයේ පිහිටි වෙනත් පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත එම දරුවාව පෙන්වා ප්‍රතිකාර ලබාදීමට එම දරුවාගේ මව්පියන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් එම ප්‍රතිකාරවලින් ද සුවය නොලැබීම හේතුවෙන් දෙමව්පියන් විසින් දරුවා යළිත් ප්‍රථමයෙන් ප්‍රතිකාර ලබාගත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.
එහිදී තවත් ඖෂධ කිහිපයක් දරුවාට ලබාදී ඇති අතර දෙමව්පියන් සඳහන් කලේ, දරුවාගේ රෝගී තත්ත්වය දිනෙන් දින උත්සන්න වූ බවයි.
අනතුරුව දරුවාව බේරුවල ප්‍රාථමික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී දරුවාව භාරගැනීමට නොහැකි බව පවසා, කළුතර ශික්ෂණ මහ රෝහලට ඇතුළත් කරන ලෙස උපදෙස් දී තිබෙනවා.
පසුව කළුතර ශික්ෂණ මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ දරුවා ඊයේ (12) සවස හදිසියේම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූ සිසුවාගේ ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ කළුතර – නාගොඩ රෝහලේ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.