විශේෂාංග

මේ වැඩේ හරිම හොඳයි ටීචර්… නැත්නම් මට කවදාවත් ගෙදරින්නම් බත් එකක් ගේන්න වෙන්නේ නෑ

හරියටම කිව්වොත් ඒ අටවැනි මාසේ අටවැනිදා. ඊට කලින් දවසේ රෑ කෑම කන අතරේ මං මහත්තයට කිව්වා, මේ දවස්වල දරුවෝ ගොඩදෙනෙක් බඩගින්නේ ඉස්කෝලේ එනවා. මං හෙට වැඩිපුර කෑම එකක් ගෙනියනවා කියලා. ඒ වගේම එහෙම කරන්න පුළුවන් තව කිහිපදෙනෙක් හරි හොයාගත්තොත් පොඩ්ඩන්ගේ බඩවල් පුරවන එක ලොකු දෙයක් නෙමෙයි කියලාත් කිව්වා. ඇත්තටම එදා ඒ ගෙනිච්ච කෑම එක කෑම නොගෙනාපු දරුවෙකුට දීලා මම මගේ හිතේ තිබුණු අදහස ගැන ලොකු සර්ට කිව්වා. එතුමාගේ අනුමැතියයි සහයෝගයයි දෙකම ලැබුණා. ඊටපස්සේ ස්ටාෆ් එකේ ගුරු මහත්ම මහත්මීනුයි, දරුවනුයි එක්කරගෙන අපි ආහාර බැංකුව හැදුවා.”

ඒ ආනමඩුව, මහඋස්වැව ශ්‍රී රතනපාල මහා විද්‍යාලයේ හය වසර ඩී පන්තිය භාර ආචාරිනී ආර්.එම්.එන්.දිල්රුක්ෂි රාජපක්ෂ මහත්මියයි.

උදෑසන පාසල් රැස්වීම අතරතුර කලන්තය දා වැටෙන දරුවන්ගේ ගණන වැඩිවීමත් සමඟ ඊට හේතු වූ කරුණු කාරණා නිසා එවන් අදහසක් ඈ තුළ ඇතිව තිබේ.

ඇත්තටම උදෑසන රැස්වීම අතරතුර දරුවෙක් දෙන්නෙක් කලන්තය දාලා වැටෙන එක සාමාන්‍ය සිද්ධියක්. ඒත් මේ මාස දෙක තුනක කාලයක පටන් ඒ ගණන විසිපහක් තිහක් දක්වා එකවර වැඩිවුණා. ඒ වගේම පන්ති කාමරය තුළ ඇදවැටෙන දරුවෝ ගණනත් වැඩියි. ඒ අයගේ මූණු දිහා බැලුවම ඇස් මළානිකයි. ඒකට හේතු හොයලා බැලුවම දැනගන්න ලැබුණා ඒ දරුවෝ පාසලට එන්නේ බඩගින්නේ කියලා. සමහර දරුවෝ රෑට කෑම කාලත් නෑ. මේ ප්‍රදේශයේ කෘෂි කාර්මාන්තය ජීවනෝපාය කරගෙන ජීවත්වෙන දෙමාපියෝ තමයි වැඩිපුර ඉන්නේ. වගේම අද පවතින ආර්ථික ගැටලු එක්ක හැමදෙනාටම අසීරු කාලයක් ගතවෙන්නේ. ඉතින් මට හිතුණා ඒ වෙනුවෙන් පුංචි දෙයක් කරන්න ඕන කියලා.”

පුංචි දෙයක් යැයි කීවත් එය දරුවන් පනහක් හැටකගේ කුසගිනි නිවන්නට හැකි ලොකු වැඩපිළිවෙලකි.

