විශේෂාංග

ධාතු කරඬු හදන්න ගණකාධිකාරී රස්සාවෙන් අයින්වුණා

නුගේගොඩ නාවල පැත්තේ ධාතු කරඬු හදන තරුණ ගෑනු ළමයෙක් ඉන්නවා.”

ගෙවුණු බදාදාවේ මට ඒ පණිවිඩය ලැබුණේ මිතුරෙකුගෙනි. සර්වඥන් වහන්සේ ඇතුළු ආර්යන්වහන්සේලාගේ ධාතු තැන්පත් කරන්නට කරඬු තනන ඒ යුවතිය සොයා යනතෙක් පණිවුඩය ලැබුණු මොහොතේ පටන් මට ඉස්පාසුවක් තිබුණේ නැත. එනිසා කුකුළත් අතින්ගෙන පහුවදා මා ඇගේ නිවසට යනවිටත් අපේ කතානායිකාව වන දිනූෂා දිවිතොටවෙල හරි හරියට වැඩය.

මං පුංචි කාලේ ඉඳන්ම පින් අතේ වැඩවලට කැමතියි. ඒ කැමැත්ත ඇතිවුණේ මගේ අම්මයි තාත්තයි නිසා. එයාලා තමයි පුංචි කාලේ ඉඳන්ම මාව ඒ දේවල්වලට හුරුකළේ. එයාලත් බුදුදහමට ගොඩාක් ලැදි අය. ඉතින් ඒ පසුබිමත් එක්ක තමයි කරඬු නිර්මාණය කරන වැඩේ පටන්ගත්තේ.”

කරඬුවක් විහාරස්ථානයක් වෙත පූජා කිරීම මහත්ඵල මහානිශංස ලැබෙන කුසල ක්‍රියාවකි. නිරෝගී දිවිපෙවතක් ලැබීමත්, මරණින් මතු සුගතියෙහි උපත ලැබීමත්, සැප සම්පත් ලැබීමත්, නිර්වාණාවබෝධයට පහසුවෙන් ළඟාවීමට හැකිවීමත් ඒ අතරින් කිහිපයකි. නමුත් හිතුමනාපේ කරඬුවක් තනන්නට බැරිය. ඒ ගැන බොහෝ දේ උගත යුතුය.

මුලින්ම මම කළේ කරඬුවක් අරගෙන ඒක නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා බලපු එක. ඊටපස්සේ අම්මලාගෙන් සල්ලි ඉල්ලගෙන කරඬුවක් නිර්මාණය කරන්න පටන්ගත්තා. එතකොට මට වයස අවුරුදු 24ක් විතර ඇති. ඇත්තටම මට ඒ මුල්ම කරඬුව හිතුවටත් වඩා හොඳට නිර්මාණය කරන්න ලැබුණා. පස්සේ මං ඒක ධාතු ප්‍රදර්ශනයක් වෙනුවෙන් ගලිගමුවේ ඥනදීප හාමුදුරුවෝ වැඩවාසය කරන විහාරස්ථානයට පූජා කළා.”

තම සුරතින් නිර්මාණය කළ මුල්ම කරඬුව පූජාකිරීමෙන් අනතුරුව දිනූෂාට දැනුණේ නිරාමිස සතුටකි. ඒ නිසාම ඇය දිගින් දිගටම එකී පින්වන්ත කටයුත්තේ යෙදුණු බවයි ‘ධරණී’ට කියාසිටියේ.

මං දිගටම කරඬු නිර්මාණය කළා. එහෙම නිර්මාණය කරන කරඬු ලංකාවේ ප්‍රසිද්ධ විහාරස්ථානවලට පූජා කළා. රුවන්වැලිසෑයට පවා මං කරඬුවක් පූජා කරලා තියෙනවා. කරඬුවක් පූජාකරලා ගෙදර ආවම කියාගන්න බැරි පුදුම සැහැල්ලුවක් හිතට දැනෙන්නේ.”

කරඬුවක් නිර්මාණය කරන්නට ඇයට සති එකහමාරක පමණ කාලයක් වැයවෙයි. නමුත් වෙලාවක් කලාවක් නොබලා වැඩ කළොත් දින තුන හතරකින් වුව ඒ කටයුත්ත කරන්නට හැකියාව ඇති බැව් ඇය කියන්නීය. සැබැවින්ම එය අපූරු හැකියාවකි. ඒ හැකියාවට තවත් ලොකු වටිනාකමක් එකතුවන්නේ ඇය කාන්තාවක් වීම නිසාය.

මං මට පුළුවන් හැමවෙලේම කරඬු නිර්මාණය කරලා විහාරස්ථානවලට පූජා කළා. පස්සේ පස්සේ ඒක දැනගත්තු අය මට කියලා පූජා කරන්න කරඬු නිර්මාණය කරගත්තා. මුලදී නිකන් තමයි දුන්නේ. පස්සේ මට හිතුණා නිකන්ම දුන්නම ගන්න කෙනාට ඒකෙ කිසි වටිනාකමක් නැතිවෙනවනේ කියලා. ඊටපස්සේ මං දන්න ස්වාමීන් වහන්සේලා කීපදෙනෙක්ගේ උපදෙස් අරගෙන මුදලට කරඬු නිර්මාණය කරන්න පටන්ගත්තා. ඒ වෙනකොට මං පෞද්ගලික ආයතනයක ගණකාධිකාරීවරියක් විදියට සේවය කරමිනුයි හිටියේ. අන්තිමේ එතැනින් අයින්වෙලා ‘Dinu Creations’ නමින් පොඩියට පූජා භාණ්ඩ ව්‍යාපාරයක් පටන්ගත්තා.”

