අහගන්න සූකිරී හදන හැටි මී කිරී
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා. ඉතින් අද අපි මී කිරි හදමු.
‘දී කිරි.. දී කිරි ගෙනාවා දී කිරි
මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි…’
ඔන්න අද ස්වයං රැකියා පාඩමෙන් අපි ගෙනාවේ දී කිරි. හැබැයි දී කිරි කියනවට වඩා මී කිරි කියන නම තමයි අපේ කන්වලට වඩාත් හුරු.
මී කිරි කියන්නේ ඕනම කෙනෙක් ප්රිය කරන රසවත් අතුරුපසක්. මී කිරිවල විශේෂත්වය කදිමට පැහැදිලි කරන්න අන්දරේගේ රස කතාවකුත් තියෙනවා. ඔන්න දවසක් රජතුමා අන්දරේට රජ මාලිගාවේ කෑමකට ආරාධනා කළාලු. අන්දරෙත් ඉතින් උස්මුරුත්තාවට එනකල්ම කෑම කාලා අත පිහාගත්තලු. අන්දරේ කෑම කාලා අහවර බව තේරුම්ගත්තු රජතුමා තව බත් ටිකක් කන්නයි කියලා අන්දරේට ඇවිටිලි කළාලු. “අනේ දේවයන්වහන්ස, තව බත් ඇටේකටවත් මගේ බඩේ ඉඩ නැහැ” කියලා අන්දරේ ඉතින් ඒ ඉල්ලීම අහක දැම්මලු. ඒ පාර රජතුමා අන්දරේට මී කිරි හට්ටියක් එක්ක පැණි මුලකුත් ගෙනල්ලා දුන්නලු. බත් ඇටයක් දාගන්න බඩේ ඉඩ නෑ කිව්ව අන්දරේ මෙහෙම කරද්දි ඔය කිරි හට්ටිය සුටුස් ගාලා අහවර කළාලු. ඕක බලාගෙන හිටපු රජතුමා “අන්දරේ බත් ඇටේකට බඩේ ඉඩ නෑ කියලා තෝ මට බොරු කළා නේද?” කියලා අන්දරේට දඬුවම් දෙන්න හැදුවලු. හැබැයි ඕකෙන් බේරෙන්න අන්දරේත් නියම වැඩක් කළා. ඔහු කළේ පුංචි කුටියකට ගොඩාරියක් සෙනඟ පුරවන එක. කුටියට වැඩිපුර එක මනුස්සයෙක්වත් ඇතුළු කරන්න බැරි වුණාට පස්සෙ අන්දරේ රජතුමාට ඔය කුටිය ඇතුළට යන්න කිව්වලු. කුටියේ ඉඩ තිබ්බේ නැතත් මිනිස්සු දෙපසට වෙලා රජතුමාට යන්න පාර හදලා දුන්නාලු. “රජතුමනි ඔබ විශේෂ නිසා ඔබතුමාට මෙතැනින් යන්න ඉඩ ලැබුණා. ආන්න ඒ වගේ තමයි මී කිරි වගේ රජ කෑමකට බඩේ ඉඩ ලැබෙන්නෙත්” කියලා ඔහු රජතුමාට කිරි කාපු හැටි පැහැදිලි කළාලු.
මී කිරි කියන්නේ ඉන්දියාවේ සාම්ප්රදායික ආහාරයක්. යම්කිසි ශුභ කටයුත්තකට එළිබහින්න කලින් මී කිරි ආහාරයට ගන්න එක ඔවුන්ගේ පුරුද්දක්. මී කිරි අපිට ඉන්දියාවෙන් ලැබුණු ආහාරයක් කියලා ඇතැම්මු කියනවා. හැබැයි දුරාතීතයේ ඉඳලම සිංහලයින් මී කිරි නිෂ්පාදනය කළ බව ‘බ්රෝහියර් දුටු ලංකාව’ නම් ග්රන්ථයේ සඳහන්. කොහොම නමුත් මී කිරි කියන්නේ සිංහල සංස්කෘතියත් එක්ක හරි හරියට බැඳුණු ආහාරයක් බව නම් නොකියම බැහැ.
‘නැන්දේ මාමට බඩගිනි නැද්දෝ
රෑ ඉවු හැලියේ දං කුඩ නැද්දෝ
එව්වා කන්නට මී කිරි නැද්දෝ
මී කිරි නැත්තම් කොහොමට කද්දෝ’
ඕක මී කිරි නැත්නම් කෑම එපා කියන තාලේට කියවෙච්චි ගැමි කවියක්. ගෙදරට එන උදවියට කිරියෙන් පැණියෙන් සංග්රහ කරන එක සිංහලයගේ පුරුද්දක්ලු. ඒ වගේම ඒ කාලේ කොටහළු ගෙවල්, මඟුල් තුලා ඔය හැම එකකම ප්රධාන අතුරුපස මී කිරිලු. එදා විතරක් නෙමෙයි අදටත් මී කිරි නැති උත්සවයක් නම් හොයාගන්න අමාරුයි. අනික පෝෂණීය බවෙනුත් බොහොම ඉහළ නිසා මී කිරිවලට තියෙන ඉල්ලුම කවමදාකවත් අඩු වෙන්නේ නැහැ.
මී දෙනුන්ගෙන් දොවාගන්න කිරිවලින් තමයි මී කිරි හදන්නේ. හැබැයි සමහරු මේ වැඩේට එළකිරිත් යොදාගන්නවා. එළකිරි සහ මී කිරි අතර වෙනසක් නැහැයි කියල හිතන අයත් ඉන්නවා. නැහැ. මී දෙනුන්ගේ කිරි එළකිරිවලට වඩා වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේම මුදවන්නත් පහසුයි. මී කිරිවල මැග්නීසියම්, යකඩ සහ හිතකර මේදය සුලබ බවත් කියන්න ඕනේ. ඒ නිසා අලෙවියට මී කිරි හදනවා නම් වැඩේට මී කිරිම යොදාගන්න එක නිෂ්පාදනයේ ගුණාත්මක බව වැඩි වෙන්නත් හේතුවක්.
දකුණු පළාතේ උදවියට නම් මී කිරි හොයාගන්න එක බොහොම සුළු වැඩක්. හැබැයි මහන්සි වෙලා ටිකක් හොයලා බලනවා නම් අනිත් අයටත් නැවුම් මී කිරි මිලදී ගන්න පුළුවන් තැනක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ.
මී කිරි නිෂ්පාදනයට දියර මී කිරි 1L, මුහුම් (මුහුම් සඳහා මුදවපු කිරි 30g ගන්න), නැවුම් මැටි හට්ටි හෝ ප්ලාස්ටික් කප් කිහිපයක්.
පියවර 1
මුලින්ම අපි නිෂ්පාදනය සඳහා යොදාගන්න කිරි හොඳින් පෙරාගෙන හොඳින් උණු කරගන්න.
පියවර 2
දැන් නිවාගත්තු කිරි ටික 32C° ක උෂ්ණත්වයකට නිවෙන්න තියන්න. (කිරි ටිකක් අල්ලට දැමූ පසු යාන්තමින් රස්නය දැනෙන උෂ්ණත්වය)
පියවර 3
දැන් කිරි ලීටරයට මුහුම් 30g එකතු කරන්න. අපි එකතු කරන මුහුම්වල (මුදවපු කිරි) විවිධ හිතකර බැක්ටීරියා දර්ශක අඩංගුයි. ඒවා නිසා ඉක්මනින්ම කිරි මුදවීමට ලක්වෙනවා.
පියවර 4
මැටි හට්ටි නැත්නම් ප්ලාස්ටික් භාජන හොඳට නටන ජලයෙන් තම්බලා ජීවානුහරණය කරගන්න. ඊටපස්සේ මී කිරි ටික මේ භාජනවලට දාලා වාතය ඇතුළු නොවෙන විදිහට කට ආවරණය කරලා පැය 8-10 නොසොල්වා මිදෙන්න තියන්න.
මෙහෙම හැදුව මී කිරි දවස් අටක් විතර ශීතකරණයේ තියාගන්න පුළුවන්. ඒ වගේම දවස් පහක් විතර ශීතකරණයක් නැතිව තියාගන්නත් පුළුවන්. ඒ නිසා අලෙවියේදි නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය සඳහන් කරන එක වැදගත්. මේ දවස්වල මී කිරි ලීටර එකක් රුපියල් 350/400 අතර මුදලකට අලෙවි වෙන බවත් කියන්න ඕනේ. වැඩි විස්තර දැනගන්න 0714766819 අංකයට කතා කරන්න.
සීතා පොන්නම්පෙරුම
ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා
සෙව්වන්දි හෙට්ටිආරච්චි