ආහාර බැංකුව හැදුනේ ඊටපස්සේ. මුලින්ම පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක් අපි පාසලේ ප්‍රධාන දොරටුව ළඟ තිබ්බා. එතැන ගනුදෙනුව සිදුවෙන්නේ තියෙන අයට ගෙනැත් තියන්නත්, නැති අයට අරගෙන යන්නත් කියන සංකල්පයෙනුයි. ඇත්තටම ගුරු භුවතුන් වගේම, අමතර කෑම පාර්සලයක් ගේන්න හැකියාව තියෙන දරුවෝ කිහිපදෙනෙකුත් මේ කාර්යයට එක්වුණා. දරුවෝ හතරදෙනෙක්නම් මේ දක්වා නොකඩවාම මේ ආහාර බැංකුවට කෑම ගේනවා. දැන් මේ ක්‍රමය අනුව මාස දෙකක් පමණ ආහාර බැංකුව ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම තමන්ට ගෙදරින් කෑම එකක් ගේන්න හැකියාව නැති ආච්චි සීයා ළඟ ඉන්න දරුවන්ට කුස පුරවගෙන අකුරු කරන්න හැකියාව ලැබීම හොඳ දෙයක්. පස්සේ අපි මේ වැඩේට ප්ලාස්ටික් කූඩයක් ගත්තා.”

දිල්රුක්ෂි ගුරුතුමිය පටන්ගත් ක්‍රියාව සේම තවත් පාසල් කිහිපයකම මෙවැනි ආහාර බැංකු ක්‍රියාත්මක වන පුවත් අපට අසන්නට ලැබුණි. එවන් සිතිවිලි පවා පහලවීම මෙවන් සමයක කොතරම් භාග්‍යයක්දැයි අමුතුවෙන් කිව යුතු නොවේ. පුංචි හිතක් නොරිදවා ආදරය දීමම උතුම් දෙයකි. මෙසේ ලැබෙන බත්පත වුව සෞඛ්‍යාරක්ෂිතව දරුවා අතට පත්විය යුතුය. ඒ වාගේම එය දරුවාගේ සිත නොරිදවා ආදරය සමඟම ලබාදීම උචිතය.

එක පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවට කෑම එකක් අරගෙන එන්න කොහෙත්ම හැකියාවක් නැහැ. ඉතින් මම ඒ දරුවට කියලා තියෙන්නේ පුතේ හැමදාම උදේට ඇවිත් ටීචර්ට ගුඩ් මෝනින් කියන්න කියලා. ඒ දරුවා එහෙම කරනවා.”

ටීචර් මට කෑම එකක් කියලා ඉල්ලනවාට වඩා උදෑසන සුබපැතුම රැගෙන එන දරුවාට උදේටත් දවාලටත් කෑම දෙකක්ම දීමට තරම් ඒ ගුරු සිත කාරුණිකය.

ඇතැම් දිනවලට ආහාර බැංකුවට ලැබෙන බත් පාර්සල් ගණන ප්‍රමාණවත් නොවන අවස්ථාද තිබේ.

එහෙම දවසක එක දරුවෙක් ප්‍රින්සිපල් සර්ත් ඉන්න තැන ඇවිත් බත් නැද්ද ටීචර් කියලා ඇහුවා. එතකොට ආහාර බැංකුවට ලැබුණු ආහාර ඉවරයි. ඉතින් මම ඒ දරුවට සල්ලි දුන්නා කැන්ටිමෙන් මොනවහරි කන්න කියලා. ලොකු සර්ත් ඒ ළමයා පසුපසින් කැන්ටිමට ගිහින් තිබුණා. එදා ඉඳන් ලොකු සර් අතේ සල්ලි නැති දරුවෝ වෙනුවෙන් ආහාර ලබාදෙන තවත් වැඩපිළිවෙලකට දායක වෙනවා.”

ඒ වැඩපිළිවෙල ක්‍රියාවේ යොදවන්නටද හේතුව දරුවන් දිවා විවේකයේදී පාසල් ආපනශාලාවට ගොස් ණයට ආහාරපාන ඉල්ලා සිටීමයි. ඒ ගැන ආනමඩුව රතනපාල මහා විද්‍යාලයේ විදුහල්පති එස්.ඒ.තිලකසිරි මහතා කීවේ මෙවන් කතාවකි.

