එදා තරඟය දිනුවට පස්සේ දසුන් මගෙන් ප්‍රශ්නයක් අහලා මැසේජ් එකක් එවලා තිබුණා
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තුන්වෙනි විස්සයි විස්ස තරඟය කලකට අමතක නොවෙන විදියේ තරඟයකි. ශ්‍රී ලංකා කණ්ඩායම එදා ලබාගත් ජයග්‍රහණයේ නියමුවා නායක දසුන් ශානකය. පන්දු 25 කදී වේගවත් ලකුණු 54 ක් නොදැවී ලබාගනිමින් ඔහු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ජයග්‍රහණයක සේයාවක් හෝ නොතිබූ මොහොතකය. ඒ නිසා මේ දිනවල ආණ්ඩුවට බැනවැදීම පසෙක තබා හැමෝම කතා කරන්නේ දසුන්ගේ මල්වෙඩි සංදර්ශනයක් බඳුවූ ඒ සුපිරි පිති හරඹය ගැනය. ඒත් ඒ කාටත් වඩා ඔහු ගැන සතුටු ඇයටය. ඒ වෙන කවුරුත් නොව දසුන් ශානකගේ ආදරණීය බිරිඳ වන චෙවන්ති පෙරේරා ය. මේ කතාබහ ඇය සමඟිනි.
*මේ දවස්වල කාගෙත් කතාව දසුන් ශානක ගැන. ඔහුගේ බිරිඳ විදිහට ඔබට මොකද හිතෙන්නේ?
මට ඔහු ගැන ලොකු සතුටක් වගේම ලොකු ආඩම්බරයක් දැනෙනවා. එදා එයා හොඳටම සෙල්ලම් කළා. මට විතරක් නෙවෙයි මුළු ලංකාවටම එදා එයා ක්‍රිකට් වීරයෙක් වුණා.
*එදා තරඟය බලන්න ඔබත් පල්ලේකැලේ ගියාද?
අම්මෝ වාසනාවකට වගේ මං එදා පල්ලෙකැලේ ගියා. ඉතින් දසුන්ගේ ඉනිම ඇස් දෙකෙන්ම දැකගන්න මට පුළුවන් වුණා. ඒක ගැන මට හරිම සතුටුයි. ඒ අවස්ථාව මට මගඇරුණා නම් ගොඩාක් දුක හිතෙන්න තිබුණා.
*එදා ශ්‍රී ලංකා කණ්ඩායම හිටියේ පරාජයක් අභියස. දසුන් පිටියට යද්දි තරඟය කණපිට හැරෙයි කියලා ඔබ නිකමට හරි හිතුවද?
ඇත්තටම ලොකු විශ්වාසයක් තිබුණේ නෑ. ඒත් නිකමට මට හිතුණා තරඟය පැරදුණත් එයා ජයග්‍රහණය පේනමානෙට හරි අරගෙන එයි කියලා. එදා එයා එකසැරයක් අවුට් වෙන්න ගියා. ඒත් වාසනාවකට බේරුණා. එතකොටනම් මට හිතුණා අද තමයි දසුන්ගේ දවස කියලා. අන්තිමේ එයා අපි හැමෝටම කාලෙකට අමතක නොවෙන සප්‍රයිස් එකක් දුන්නා.
*පිටිය මැද හිටියේ දසුන් වුණාට පන්දුවක් ගානේ පීඩනෙන් ඉන්න ඇත්තේ ඔහු දිහා බලාගෙන හිටපු ඔබ නේද?
අම්මෝ ඔව්. දසුන්ට වඩා පීඩනයකින් තමයි මං හිටියේ. එයාට එන බෝලයක් ගානේ මගේ හිත ගැස්සුණා. ඒ බෝලයක් ගානේ දසුන් මොන වගේ පහරකට යයිද කියලා හිතුණා. ඇත්තටම එදා මගේ හිතේ තිබුණු ඒ හැඟීම මට කියන්න තේරෙන්නේ නෑ.
*තරඟයේ අවසන් පන්දුවාරය වෙනකොට ඔබ දසුන් ජයග්‍රහණයකින් තරඟය අවසන් කරයි කියලා විශ්වාස කළාද?
