මත්වෙන්න හිතාගෙන සිරීපාදේ යන අයට ස්ටුවර්ට්ගෙන් බාධා
‘‘ගෝල්ඩන් රිට්රීවර් වර්ගයේ සුරතලෙක් වුණත් ස්ටුවර්ට් කියන්නේ විශේෂ කෙනෙක්. ඒ පොලිසියේ රාජකාරි කරන නිසා. හැබැයි ඉතින් කොච්චර ලොකු රාජකාරියක් කළත් මෙයා සෙල්ලම් කරන්න හරිම ආසයි. මං උදේ වැඩට එනකම් කැනල් එකේ ගේට්ටුව ළඟට වෙලා බලන් ඉන්නවා. නිකම්ම නෙවේ, සෙරෙප්පුවකුත් කටේ තියාගෙන. මගේ බයික් එක පොලිසිය කිට්ටුවට එනකොට එයාට දැනෙනවා. ඉතින් ඒ ආව ගමන් මං සෙල්ලම් කරලා තමයි වැඩ පටන්ගන්න ඕන. ඒ විතරක් නෙවේ, රාජකාරියක් ඉවර වුණාට පස්සෙත් එයා ආසම සෙල්ලම් බඩුව දීලා එයත් එක්ක එතැනදිම පොඩ්ඩක් සෙල්ලම් කරන්නම ඕන. රාජකාරියක් ඉවර කළාට පස්සෙ එයා බලාපොරොත්තුවෙන ක්‍රෙඩිට් එක තමයි ඒ…’’
පොලිස් කොස්තාපල් ලලිත් කුමාර රත්නායක (77334) විස්තර කරන මේ ස්ටුවර්ට් රාජකාරි කරන්නේ හැටන් කොට්ඨාශයේ පොලිස් නිල සුනඛ ඒකකයේය. ස්ටුවර්ට්ගේ හසුරුවන්නා ලෙස කටයුතු කරන්නේ ඔහුයි. කොස්තාපල් රත්නායකට නිල වශයෙන් ස්ටුවර්ට් ලැබී ඇත්තේ කටුනායක ගුවන්තොට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරි කරන සමයේය. 2008 වසරේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ රත්නායක වසර අටක් කොළඹ වංචා විමර්ශන ඒකකයේ රාජකාරි කළේය. අනතුරුව 2017 වසරේ හැටන්හි කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයට ස්ථාන මාරුවක් ලැබුවේය. එහිද ඔහුට රාජකාරී කරන්නට ලැබුණේ මත්ද්‍රව්‍ය ඇල්ලීමේ කටයුතුවලය. පොලිස් නිල සුනඛ හසුරුවන්නෙකු වීමේ ආසාවක් ඔහුගේ සිතේ ඉපැදෙන්නේ ඒ කාලයේය.
‘‘එහෙදී අපේ කණ්ඩායමත් එක්ක මත්ද්‍රව්‍ය රාජකාරිවලට පොලිස් නිල සුනඛයෙකුත් ගියා. ඒ තමයි ‘කෝරා’. එයා ගිහින් රාජකාරි කරන හැටි දැක්කම මටත් පොලිස් නිල සුනඛ හසුරුවන්නෙක් වෙන්න ආස හිතුණා. මං පොඩි කාලේ ඉඳලා බල්ලන්ට ආදරේ වීමත් ඒකට එක හේතුවක් වුණා. ඒ නිසා 2018 අවුරුද්දේ අස්ගිරියෙ නිල සුනඛ කොට්ඨාසයට ඉල්ලුම්පතක් දාලා මත්ද්‍රව්‍ය සෙවීමේ රාජකාරී පිළිබඳව ‘ස්කොට්’ එක්ක මාස තුනක පුහුණුවක් ලැබුවා. ඒ පුහුණුව ඉවරවෙලා ස්කොට් එක්කම කටුනායක ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය රාජකාරී සඳහා ආවා.’’