අපේ පාසල තුළ මෙම ආහාර බැංකුව ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ එයින් සහනයක් ලබන දරුවන් රැසක් ඉන්න බව පෙනෙන්න තියෙනවා. ඒ අතරේ දරුවෝ කැන්ටිමෙන් ණයට කෑම ඉල්ලනවානම් ඒ ඉල්ලන කෑම ඔවුන්ට දෙන්න, ඒ යන මුදල පොතක සටහන් කරලා දෙන්න, මම සතිපතා ඒ මුදල් ගෙවන්නම් කියලා ආපනශාලාවේ අයට මම කිව්වා. ඇත්තටම මම ස්ටාෆ් මීටින් එකේදි වගේම ගුරු දෙගුරු රැස්වීමේදිත් දිල්රුක්ෂි ගුරුතුමිය මුල්වෙලා කළ මෙම ක්‍රියාව අගය කළා. කලාප අධ්‍යාපන කාර්යාලයත් දැනුවත් කරලා තමයි අපි මේ කටයුත්ත පටන්ගත්තේ.”

ළමුන් එක්දහස් අටසියයක් පමණ එම විදුහලේ ඉගෙනුම ලබන අතර ආචාර්ය මණ්ඩලය හැටක් පමණය. ‘ආහාර බැංකුව’ සඳහා ගුරුවරුන් ලබාදෙන මුදල් වාගේම පාසල්බිමේ දරුවන්ගේ අතින් වැටෙන රුපියල් දහය, විස්ස වුව අයිතිකරුවන් නැත්නම් යොදා ගැනෙන්නේ මේ ආහාර වැඩපිළිවෙල වෙනුවෙනි.

දරුවන්ට අපි කියලා තියෙනවා තමුන්ට අයිති නැති මුදලක් ලැබුණොත් ඒ මුදල් පාසලට බාරදෙන්න කියලා. අනන්‍යතාවය පෙන්නලා අයිතිකරුවෙක් ඉන්නවානම් ඒවා නැවත ලබාගන්න පුළුවන්. අපි මේ හැමදේම කරන්නේ උගත් බුද්ධිමත් දරුවෙක් රටට දායාද කරන්න. ඒ කරුණු හරියට සාක්ෂාත් කරගන්නනම් දරුවෙකුට පෝෂණයෙන් පිරුණු කෑමවේලක් ලබාදීම වැදගත් වෙනවා. අපේ ආහාර බැංකුව ඒ වෙනුවෙන් යම් කාර්යබාරයක් කරනවා.”

සැබෑවටම රජය මැදිහත්ව විධිමත් වැඩසටහනක් සකස්කරනාතුරු මෙවැනි වැඩසටහන් රට පුරා පාසල්වල ක්‍රියාත්මක වනවානම් එය හොඳ දෙයකි.

අපි පසුගිය දවසක ආහාර බැංකුව ගැන දරුවන්ගේ අදහස් විමසුවා. දරුවෝ තමන්ගේ අදහස කොළ කෑල්ලක ලියලා ඒ වෙනුවෙන් තියපු කාඩ්බෝඩ් පෙට්ටියට දාලා තිබුණා. හැම දරුවෙක්ම වගේ මේ ක්‍රියාව අගය කරලා තිබුණා. ඒ අතරේ එක දරුවෙක් කියලා තිබුණා මේ වැඩේ හරිම හොඳයි ටීචර්. එහෙම නැත්නම් මට කවදාවත් ගෙදරින් නම් බත් එකක් ගේන්න වෙන්නේ නෑ කියලා. ඒ අනුව මේ වැඩපිළිවෙලට තව අය උදව් වෙනවානම් ඉන් තවත් දරුවන්ගේ කුසගින්න නිවෙනවා.”

දරුවන් ඉස්කෝලේ යන්නේ අකුරු කරන්නටය. අනාගත සිහින ජයගන්නටය. එවන් සිහිනයායක් අතරමැද, දරුවන් අතරමං නොකොට ඉන් එතෙර කරන්නේ ගුරු මව්පියවරුය. විටෙක අකුරු පමණක් නොව හිත පිරෙන්නට ආදරයත්, කුස පිරෙන්නට ආහාරත් ලබාදෙමින්ම සිප්සතර කියාදෙන මෙවන් ගුරුවරුන්ගේ සිත් කොතරම් සොඳුරුද?

දීපා වසන්ති එදිරිසිංහ