නවතම ප්‍රවෘත්ති

දියතලාවේ සීතල කූඩාරමක් ඇතුළේ දවස් හතක් තනියම නිදාගන්න වුණා

ලංකාවේ ප්‍රථම සිංහල ප්‍රවෘත්ති නිවේදිකාව තමයි සුමනා නෙල්ලම්පිටිය මහත්මිය. ගොඩක් අය තමන් දන්න දේ තවත් කෙනෙක්ට කියලා දෙන්න ටිකක් අදිමදි කළාට ඇය ඒ කාලේ ආධුනික නිවේදිකාවන්ට ගුරුමුෂ්ඨි නැතිව ප්‍රවෘත්ති නිවේදනය ගැන කියලා දුන්නලු.

ඒ වගේ ඉතින් දැන් ජාතික රූපවාහිනියට එන ආධුනික ප්‍රවෘත්ති නිවේදිකාවන්ට ප්‍රවෘත්ති කියන හැටි උගන්වන්නේ දිස්නා යමුනා කුමාරි. පැයෙන් පැය පුවත්වලින් ගොඩක් වෙලාවට අපේ ගෙවල්වලට එන නිසා රූපයෙන් ඇයව නොදන්න අය අඩුයි.

ඇයත් සුමනා මහත්මිය වගේම ලෝස් නැතිව තමන්ගේ දැනුම රූපවාහිනියේ ආධුනික නිවේදක නිවේදිකාවන්ට කියලා දෙනවා කියලයි දැනගන්න ලැබුණේ.

මාධ්‍ය ජීවිතේට එන්න කලින් ඇය ගුවන් හමුදා කාන්තාවක් විදියටත් රටට සේවය කරලා තියෙනවා. ඉතින් ගුවන් හමුදාවෙයි මාධ්‍ය ජීවිතෙයි අමතක නොවන තැන් ගැන කතා කරන්නත්ධරණී කවරය සොඳුරු කරන්නත් අද අපි ඇයව එකතු කරගත්තා.

මම පිළියන්දල, පොල්ගස්ඕවිට. පවුලේ එකම ළමයා. අම්මා විශ්‍රාමිකයි. මීට අවුරුදු අටකට කලින් තාත්තා අන්ත්‍රා වුණා. ඉතින් අම්මා එක්ක තමයි දැන් මම ඉන්නේ.”

පුංචි කාලෙදි අම්මා දිස්නාව ගුවන් හමුදාවේ සංදර්ශන බලන්න එක්කරගෙන යනවලු. කවදාහරි ගුවන් හමුදාවට යනවා කියන හීනය දිස්නාගේ හිතට ආවේ ඒ සංදර්ශන බැලුවහමලු.

ඒ ඇඳුමටත් මම හරි ආසයි. හය වසරේ ඉන්නකොට ගුවන් හමුදාවේ ෆොටෝ හොයාගෙන එව්වා මගෙ කාමරේ පුරාම එල්ලගත්තු හැටි අද වගේ මතකයි. ලොකුවෙලා කවදාහරි ගුවන් හමුදාවට යනවා කියලා තදින්ම හිතාගෙනයි මම හිටියේ.”

පොල්ගස්ඕවිට සිරිපති විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබාගත්තු දිස්නා උසස් පෙළ හදාරලා තියෙන්නේ කැස්බෑවේ හර්මන් මයිනර් පාසලෙන්. යුද හමුදාවට බැඳෙන හීනය හිතේ තියාගෙන හිටියට දිස්නා මාධ්‍යට යොමුවෙලා තියෙන්නේ පාසල් යන කාලෙදිමයි.

අට වසරේ ඉන්දැද්දි දවසක් ගණන් සර් මට අහම්බෙන් වගේ කුලක පාඩම කියවන්න කිව්වා. ‘ඔයාට හොඳ හඬක් තියෙනවා, ඔයා නිවේදන පැත්තට යන්න කියලා පොත කියවලා ඉවර වුණාට පස්සේ සර්  කිව්වා. රූපවාහිනියේ ළමා පුවත්වලට ඇප්ලිකේෂන් එකක් දැම්මේ ඒ නිසයි.”