පොලිස් කොස්තාපල් රත්නායක එහි එනවිට එතැන මත්ද්‍රව්‍ය රාජකාරියේ යෙදුණු තවත් පොලිස් නිල සුනඛයෙකු සිටියේය. ඒ ‘ස්ටුවර්ට්’ ය. එකල ස්ටුවර්ට්ගේ නිල සුනඛ හසුරුවන්නා ලෙස කටයුතු කළේ පොලිස් කොස්තාපල් ප්‍රේමකුමාර (63387)ය. ඉතාමත් ප්‍රියමනාප සුනඛයෙකු වූ ස්ටුවර්ට් ප්‍රේම කුමාර සමඟ මෙන්ම එහි සිටි අනෙකුත් සුනඛ හසුරුවන්නන් සමඟද බොහෝ මිත්‍ර වූයේය. ඒ නිසා බොහෝ වෙලාවට ස්ටුවර්ට්ට කෑම බීම දෙන වැඩකටයුතු පොලිස් කොස්තාපල් රත්නායක අතින්ද සිදුවුණේය.
‘‘ස්ටුවර්ට් ඉපදිලා තියෙන්නෙ 2016 අගෝස්තු විසිපස්වැනිදා. එයා නිල සුනඛ කොට්ඨාසයට ලැබිලා තියෙන්නේ පරිත්‍යාගශීලියෙක්ගෙන්. අංක 1318 යටතේ ලියාපදිංචි වෙලා තමයි ස්ටුවර්ට් කොස්තාපල් ප්‍රේමකුමාර සමඟ මත්ද්‍රව්‍ය සම්බන්ධ පුහුණුව ලබලා තියෙන්නේ. ඉන්පස්සෙ එයා මුලින්ම රාජකාරියට ගිහින් තියෙන්නේ 2017 දෙසැම්බර් 13 වැනිදා. ඒ කටුනායක ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය රාජකාරිවලට. ඒ රාජකාරි කරමින් ඉන්නකොට තමයි මට ස්ටුවර්ට් ලැබෙන්නේ. ඊටපස්සෙ එතැන මාස හයක් හයක් විතර වැඩ කරගෙන ඉන්නැද්දි තමයි මට ස්ටුවර්ට් එක්ක හැටන් පොලිසියට එන්න වෙන්නේ. එතකොට මෙහෙ හිටපු මත්ද්‍රව්‍ය රාජකාරි කරපු සුනඛයා කටුනායක ගියා.’’
මේ දෙදෙනා හැටන්වලට එන්නේ සිරිපා සමයේ වුවත්, ඒ කොරෝනා සමයයි. ඒ නිසා එළියේ රාජකාරිවලට යෑම සීමාවුණේය. ස්ටුවර්ට්ට හරියට රාජකාරි කරන්නට ලැබුණේ ගිය වසරේ දෙසැම්බරයේ සිටය. ඒ හැටන් ප්‍රදේශය හරහා බොහෝ සෙනග එහා මෙහා යන සිරිපා සමය ආරම්භ වූ මාසයයි.
‘‘සිරීපාදේ සහ නුවරඑළියෙ යන බස් ගිනිගත්හේන පොලිස් වසමෙ දියගල නවත්තනවා. ඊටපස්සෙ බස්වල අය බැස්සම පොලිස් කණ්ඩායම් ඒ අයව පරික්ෂාවට ලක් කරනවා. බෑග් තියලා මිනිස්සු බැහැලා ගිය බස් එකට මං ස්ටුවර්ට් එක්ක ගොඩවෙනවා. එතැන ඉඳලා බස් එකේ හැම අසුනක්ම, හැම බෑග් එකක්ම ස්ටුවර්ට්ගේ තියුණු පරික්ෂාවට ලක් වෙනවා. බැරිවෙලාවත් බෑග් එකක මත්ද්‍රව්‍ය තිබ්බොත් හෙම ස්ටුවර්ට් එතැන කටින් අදිනවා. සීට් එකක හංගලා තිබ්බොත් එතැන අත් දෙකෙන් පහුරු ගානවා. මත්ද්‍රව්‍ය ඇති බවට ස්ටුවර්ට් අපිට සංඥාවක් දෙන්න හුරුවෙලා ඉන්නෙ එහෙමයි. එයාව මිනිස්සු ළඟ තියෙන මත්ද්‍රව්‍ය හොයන රාජකාරියට නොගන්නේ මත්ද්‍රව්‍ය ගැන ඉව වැටුණ ගමන් කටින් හපලා අදින නිසා. ඒකෙන් තුවාල සිදුවීමේ ඉඩ වැඩියි.’’
