විශේෂාංග

කොල්ලා යාළුවෙන්න ‘බෑ’ කිව්වම කෙල්ල සරම් අඳින්න පටන් අරන්

කාලයක් මම හිරගෙදර සමාජ පර්යේෂණයක් කළා. ඉනෝකාවත් මට මුණගැහුණේ එහෙදි. එතකොට ඉනෝකාට අවුරුදු 28යි. කොණ්ඩේ කොටට කපලා වෙනස් විදියට සරම අඳින ටිකක් අමුතු පහේ කොල්ලෙක් වගේ කෙල්ලක්. ඇගේ කතාව මාත් එක්ක කියන්න ඉනෝකා කැමති වුණා. හැබැයි ඉතින් කතාබහ කළේත් කොල්ලෙක් වගේ කටහඬ ටිකක් ගොරෝසු කරගෙන.

ඇයට තව සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවලු. ඇය තමයි පවුලේ වැඩිමලා. නංගිලා දෙන්නා ලැබුණට පස්සේ අම්මයි තාත්තයි ඉනෝකාව නොසලකා හැරලා. නංගිලා දෙන්නට ආදරේ කළත් අම්මා, තාත්තා දෙන්නා ඇයට ආදරේ කළේ නැහැ කියලා තමයි ඉනෝකා කිව්වේ. පවුලේ උදවියගේ ප්‍රතික්ෂේපවීම දරාගන්න බැරිව ඉනෝකා අවුරුදු පහළොවේදි ගෙදරින් පැනලා ගිහින්.

පස්සේ ඇය කඩේක වැඩ කරලා. ටික කාලයක් යද්දි ඉනෝකාට කඩේට යන එන තරුණයෙක් ගැන ආදරයක් ඇතිවෙලා. ඇය ඒ ගැන ඒ පුද්ගලයාට කිව්වහම කඩේක වැඩ කරන කෙනෙක්ට කැමති වෙන්න  බැහැ කියන එක තමයි ලැබිච්ච පිළිතුර. එදා ඉඳලා ඇතිවෙච්ච හිතේ දුකට මෙයා කොණ්ඩේ කපලා පිරිමි කෙනෙක් වගේ අඳින්න පටන්ගත්තලු.

පස්සේ ඉනෝකා හමුදාවට බැඳිලා, එතැනදී ඇයට ගෑනු ළමයෙක් ගැන අදහසක් ඇතිවෙලා. ඒ ගැන කිව්වහම ඒ ගෑනු ළමයා වගේම අනිත් මිතුරියොත් ඉනෝකාව ප්‍රතික්ෂේප කරලා. ඔය සිදුවීම නිසා ඇය හමුදාවෙන් පැනලා ගිහින් ගෙවල් මංකොල්ල කන්න, මාල කඩන්න පටන් අරන්. ඇය සිරගත වෙලා තිබුණෙත් එහෙම සිදුවීමකට.

ප්‍රතික්ෂේපවීම…  ඒ කියන්නේ පවුලෙන්, සම්බන්ධතාවලින්, රැකියාවෙන්, මිතුරු කණ්ඩායම්වලින් නැත්තම් සමාජයෙන් පිටතට තල්ලුවීම පිරිසක් ජීවිතේ කඩාවැටීමට හේතුවක් කරගනිද්දි තවත් පිරිසක් ප්‍රතික්ෂේපවීමම ජීවිතේට ආශිර්වාදයක් කරගන්නවා. අන්න ඒ අය වගේ ප්‍රතික්ෂේපවීම ජීවිතේට හයියක් කරගන්නේ කොහොමද කියන එක ගැනයි අපි අද කතා කරන්නේ.

මිනිහා කියන්නේ සමාජ සත්වයෙක්. ගෝත්‍රික යුගයේ ඉඳලා මිනිහා හිටියේ කණ්ඩායම් ගැහිලා. ඒ කාලේ  ගෝත්‍රයේ කෙනෙක් වරදක් කළහම ගෝත්‍රයෙන් පිටමං කරලා එයාව තනි කරනවලු. එතකොට ඒ ප්‍රතික්ෂේපවීම දරාගන්න බැරිව අර මනුස්සයා සියදිවි නසාගන්නවලු.