දරුවෙක්ගේ මුළු අනාගතයම හදන්න ගුරුවරයෙක්ගේ පුංචි වචනයකට වුණත් පුළුවන් කියන එකත් ඇය කිව්වා.

පස්සේ උසස් පෙළ කරනකල්ම රූපවාහිනියේ ළමා පුවත් කිව්වා. උසස් පෙළින් පස්සේ හිතේ තිබුණු එකම ආසාව ගුවන් හමුදාවට යන එක. දවසක් මම ක්ලාස් එකකට ගිහිල්ලා ගෙදර එනකොට කඩේක එල්ලලා තියෙන පත්තරේක ගුවන් හමුදාවට ළමයි ගන්නවා කියලා දැන්වීමක් තියෙනවා දැක්කා. මමත් ඉතින් පැනලා පත්තරේ අරගෙන ගෙදර ගිහිල්ලා ඇප්ලිකේෂන් එක පුරවලා පෝස්ට් කළා. ගෙදර එකම දරුවා නිසා මම එයාෆෝස් එකට යනවට අම්මා කැමති වුණේ නැහැ. ඒත් මම කොහොමහරි අම්මව කැමති කරගත්තා.”

නර්තන, සංගීත, ලිපිකරු වගේ අංශවලට තමයි ආධුනිකයන් අරගෙන තියෙන්නේ. ගුවන් හමුදාවට යන්න තිබුණු දැඩි ආශාව නිසාම ඇය නර්තන අංශයෙන් අයැදුම් කළාලු.

මම සාමාන්‍ය පෙළට නර්තනය කළා. ඒ නිසා ගැටලුවක් වුණේ නැහැ. ඊටපස්සේ සම්මුඛ පරීක්ෂණ තුනක් තියලා අපිව බඳවාගත්තා. අංශය මොකක්ද කියලා නැහැ ගුවන් හමුදාවේ හැමෝටම දෙන්නේ යුද පුහුණුව. දියතලාවේ මාස හයක් පුහුණුවීම් කළා.

පුහුණුවීම්වලදි හැමෝටම තුවක්කුවක් දෙනවා. ඒක කිලෝ පහක් විතර බරයි. අනික අපි පිටේ එල්ලගෙන ඉන්න බෑග් එකත් කිලෝ පහකට වඩා බරයි. ඔය හැමදේමත් උස්සගෙන යුද පුහුණු කරන එක ගෑනු ළමයෙක්ට ලේසි නැහැ.”

ලස්සනට, සුදුවට හිටපු දිස්නා ට්‍රේනින් එක කාලෙදි කෙට්ටු වෙලා කළු වුණාලු. ත්‍රිවිධ හමුදාවලට නැත්නම් පොලිසියට බැඳෙන හැම ගෑනු ළමයෙක්ම එව්වට බැඳෙන්නෙම ඒ කැපකිරීම කරන්න සූදානමෙන් බවත් ඇය කිව්වා.

අපේ අවසාන පුහුණුව තිබුණේ මහියංගණේ ලොක්ගල්ඔය කැලේ. උයාගෙන පිහාගෙන කාලා, කැලේ ඇතුළෙදි යුද්ධෙට මූණදෙන හැටි පුරුදු කළා. ඒ අත්දැකීම මාරයි. දියතලාවෙදිත් දවසක් මට හොඳ වැඩක් වුණා. දවසක් මම ට්‍රේනින් එකට යන්නේ නැතිව සික් රිපෝර්ට් එකක් දාලා කට්ටි පනින්න හැදුවා. හැබැයි ඉතින් මම බොරුවක් කරන්නේ කියලා මගේ කෝච්ට අහුවුණා. ඊටපස්සේ දඬුවම විදියට දියතලාවේ සීතලේ කූඩාරමක් ඇතුළේ දවස් හතක් තනියම නිදාගන්න වුණා. අද කල්පනා කරනකොට ඒවා හරි සුන්දරයි.”