හිතේ පොඩි තිගැස්මක් තිබුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්. මොකද මෙච්චර හොඳට බැට් කරගෙන ඇවිත් වැරදි පහරකට ගියොත් ඔක්කොම ඉවරයිනේ. හැබැයි අන්තිම බෝල් දෙක තුනට එනකොට දසුන් කොහොම හරි තරඟය ඉවර කරනවා කියලා දැනගෙන හිටියා.
*තරඟ ජයග්රහණයෙන් පස්සේ දසුන් ඔබට මුලින්ම කිව්වේ මොකක්ද?
තරඟය ඉවරවෙලා එයා මට මැසේජ් එකක් එවලා තිබුණා. ‘ඔයා මොකද හිතන්නේ මං කරපු දේ ගැන?’ කියලා. මං කිව්වා ‘මට ගොඩාක් සතුටුයි’ කියලා. ඒත් මට හිතුණා එයා ඉන්න හොටෙල් එකට ගිහින් එයාගේ මූණ බලන්න. පස්සේ මං ඒ වෙලාවෙම එයාව බලන්න ගියා. ඒ වගේ සතුටක් මං කවදාවත්ම දසුන්ගේ මූණෙන් දැකලා නෑ. පුදුම සතුටකින් එදා එයා හිටියේ. මං ගියපු එකටත් එයාට ගොඩාක් සතුටුයි.
*එදා තරඟය වෙලාවේ පිටිය මැද දසුන් හිටියේ මොන වගේ පීඩනේකද කියලත් ඔහු ඔබට කියන්න ඇති?
ඇත්තටම එහෙම දෙයක් කිව්වේ නෑ. එදා අපි කතා කළේ දිනපු එක ගැන විතරයි.
*තරඟයේ ජයග්‍රහණයත් එක්ක දසුන් තරුණියන්ගේ දැඩි ආකර්ශනයට ලක්වුණා. බිරිඳ විදිහට ඒක ඔබට දැනුණේ කොහොමද?
අවංකව මට ඊර්ෂ්යාවක්නම් දැනුණේ නෑ. පුංචි ආඩම්බරයක් දැනුණා මගේ මහත්තයා ගැනනේ මේ හැමෝම කතා කරන්නේ කියලා. මැච් එක ඉවරවෙලා එයා ප්‍රේක්ෂකයින්ට ආචාර කරද්දි, අත් අල්ලද්දි, සෙල්ෆි ගහද්දි බිරිඳ විදිහට මං ඒ දිහා බලාගෙන ගොඩාක් සතුටු වුණා. එයාට එහෙම ආකර්ශණයක් ලැබෙන එක ගැන මට සතුටුයි.
*ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන හැම තරඟයක්ම බලන්න ඔබ යනවද?
ලංකාවේ තියෙන තරඟයක් නම් ගොඩාක් වෙලාවට යනවා. ඕස්ට්‍රේලියාව එක්ක ගහපු තරඟ නම් මේ වෙනකල් හැම එකක්ම වගේ බලන්න ගියා.
*ඉදිරියේදී ලෝක කුසලානයක් එනවා. දසුන් ඒ ගැන ඔබත් එක්ක කතා කරලා නැද්ද?
දසුන්ගේ ඊළඟ ඉලක්කය ඒක තමයි. එයා නිතරම කියනවා ලෝක කුසලානය වෙනුවෙන් උපරිමයෙන් සෙල්ලම් කරන්න ඕන කියලා. මං හිතනවා එයා ලෝක කුසලානයේදී එයාගේ කණ්ඩායමත් එක්ක ලොකු පෙරළියක් කරයි කියලා.
*ඔබ හිතන විදිහට දසුන් ක්‍රීඩකයෙක් විදිහට පිටිය මැද කරන ලොකුම වරද මොකක්ද?
එයා ටිකක් කලබලයි. ඒ කලබලේ නිසාම එයා සමහර වෙලාවට අවුට් වෙනවා. හැබැයි කලබලේ මැද අවුට් වෙන්න ගිහින් බේරුණොත් ආයෙත් දසුන්ව අවුට් කරනවා කියන්නේ බොරු. එදා මැච් එකේ වුණෙත් ඒකමයි.
*දසුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ගොඩාක් නිවුණු චරිතයක්. එයා ගෙදරදිත් එහෙමද?