ඉතින් ඒ කාලේ ඉඳලම අපි ආදරේට, බැඳීම්වලට ගොඩක් කෑදරයි. තමන් කැමතිම තැනකින් ප්‍රතික්ෂේපවීම කෙනෙක්ට ශාරීරික වේදනාවකට වඩා දරුණුවට දැනෙනවා. ඔය වේදනාව අපේ මනසට දරාගන්න අමාරුයි. මොළයේ ප්‍රතිග්‍රාහක පද්ධතිය එතකොට ඔපියොයිඩ් කියන ස්වභාවික වේදනානාශකය මුදාහරිනවා. ප්‍රතික්ෂේපවීම් දරාගන්න ඒක කෙනෙක්ට උපකාරී වෙනවා. හැබැයි ඒ ස්‍රාවයෙන් උපකාරයක් ගන්න බැරිතරමට ප්‍රතික්ෂේපවීම නිසා  මනසින් වැටෙන අයත් ඉන්නවා. ඒ නිසාම ඇතැමුන්ට ආතතිය, ආහාරගැනීමේ අක්‍රමිකතා, මානසික ගැටලු, ප්‍රචණ්ඩකාරී හැසිරීම් වගේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

මම දන්න තරුණියක් හිටියා ඇය හරිම ලස්සනයි. ඇය කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක හිටියා. හිටිහැටියෙම ඇගේ පෙම්වතා වෙනත් සම්බන්ධයක් පටන් අරන් මෙයාව අත්හැරියා. පස්සේ ඇය අපිරිසිදු වෙන්න ගත්තා. එයා නැත්තම් මම මොකටද ලස්සනට ඉන්නේ කියලා හිතන්න ගත්තා. පස්සේ ඇයගේ මානසික තත්ත්වයත් පිරිහුණා. අදටත් ඇය ඉන්නේ මානසික රෝහලේ. අවුරුදු ගාණක් ප්‍රතිකාර කරලාත් ඇයව සුව කරගන්න බැරිවුණා.

අපි ඉපදිලා ඉන්නේ වෙනත් කෙනෙක් වෙනුවෙන් නෙමෙයි. අපි ඉන්නේ අපි වෙනුවෙන්. කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරනවා නම් ඒ තැන හිරවෙලා ඉන්නෙ නැතිව එතැනින් අයින්වෙන්න ඕනේ. අපිව ප්‍රතික්ෂේප කරන තැනක පයට පෑගුණු දූවිලිත් දමලා ගසලා එන්න කියලා ජේසුතුමා කියලා තියෙනවා.

අනික තමන් සම්බන්ධයක දිගටම ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ප්‍රති පුද්ගලයටත් අයිතියක් තියෙනවා. ඒ කියන්නේ සමහර අවස්ථාවලදි ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තියෙනවා කියන එකයි මම කියන්නේ.

හැබැයි ගොඩක්දෙනා මේ කාරණාව තේරුම්ගන්නේ නැහැ. ප්‍රතික්ෂේප වුණාම සමහරුන්ට ලැජ්ජාවක් හිතෙනවා. ඒත් එක්කම ආක්‍රමණශීලී වෙන අයත් ඉන්නවා. යාළුවෙන්න බැහැයි කිව්වහම හැංගිලා ඉඳලා පිහියෙන් ඇනපු සිද්ධි කීයක් වාර්තාවෙලා තියෙනවද. එහෙම නැත්තම් ඉතින් සියදිවි හානිකරගන්නවා.

ප්‍රතික්ෂේප වීම ශක්තියක් කරගත්තු අය ගැනත් කතා කරමු. කෙටි පෙරී කියලා ඇමරිකානු ගායිකාවක් ඉන්නවා. ඇය සැමියා එක්ක බොහොම ආදරෙන් හිටපු කෙනෙක්. දවසක් ප්‍රසංගයකට ගිය වෙලාවකදි ඇගේ සැමියා දික්කසාදය ඉල්ලලා ඇයට කෙටි පණිවිඩයක් එවනවා. මෙච්චර ආදරෙන් හිටපු මනුස්සයා දික්කසාදේ ඉල්ලන්නේ ඇයි කියලවත් කෙටීට හිතාගන්න බැරිවුණා. කෙටීගේ කළමනාකරු ඒ වෙලාවේ ඇයට විකල්ප දෙකක් දෙනවා. එකක් එවෙලේ ශෝ එක දමලා ගහලා යන එක. නැත්තම් ඒක ජීවිතේ හොඳම ප්‍රසංගය කරගන්න එක. කෙටී තෝරගත්තේ දෙවැනි විකල්පය. එදා ඇය අඬ අඬා වේදනාවෙන් සිංදු කිව්වා. කිව්වත් වගේ ඒක තමයි ඇගේ ජීවිතේ හොඳම ප්‍රසංගය වුණේ. ඇය විතරක් නෙමෙයි ඔපෙරා වින්ෆ්‍රි, ජැක් මා, ස්ටෙෆන් හෝකින්ග්, ජේ.කේ. රෝලින් වගේ ලෝකය දිනපු හැම මනුස්සයෙක්ම කොතැනහරි තැනක ප්‍රතික්ෂේප වෙලා තියෙනවා.