නර්තන ශිල්පිනියක් විදියට රාජ්‍ය උත්සව, ත්‍රිවිධ හමුදාවේ උත්සව සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් පවත්වන උත්සව වෙනුවෙන් ඔවුන් නර්තන අංග ඉදිරිපත් කළාලු.

අපි බටහිර, දේශීය ඔය හැම නැටුමක්ම නැටුවා. පාකිස්තානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ඇවිත් ඉන්න වෙලාවක අපි තේ දළු නෙළන කාන්තාවන් වගේ නර්තනයක් ඉදිරිපත් කළා. ටික වෙලාවකට පස්සේ ඒ කාලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ ළඟට ඇවිල්ලා ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා අපේ නැටුම නියමයි කිව්වායි කියලා අපිත් එක්ක කිව්වා. මහින්ද මහත්තයා ගොඩක් වෙලාවට අපේ ළඟට ඇවිල්ලා ඒ විදියට අපිව අගය කරලා තියෙනවා.”

නර්තන කටයුතුවලට අමතරව රාජකාරි කටයුතුවලට සහභාගිවීමත් ඔවුන්ට අනිවාර්යයිලු.

මම ගුවන් හමුදාවට බැඳුනේ 2004දි. මම සේවය කළේ කටුනායක. යුද්දේ කාලේ වැඩිය නර්තන ප්‍රසංග තිබුණෙත් නැහැ. ඒ නිසා රාජකාරි වැඩ වැඩියෙන් වැටුණා. සැකසහිත ගෙවල් පරීක්ෂා කිරීම, වැටලීම වගේ රාජකාරි තමයි අපිට තිබුණේ. එහෙම වැටලීම්වලදි නීතිවිරෝධී දේවල් හමුවෙලත් තියෙනවා.”

දිස්නාට හොඳ හඬක් තියෙන බව ගුවන් හමුදාවේ අයත් දන්නවලු. ඉතින් ඒ කාලේ ගුවන් හමුදාවේ තියෙන උත්සවවල නිවේදන කටයුතු කළෙත් ඇයලු.

ඒ කාලේ විතරක් නෙමෙයි අදටත් ගුවන් හමුදාවේ ළමා දිනයක්, කාන්තා දිනයක් තිබ්බොත් නිවේදන වැඩවලට කතා කරන්නේ මට. මාත් හරි ආසාවෙන් ඒවට යනවා.

කැමති නම් ත්‍රිවිධ හමුදාවල ඉන්න අයට අවුරුදු 5කින් සේවයෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා හිටපු ජනාධිපතිනියක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නීතියක් හදලා තිබුණා. ඉතින් ගුවන් හමුදාවේ අවුරුදු 5ක් සේවය කරලා මම ඉවත් වුණා.”

ඇය ජාතික රූපවාහිනියත් එක්ක ආයෙත් අත්වැල් බැඳගෙන තියෙන්නේ ඊටපස්සේ.

“2010 ඉඳලා අවුරුදු 12ක් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට වැඩ කරනවා. ඒ වගේම පුහුණු උපදේශකවරියක් විදියටත් කටයුතු කරනවා.

මාධ්‍ය ජීවිතේ අමතක නොවෙන තැන් බොහොමයි. අදටත් නිව්ස් කියන්න යන හැම දවසකම මුල් නිව්ස් එක කියනකල් හිතේ පොඩි ගැස්මක් තියෙනවා. දෙවැනි තුන්වැනි නිව්ස් කියද්දි ඒක හරියනවා.