ඇය කරඬුවේ කතාව කියාගෙන යද්දී මා දුටුවේ එක් පසෙක වැඩ අවසන් නොකර තිබූ චෛත්‍යයවල පළඳන කංචුකයකි. මගෙන් ඇයට ලැබුණු ඊළඟ ප්‍රශ්නය වූයේ ඒ ගැනය.

කරඬු විතරක් නෙවෙයි මං කංචුකත් නිර්මාණය කරනවා. ඒ විතරකුත් නෙවෙයි පාවඩ, වටාපත් වගේම පාත්‍ර එහෙම නිර්මාණය කරන්නත් පුළුවන්. මේ වෙනකොට මං නිර්මාණය කරපු කංචුක රුවන්වැලිසෑය, කතරගම කිරිවෙහෙර, ථූපාරාමය වගේ ඓතිහාසික අතින් ප්‍රසිද්ධ චෛත්‍යවලට පවා පළන්ඳලා තියෙනවා. මට හිතෙන්නේම එහෙම අවස්ථාවක් ලැබුණේ පහුගිය ආත්මයක කරගත්ත ලොකු පිනක් නිසා වෙන්නැති.”

කරඬුවක් කංචුකයක් නිර්මාණය කිරීම හිතන තරම් ලේසි නැත. දිනූෂා පවසන්නේ ඊට නිර්මාණාත්මක ඇහැක් මෙන්ම මනා ඉවසීමක් සංවරබවක් තිබිය යුතු බවයි.

මෙහෙම දේවල් කරන තරුණියෝ හරි අඩුයි. දන්න තරමින් නැතිම තරම්. මොකද මෙහෙම දේවල් කරන්න කාන්තා පාර්ශවයට පුංචි බයක් තියෙනවා. මටත් මුලදි එහෙම බයක් තිබුණා. පස්සේ මං ස්වාමීන් වහන්සේලා කීපදෙනෙක්ගෙන් ඒ ගැන ඇහුවා. උන්වහන්සේලා මේ වැඩේට මට අනුශාසනා කළා.   වගේම උපදෙස් දුන්නා. ඊටපස්සෙයි මං මෙහෙම නිර්මාණ කරන්න පෙළඹුණේ. හැබැයි එක දෙයක්. මං කිසිම නිර්මාණයක බුද්ධරූප සිතුවම් කරන්නේ නෑ. මොකද පුංචි පැන්සල් ඉරිකෑල්ලකින් හරි බුදුන්වහන්සේගේ රුවට හානියක් වුණොත් ඒක උන්වහන්සේට කරන අගෞරවයක්.”

රිදියෙන් සහ පිත්තලින් නිමවෙන දිනූෂාගේ කරඬුවලටත් කංචුකවලටත් දිළිසෙන පබලු එක්වූවිට වැටෙන්නේ අපූරු ආලෝකයකි. ඒ වෙනුවෙන් ඇයට නාවල ශ්‍රී දියවන්නා විහාරයේ විහාරාධිපති හිමියන්, මැහිගල සෝමරතන හිමියන්, බොරැල්ල අතුලනායක හිමියන්, සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඥාන හිමියන් මෙන්ම මොරවත්තේ සුබෝධි හිමියන්ගෙන්ද ලැබෙන මගපෙන්වීම මහමෙරකි.

කංචුක හදද්දි මං සති දෙකක් විතර පේවෙනවා. ඒ කාලේ අඩුතරමින් හාල්මැස්සෙක්වත් කන්නේ නෑ. මගේ වෙහෙස වෙනුවෙන් සාධාරණ මුදලක් ගත්තත් ගොඩාක් ලොකු ශ්‍රද්ධාවකින් තමයි හැමදේම කරන්නේ.”

මේ අපූරු කටයුත්ත ගැන ඇයට කියන්නට ඇති දෑ බොහෝය. මට අසන්නට ඇතිදෑද බොහෝය. එහෙත් පත්තර පිටුවකට ඒ කතාව ගොනුකළ හැකි ඉඩකඩ සීමිත නිසා අපේ කතාබහ අවසන් කරන්නට සිදුවිය. නමුත් කතාබහ අවසානයේදී මෙවැනි කටයුත්තක් තුළින් දිනූෂා බලාපොරොත්තු වන සංතුෂ්ටිය කවරාකාර එකක්දැයි කියා අසන්නට මට උවමනා විය. නිවුණු හඬකින් ඇය ඊට කෙටි පිළිතුරක් පමණක් දුන්නාය.

මට ඕන සසර කෙටිකරගන්න.”

ඒ ලෝකෝත්තර පැතුම එලෙසම ඉටුවේවායි පතමින් මා ඇගේ නිවසින් නික්මුණෙමි.

රුවන් එස්.සෙනවිරත්න