ප්‍රතික්ෂේපවීමක් දරාගන්න හිත හයිය කරගන්නේ කොහොමද කියන එකත් කතා කරන්න ඕනේ. ප්‍රතික්ෂේප වුණාට පස්සේ මුලින්ම මානසික තක්සේරුවකට යන්න ඕනේ. ඒ කියන්නේ අපි වේදනාවෙන් ඉන්න බව තේරුම්ගන්න ඕනේ. ඊටපස්සේ ඒ වේදනාව හිත යට හංගගෙන පැසව පැසවා ඉන්න එපා. ඒක විශ්වාසවන්ත කෙනෙක් එක්ක කියන්න. නැත්තම් ඇතිතරම් අඬන්න.

ප්‍රතික්ෂේපවීම ගැන නිතරම හිතන්න යන්න එපා. පුළුවන් තරම් සතුටු හිතෙන දේවල් කරන්න. යාළුවෝ එක්ක ඉන්න. මොකද ප්‍රතික්ෂේපයට සංවේදී වෙන්න වෙන්න අපිට ඒක දරාගන්න අපහසුයි.

වැදගත්ම දේ කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා හිතන්න. එයා අපේ අඩුපාඩු පෙන්නලා දෙනවා නම්, ඒක තමන්ගේ වැරැද්දක් විදියට දාගෙන තමන් දිහාම ඍණාත්මකව බලන්න එපා. මොකද අපිට දෙයක් අහිමිවෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න වෙන්නත් පුළුවන්. අර පෙන්නූ වැරදි අඩුපාඩු හදාගන්න. ජොබ් එකකින් ප්‍රතික්ෂේප වුණොත්, නැත්තම් රස්සාවෙන් අස් කළොත් එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා බලලා ඒ දේවල් හදාගන්න. ප්‍රතික්ෂේපවීම දරාගන්නම බැහැ කියලා හිතෙනවා නම් උපදේශනයට යන්න.

ඒ වගේම සමාජය පැත්තෙනුත් අපි මේ ගැන කතා කරන්න ඕනේ. ශරීර අඩුපාඩු, දුප්පත්කම වගේ දේවල් නිසා මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරන්න එපා. එතකොට ලිංගාශ්‍රිත රෝගීන්ව වගේම සංක්‍රාන්තික පුද්ගලයන්වත් සමාජයෙන් හරියට ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප වෙයි කියලා ඒ අයත් නිතරම ඉන්නේ බයෙන්.

මම දන්න අන්ධ තරුණියක් හිටියා. ඇය පුංචි කාලේ ඉඳලම පවුලෙන් වගේම සමාජයෙනුත් ප්‍රතික්ෂේප වුණා. ඒත් ඇගේ මහන්සියෙන් ඇය හොඳට ඉංග්‍රීසි ඉගෙනගත්තා. පස්සෙ ඇය ඉංග්‍රීසි ඉගැන්නුවා. විදේශිකයෙක් බැඳලා යුරෝපීය රටකට ගියා. ශරීර අඩුපාඩු තියෙන අයටත් අපිට නැති දක්ෂකම් තියෙනවා. ඉතින් කිසිම කෙනෙක්ව කොන් කරන්න, ප්‍රතික්ෂේප කරන්න එපා.

පුංචි දරුවෙක් වැරැද්දක් කරපුවහම දඬුවමක් විදියටවත් ඒ අයව ප්‍රතික්ෂේප කරන්න එපා. පුංචි දරුවන්ට ප්‍රතික්ෂේප කිරීම දරාගන්නම බැහැ.

ඒක ඔවුන්ගේ අනාගතේට බලපාන්න පුළුවන්. ලෝකේ නමගිය අපරාධකරුවන්, අපයෝජකයන්ගේ කතා කියෙව්වොත් ඒ බොහෝ අය පුංචි කාලෙදි පවුලෙන් ප්‍රතික්ෂේප වුණු අය.

ඔබේ දරුවව සමාජයෙන් ප්‍රතික්ෂේප කරනවා නම් අම්මා තාත්තා විදියට ඒ අයගේ පැත්තේ හිටගන්න. ඇල්බට් අයින්ස්ටයින්ව සමාජය මෝඩයෙක් කියලා ප්‍රතික්ෂේප කරද්දි ඔහුගේ අම්මා ඔහුට උදව් කළේ නැත්තම් අදටත් ලෝකෙට ඔහු සොයාගත්තු ගණිතමය සංකල්ප  නැතිවෙන්න තිබ්බා.

ඉතින් අවසානයේදි කියන්න තියෙන්නේ ප්‍රතික්ෂේපය අභිප්‍රේරණයක් කරගන්න. ඔබව ප්‍රතික්ෂේප කරපු මිනිස්සුම හොයාගෙන ඇවිල්ලා කතා කරන තැනට වැඩ කරන්න. මුල හයිය ගස් කීපාරක් කැපුවත් ආයේ ආයේ දලු දානවා කියලා මතක තියාගන්න.

ඉන්දිකා ප්‍රනාන්දු

මනෝ උපදේශිකා

සමාජ විද්‍යා ග්‍රන්ථ කතුවරී

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි