විශේෂාංග

මේ රත්තරන් පොළොව ගැන අපි තවම දන්නේ ටිකයි

මුදල් උපයන්නටම නොවුණත් හිතේ සතුට වෙනුවෙන් කළ හැකි බොහෝ දේ තිබේ. බොහෝවිට ඒ සතුට සොයාගත යුත්තේ අප විසින්මය.

දමයන්ති ප්‍රියදර්ශනී ද මීට වසර හය හමාරකට පෙර, මීගොඩ පදිංචියට එද්දී නැති දේ ගැන මැසිවිලි නොනඟා ඇති දෙයින් සතුට හොයාගන්නා විදියක් ගැන සැලසුම් කළාය.

මීගොඩ තියෙන අපේ මේ ඉඩම පර්චස් හයහමාරයි. ඒ ඉඩ ටිකේ ගේ හදපු නිසා වගා කරන්න ඉඩක් තිබුණේ නෑ. ඉස්සර විජේරාම කැම්පස් එක කිට්ටුව තමයි අපි හිටියේ. ඒ කාලෙත් පෝච්චිවල වගා කළා. ලොකුවටම නෙවෙයි. ගෙදර පරිභෝජනයට ඕන කරන එළවලු, කොළපලා, අමුමිරිස් ටික ඒ විදියට ලැබුණා. මෙහේ පදිංචියට ආවට පස්සේ මුලදිම ස්ලැබ් එකේ තමයි වගා කළේ. පෝච්චි සීයක් විතර ගෙනැත් හැමදේම වගා කළා. මාත් මහත්තයත් ස්ථිර රැකියාවල නියුතු අය නොවෙයි. මම ස්වයං රැකියාවක් විදියට කරන්නේ එම්බ්‍රොයිඩර් වැඩ, මැහුම් වැඩ වගේ දේවල්. මහත්තයා ටයිල් වැඩ. ඒ අතරේ ගෙදර පරිභෝජනයට ගන්න එළවලු ටික වත්තෙම වවාගන්න එක අපිට මුදල් ඉතිරියක් වගේම හිතට ලොකු සතුටක් ගෙනෙන කාරණයක් වුණා.

දවසින් දවස අලුත් අත්දැකීම් ලෙස, ඒ සතුට ප්‍රියදර්ශනීගේ හිතට ලැබුණාය. එළවලු පැළයක දවසින් දවස වෙන වෙනස්කම්, මල් ගෙඩි හටගැනීම, ඒ වෙනුවෙන් කළයුතු කැපකිරීම කොතෙක්දැයි ඒ දවස් ඇයට කියා දුන්නාය. වැටකොලු, මෑ, බෝංචි, වම්බටු, බණ්ඩක්කා, මාලු මිරිස් වාගේම විවිධ කොළපලා වර්ග සාර්ථකව අස්වනු ගන්නට හැකි පරිදි බලා කියාගත යුතු ආකාරය ගැනද අත්දැකීම් ලැබුවේ ඒ අස්වැන්නෙන් නෙත් සිත් සනසා ගන්නා ගමන්ය.

ස්ලැබ් එකේ වගා කළා වගේම පසුගිය කොරෝනා කාලේ මගේ ඉඩමට අල්ලපු ඉඩමේ කොටසක වගා කළා. ඒ ඉඩම අයිති මගේ අයියට. අයියත් වගාවට කැමති කෙනෙක්. එයාගේ කැමැත්ත ලැබුණට පස්සේ ඒ ඉඩමෙම වගා කළා. කොරෝනා කාලේ අපි ගෙදරටම කොටුවුණු නිසා මඤ්ඤොක්කා, අල, බතල, කහ, එළවලු වර්ග බොහොමයක් වගා කරලා ඒවායේ අස්වැන්න ගත්තා. ඒ වැඩවලට මහත්තයාගෙනුයි, දුවගෙනුයි ලොකු සහයෝගයක් ලැබුණා. මට මතකයි දුව එකවරක් ගෙදර උයන්න ගෙනා වට්ටක්කා කෑල්ලක ඇට ටිකක් පොළොවට දාලා වට්ටක්කා වැලක් ඇවිත් ගෙඩි දෙක තුනක් හැදුනා. ඒ වගේම තවත් පාරක් මුංඇට ටිකක් දාලා ඒකත් පැළවෙලා කරල් ආවා. ඇත්තටම අපි මේ රන් පොළොව ගැන දන්නේ ටිකයි. බීජ ටිකක් නිකං විසි කළත් පැළවෙන පොළොවක් අපට තියෙන්නේ. ඉතින් හැම කෙනෙකුටම ඒ අවස්ථාව තියෙනවා. කුලියට හිටියත් පෝච්චියක හරි වගාමලුවල හරි පුංචියට වගාව කරන්න පුළුවන්. ඉස්කෝලයක් මුර කරා කියමු. ඒ පුද්ගලයාට තාප්පේ අයිනේ හරි පැළයක් හිටවලා සතුටු වෙන්න පුළුවන් ඒ පැළයේ පලයක් හටගන්නා දාට.

ප්‍රියදර්ශනී කියන්නේ වගාවෙන් ලැබිය හැකි සතුටය. ගෙදර වැඩ, මැහුම් ගෙතුම් එම්බ්‍රොයිඩර් වැඩ, මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දියණියගේ ඉගෙනුම් වැඩ අතරේ කොතරම් කාර්යබහුල වුවත් ඇයගේ අත්ගුණය විඳින වගාව පෙරලා ඇයට ගෙනෙන්නේ සතුටයි. දිනකට රුපියල් දෙතුන් සියයක එළවලු වෙළඳපොළෙන් ගන්නට වුවහොත් එය අද කාලේ පසුම්බියට කොතරම් බරක්දැයි ඔබට අමුතුවෙන් කිවයුතු නැත.