දවසක් නිව්ස් එක කිය කියා ඉද්දි පුවත් පිටපත බිමට වැටුණා. රූපරාමුවක් දානකල් ඉඳලා ටක්ගාලා නැගිටලා ගිහිල්ලා ඒක ඇහිඳගත්තා. ඒ වෙලේ මම ටිකක් කලබල වුණා. ඒ වගේම තමයි ඡන්ද ප්‍රතිඵල කියද්දිත් හිතට ටිකක් බයයි. එකපාර ප්‍රතිඵල එනකොට කියන්න අමරුයි. ඡන්ද ප්‍රතිඵල කියන්න ගිය මුල්ම පාර මගේ කටින් වචන ආවේ නැහැ. එතකොට මාත් එක්ක හිටපු චමින්ද ගුණරත්න අයියා මගේ ප්‍රතිඵලයත් කියවලා මට උදව් වුණා.”

ඔය විදියට බොහෝදෙනාගේ සහාය තිබුණත් මාධ්‍ය ලෝකය කියන්නෙ කැපිලි කෙටිලි ටිකක් වැඩි තැනක් කියලත් දිස්නා කිව්වා.

තරඟකාරීබව වැඩි නිසාදෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ටිකක් වැඩියි. ගුවන් හමුදා වෘත්තියෙදි මට ලොකුවට එහෙම අභියෝග තිබුණේ නැහැ. මොකද එතැන ඉන්න හැමෝම හරි එකමුතුයි. හැබැයි මාධ්‍ය ක්ෂේත්‍රයේදී මුහුණදෙන්න වුණ හිත්රිදීම්, බාධාකිරීම් වැඩියි. හැබැයි ඒ දේවල් දරාගන්න තරම් මම ශක්තිමත් වුණා.

මාධ්‍ය ක්ෂේත්‍රය කියන්නේ ගෑනු ළමයෙක්ට හොඳ තැනක් නෙමෙයි කියලා සමහරු කියනවනේ. හැබැයි තමන්ගේ ගෞරවය තමන්ගේ වටිනාකම් තියාගෙන ඉන්න දන්නවා නම් කිසිම ක්ෂේත්‍රයක් ගෑනියෙක්ට අභියෝගයක් නෙමෙයි කියන එකයි මගේ අදහස.”

තව කෙනෙක්ගේ කකුලෙන් අදින්නේ නැතුව තමන් දන්න දෙයක් කියලා දීලා අනිත් මිනිස්සුන්ට උදව් කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැයි කියලත් දිස්නා කිව්වා. අපේ තරුණ ගැහැනු දරුවන් වෙනුවෙනුත් අවසාන වශයෙන් ඇය කිව්වේ මෙහෙම කතාවක්.

ගුවන් හමුදාවෙදි ගත්තු පුහුණුව නිසා අදටත් මම කිසිම හිත්රිදීමකදී කඩාගෙන වැටෙන්නේ නැහැ. ඕනම දෙයක් තනියම කරගන්න හිතේ හයිය තියෙනවා. ගහකට නැගලා ගෙඩියක් කඩන්න, ඉලෙක්ට්‍රොනික් උපකරණයක් කැඩුණොත් හදන්න, වත්ත තනියම සුද්ද කරන්න එහෙම මට පුළුවන්. හැබැයි ඒවා ඉගෙනගන්න හමුදාවටම යන්නම ඕනේ නැහැ.

පිරිමි ළමයි කුස්සියේ වැඩ පුරුදු වෙන්න ඕන කියලා දැන් සමාජයේ කතාබහක් තියෙනවා. ඒක හරියටම හරි. හැබැයි ඒ වගේම තමයි පිරිමි කරන වැඩ කරන්න ගෑනු දරුවොත් ඉගෙනගන්න ඕනේ. බොළඳකම, ලාලිත්‍ය ඔය දේවලුත් තියාගෙන අර වැඩ ටිකත් ඉගෙනගත්තොත් ඒ වටිනාකම් කවදාවත් අහක යන්නේ නැහැ කියන එක අත්දැකීමෙන්මයි මම කියන්නේ.”

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප සමන් අබේසිරිවර්ධන

හැඩගැන්වීම සහ පසුතලයAVRA Saloon (තුෂාරි ද සිල්වා) තිඹිරිගස්යාය