(සිනාසෙමින්) ක්‍රීඩකයෙක් විදිහට නිවුණු චරිතයක් වුණාට ගෙදරදි නම් ටිකක් විතර සැරයි. මොකද ක්‍රීඩකයෙක් විදිහට එයා කරන්නේ එක භූමිකාවක්. ඒත් ගෙදරදි සැමියා විදිහට කරන්නේ තව භූමිකාවක්. ඒ භූමිකාව ඇතුළේ දසුන් පොඩ්ඩක් විතර සැරයි. හැබැයි ගොඩාක් හොඳයි.
*ඔහු අඩු ලකුණුවලට දැවී ගියපු අවස්ථාවල එහෙම හැසිරෙන්නේ කොයි වගේද?
ගොඩාක් දුක් වෙනවා. මට මීට වඩා දෙයක් ඒ තරඟයේදි කරන්න තිබුණා කියලා මගෙත් එක්ක නිතරම කියනවා.
*දසුන් ඇරුණම ඔබ වත්මන් කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයින් අතරින් කැමතිම ක්‍රීඩකයා කවුද?
(සිනාසෙමින්) දසුන්ට තමයි ආසම.
*ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියන්නේ සෑහෙන කාර්යබහුල කෙනෙක්. ඉතින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විදිහට ඒක ඔබට දැනෙන්නේ කොහොමද?
සමහර වෙලාවට ලොකු පාළුවක් දැනෙනවා. ඒත් එයා රට වෙනුවෙන් නේද සෙල්ලම් කරන්නේ කියලා හිතුණම ඒ පාළුව නැතිවෙලා අහිංසක ආඩම්බරයක් හිතට එනවා.
*දසුන් ක්‍රීඩකයෙක් විදිහට ගොඩක්ම දුක්වුණු දවස මතකයිද?
ගිය අවුරුද්දේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙදි එයාගේ පාස්පෝට් එක නැතිවෙලා ඒ සංචාරයට යන්න බැරිවුණා. එයා තමයි කණ්ඩායමේ නායකයා හිටියෙත්. එදා නම් එයා සෑහෙන්නම දුක්වුණා.
*ගෙදර ඉන්න දවස්වලට එහෙම ඔහු කරන්නේ මොනවද?
එයාට ගොඩාක් වෙලාවට උදේ හවස පුහුණුවීම් තියෙනවා. ඒ අතර නිවාඩුවක් ලැබුණොත් අපි එළියට යනවා. ගෙදරම හිටියොත් පරණ මැච් එහෙම බලනවා.
*ඔහුගේ කාර්යබහුල ජීවිතයත් එක්ක සැමියෙකුගේ යුතුකම් ඔහු අතින් ඉටුවෙනවද?
සැමියෙක් විදිහට එයා සාර්ථකයි. දෙයක් කරන්න මගඇරුණොත් පස්සේ මතක් වුණාම හරි “අයියෝ මං මේක කළේ නෑනේ” කියලා ඒ වෙලාවේ හරි ඒක කරනවා. එයා වගේ කෙනෙක් ලැබෙන්න ඇත්තටම මං හරි වාසනාවන්තයි.
*බිරිඳ විදිහට ඔබ ඔහුගේ දැකපු හොඳම ගුණාංගය මොකක්ද?
දසුන් ගොඩාක් අයට උදව් කරනවා. යාළුවෙක් දෙයක් ඉල්ලුවත් දෙපාරක් හිතන්නේ නැතුව දෙනවා. එහෙම දීලා එයා ආපහු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අනික තමයි එයා ගොඩාක් ආගම දහමට ලැදියි.
*දසුන්ගේ අම්මා එහෙම පුතා ගැන ලේලිත් එක්ක මොනවද කියන්නේ?
දසුන්ගේ අම්මා හැමදාම කියන්නේ එයාගේ එකම වීරයා දසුන් කියලා. එයා දසුන්ට ගොඩාක් ආදරෙයි. අර මැච් එකෙන් පස්සේ වුණත් කිව්වේ මෙච්චර කාලෙකට දැකපු පුතාගේ හොඳම ඉනිම ඒක කියලා. එයාලටත් ගොඩාක් සතුටුයි.
*අවසාන වශයෙන් දසුන්ගේ බිරිඳ විදිහට ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ දකින්න කැමතිම හීනයක් තියෙනවද?
ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය දසුන්ගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරනවා බලන්න මං ආසයි.
රුවන් එස්.සෙනවිරත්න