ඊට අමතරව වෙනත් පොලිස් රාජකාරිවලද මත්ද්‍රව්‍ය මෙහෙයුම් රාජකාරි සඳහාත් ස්ටුවර්ට් සම්බන්ධ කරගනු ලබයි. එසේ හැටන් පොලිස් කොට්ඨාසයට පැමිණි පසු ස්ටුවර්ට් රාජකාරි 138ක යොදවා ඇති අතර එයින් රාජකාරි 121 සාර්ථකව නිම කර ඇත්තේය.
‘‘එයාටම කියලා රබර් බටයකින් සෙල්ලම් බඩුවක් හදලා දීලා තියෙනවා. සියලු සෙල්ලම් බඩුවලින් ස්ටුවර්ට් වැඩිපුරම කැමති ඒකට. එයාට රාජකාරියක් අවසානයේ සෙල්ලම් කරන්න ඕන ඒකත් එක්ක තමයි. ඒ වගේමයි, රාජකාරියක් කරන්න යනකොට ඒ වගකීම ඇඟට වගේම හිතටත් දැනෙන විදිහටයි කරන්නේ. එයාට රාජකාරියකට යනකොට තමයි හානස් එක අන්දවන්නේ. එක රාජකාරියක් නිමවා ඊළඟ එකට කාලෙ තියෙනවා නම් හානස් එක අයින් කරනවා. ආයෙත් රාජකාරිය පටන් ගන්නකොට දානවා. සාමාන්‍යයෙන් දවසකට බස් දහයක් පහළොවක් ස්ටුවර්ට් පරික්ෂා කරනවා. හවස ආයෙ ගිනිගත්හේනෙ ඉඳලා හැටන් පොලිසියට එනවා. උදේට කිරියි, පානුයි කාලා රාජකාරියට ගිහින් ආවට පස්සෙ හතට විතර බතුයි, මසුයි එක්ක රෑට කෑම වේලක් දෙනවා. ඊටපස්සෙ එයාව කූඩුවට දානවා. එහෙම දාද්දි එයා ටිකක් කෑගහනවා මම එයාව දාලා යනවට. හැබැයි දැන් එයා දන්නවා කූඩුවට කරලා ගෙදර යන ඇඳුම ඇඳලා බෑග් එක කරේ දාගෙන ගිහින් කතා කරද්දී මං යන්න හදන්නෙ කියලා.’’
ඉන්පසු නැවත ස්ටුවර්ට් උදේ නැගිට කොස්තාපල් රත්නායක එනතුරු බලා සිටියි. ඒ ආවාට පසු ටිකක් හෝ සෙල්ලම් කිරීමද කළ යුතු වන්නේය.
‘‘ඒ ඔක්කොම හරි මං නිවාඩු යද්දි බලාන ඉන්න බැල්ම මතක් වෙද්දි හරිම දුක හිතෙනවා. ඒ ගිහින් දවස් දෙකක් තුනක් ඉඳලා එද්දි පුදුම පිළිගැනීමක්, ආදරයක් දක්වන්නේ. කරේ නැගලා, කකුල් දෙකෙන් හිටගෙන අමුතු සෙල්ලම් දානවා. ඉඹිනවා, ලෙවකනවා. ඒක හින්දා නිවාඩු ගිහින් ඇතුළට යද්දි පරණ ඇඳුමක් අඳින්නම ඕන. නැත්තම් ඇඳුම ඉවරයි.’’
එසේම නිවාඩුවට ගෙදර ගියද ඔහුටත් ස්ටුවර්ට් අමතක කර සිටින්නට බැරි බැඳීමක් ඇත්තේය. ඔහු දිනකට වරක් දෙකක් නිල සුනඛ ඒකකයට කතා කර ස්ටුවර්ට්ගේ තොරතුරු අසන්නේ ඒ ආදරණීය බැඳීම නිසාය.
බියංකා නානායක්කාර