මම ළකදි තමයි ගෙවතු වගාවයි ඔබයි ෆේස්බුක් සමූහයට එකතුවුණේ. ඒකෙන් වගාව සාර්ථකව කරගන්න විවිධ අදහස් ලැබෙනවා වගේම යූ ටියුබ් එකෙනුත් වගාව ගැන විවිධ අදහස් ගන්න පුළුවන්. මම පසුගිය කාලේ හවරි මෑ වගා කළා. එය සරුවට හැදුනා. ඉතින් සමූහයටත් මම ඒ ඡායාරූප ඇතුළත් කරලා ඒ විදියට වගා කරන හැටි කියලා දුන්නා. කොළ වර්ග ගොඩක් වගේම රම්පේ, සේර, කරපිංචා, බැසිල් ආදිය මගේ ගෙවත්තේ තියෙනවා. ඒ බැසිල් පැළේ මහත්තයට දීලා තිබුණේ ඩොක්ටර් කෙනෙක්ගේ ගෙදර ටයිල් අල්ලන්න ගියපු වෙලාවකයි. බැසිල් පැළෙන් එන කරල වේළලා තමයි කස කසා ඇට ගන්නේ. එය රසවත් පානයක් විදියට හදාගන්න පුළුවන්. ඒ වගේම වගා කරද්දි අපිට තව බොහෝ දේවල් හමුවෙනවා. දෙහිවලින් ලුණුදෙහි දානවා වගේම නාරංවලින් ලුණුදෙහි දාන්න පුළුවන්. මමත් මගේ වත්තේ තියෙන නාරං ගස් දෙකෙන් බේසමක් විතර නාරං කැඩුවා. ඒ වෙලාවේ ගේ කිට්ටුව ඉන්න වයස අසූවක විතර අම්මා කෙනෙක් තමයි නාරං ලුණුදෙහි දාන හැටි කියලා දුන්නේ. ඒ වගේම මම කොරෝනා කාලේ කහ වගා කළානේ. කිලෝ තුනක විතර අස්වැන්නක් මට ලැබුණා. කඩෙන් තව කහ කිලෝ දෙකක් ගෙනැත් මම අවුරුද්දටම ඕන කරන කහ කුඩු ටික ගෙදරම හදාගත්තා.

ප්‍රියදර්ශනී කියන ආකාරයට ඇය වගාව සඳහා කෘමිනාශක භාවිතා කරන්නේ නැත. කෘමි විකර්ෂක ආදිය සාදාගන්නේද දුම්කොළ නැටි තම්බාගත් දියර ඉසීමෙන් හෝ ලූනු පොතු නිස්සාරණය මගිනි. එසේත් නැත්නම් බේකින් සෝඩා හෝ සබන් දියරවලට කොහොඹ තෙල් මිශ්‍රකර ඉසීම කරන්නීය.

මෑ කරල්වල කූඹි ප්‍රශ්නය ගොඩදෙනෙකුට තියෙනවා. ඉතින් මම එහෙම වෙලාවට ටිකක් තදින් වතුර බටය අල්ලලා කූඹින් පලවා හරිනවා. එය සාර්ථකයි. ඒ වගේම කෙසෙල් ලෙලි කපලා බෝතල්වලට දාලා වතුරත් මිශ්‍රකරලා දවස් හතරක් විතර තියලා වගා බෝගවලට යෙදුවම මල් පිපිලා ගෙඩි හටගැනීම ඉක්මන් වෙනවා. ඒ වගේම සමහර ගෙඩි වර්ග තියෙනවා ඒ කාලයටම අස්වනු නෙලන්න ඕන. මේ ළදි මගේ පාත්තියේ පිපිඤ්ඤා පලදාව මගේ ගෙදර පරිභෝජනයට අරන් මගේ නංගිටත් දුන්නට පස්සේ ඉතිරි වුණා. මේ කිට්ටුව ගෙදරක පොඩි කඩයක් තියෙනවා. එයාලා ටික වෙලාවක් ඇතුළත ඒ ටික විකුණලා මට රුපියල් හාර සීයක් දුන්නා. මම ඒ සල්ලි නොගෙන ඒ මුදලින් ගෙදරට ඕන කරන සබන් මිලට ගත්තා. ඇත්තටම කෙනෙකුට ගෙවත්තෙන් ලැබෙන වසවිස නැති එළවලුවක් වැඩිපුර තියෙනවානම් විකුණගන්නත් පුළුවන්කම තියෙනවා.

ඇය වගාවට යොදන්නේ කොම්පෝස්ට්, ඇල්බීසියා කොළ, ගොම පොහොර හා එළු පොහොරයි. ඒ සමානවම අත්ගුණයද බලපාන බව ඇය කියන්නීය. නිතර පැළයක් ගැන සොයා බැලිය යුතුය. එය විටෙක දරුවෙකු රැකබලාගන්නවා වැනි සොයාබැලීමකි. සත්කාරයකි.

මම නම් කියන්නේ ඕනම කෙනෙකුට, තවත් හිත හිතා ඉන්න එපා. ඉන්න තැන කොතැන වුණත් පුළුවන් විදියට වගා කරන්න, ඒ සතුට විින්න පමා වෙන්න එපා.

ප්‍රියදර්ශනී කියන්නා සේම සතුට සොයාගත හැක්කේ ඔබටය. ඒ ඔබේ වටපිටාවට වගාබිමක අසිරිය ලබාදීමෙනි.

 

දීපා වසන්ති එදිරිසිංහ