නිර්වින්දන දොස්තර මහත්තයෝ ඉන්න තැනකින් හනිකට වඩින්න
අලි බැලිල්ලයි බලි ඇරිල්ලයි දෙකම ලෙහෙසි නැත. පොඩ්ඩ එහා මෙහා වුණොත් සියලු වැඩ වරදී. බලි ඇරිල්ල කෙසේ වෙතත් අලි බැලිල්ලේ අනතුරුදායක බව ගැනනම් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. පෙරහරේ යන අලි ඇතුන් කියා එහි වෙනසක් නොවේ. ජැන්ඩි පහට ඇඳ සිටියාට ඇතැම් අවස්ථාවල මහා කලබල ඇති කරන්නට ඒ අයට පුංචි දේකුත් ඇත.
වරක් කොළඹ පැවති රාත්‍රී පෙරහරක අලි ඇතුන් නිර්වින්දනය කිරීමේ වගකීම මහාචාර්ය අශෝක දංගොල්ල වෙත පැවරිණි. පෙරහර ආරම්භ වී අඩපැයක් විතර ගෙවී යද්දී වයස අවුරුදු දහයක පමණ අලි කොල්ලෙකුට හිතුවක්කාරකමක් කරන්නට සිත් විය. ඇත්ගොව්වාගේ උපදෙස් කනකට නොගත් අලියා දැන් ඔබ මොබ දුවන්නේය. මහාචාර්ය දංගොල්ල වහාම එතැනට ගොස් සිද්ධිය සමනය කළේය. නමුත් මෙය වැරදි පූර්වාදර්ශයක් බව මහාචාර්යවරයාට වැටහිණ. මන්ද ඒ සිද්ධියෙන් ආදර්ශ ගෙන පෙරහරේ සිටින වැඩිමහල් අලි කුලප්පු වීමට යන බවක් පෙනෙන්නට තිබුණේය. පෙරහරේ ප්‍රධාන සංවිධායක ස්වාමීන් වහන්සේට මහාචාර්යවරයා මේ බව පැවසීය. නමුත් උන්වහන්සේගේ ස්ථාවරය වූයේ එය එතරම් ගණන් නොගත යුතු කාරණාවක් බවයි. එනිසා නිශ්ශබ්ද වන ලෙසට මහාචාර්යවරයාට උපදෙස් ලැබිණ.
කෝකටත් කියා මහාචාර්ය වාහනයට නැගි දංගොල්ල සුපරීක්ෂාකාරීව සිටියේය. ඊට හේතුව වනයකදී නම් තරුණ පිරිමි සතෙකු කුලප්පු වූ විට හෝ මද කිපෙන විට වයසින් වැඩි අලි කලබල වන බව ඔහු අත්දැකීමෙන් දන්නා නිසාය. පැය බාගයක් පමණ ගතවිය. වයස අවුරුදු විස්සක පමණ තරුණ අලියෙක්ද ඇත්ගොව්වාට අකීකරුව නැටුම් කණ්ඩායමක් සමඟ හබයක පැටලුණේය. නැවතත් පෙරහරට අවහිර ඇතිවිය. මහාචාර්ය දංගොල්ලගේ මැදිහත්වීමෙන් එයද පාලනය කෙරිණ. පෙරහර යළි ගමන් ඇරඹීමෙන් පසු මහාචාර්යවරයා නැවත ස්වාමින් වහන්සේ හමුවට ගියේය. මෙම අලියා පෙරහරින් ඉවත් කළ යුතු බව හෙතෙම දැනුම් දුන්නේය. එසේ නොකළ යුතු බව තවදුරටත් උන්වහන්සේගේ ස්ථාවරය විය. එනිසා නිශ්ශබ්දව ආහාර අනුභව කරන්නැයි උන්වහන්සේ මහාචාර්යවරයාට දැනුම් දුන්නේය. රාත්‍රී ආහාරය ගත් මහාචාර්යවරයා යළි රාජකාරි වාහනයට ගොඩ වූයේය.
ඉන් පැයකට පමණ පසු සිදුවූයේ කිසිවකු අපේක්ෂා නොකළ දෙයකි. ඉතා සැර වයසින් මුහුකුරා ගිය අලියෙක් පෙරහැර උඩු යටිකුරු කළේය. හෙතෙම මීට පෙර ඇත්ගොව්වන් කිහිපදෙනෙකු මරා දැමූවෙකි. එම අලියා පෙරහැරේ විරුද්ධ දිශාවට දිවීමට පටන්ගත්තේය. මෙම සිදුවීම දුටු ප්‍රධාන සංවිධායක හිමියෝ එම ස්ථානයට වැඩම කර උස් හඬින් කෑ ගැසූහ.
“නිර්වින්දන දොස්තර මහත්තයෝ ඔබතුමා කොහෙද? කවුරුහරි එතුමාට ඉක්මනට මෙතැනට එන්න කියන්න.”
පොලිසියේ දැනුවත් කිරීම අනුව මහාචාර්ය දංගොල්ල වහාම එම ස්ථානයට පැමිණියේය. එහිදී ස්වාමින් වහන්සේ ඔහුට දැනුම් දුන්නේ හැකි ඉක්මනින් ප්‍රකෝපකාරී අලියා සිහි මුර්ජා කරන ලෙසයි. එම උපදෙස් අනුව මහාචාර්යවරයා වහාම ඊට අදාළ පියවර ගත්තේය. ඒ වනවිට පෙරහර මාර්ගය යුද පිටියක් පරිදිය. නරඹන්නෝ හිස් ලූ ලූ අත දිව ගියහ. පෙරහර නැවතී ඇත. පෙරහර නැරඹීමට පැමිණි විදේශිකයෝ බියෙන් මුසපත්ව එහෙ මෙහෙ දිව්වෝය. සිහිසුන් වූ අලියා පාර හරහා ඇද වැටී සිටියේය. මහාචාර්ය අශෝක දංගොල්ල වහාම චණ්ඩියාට සේලයින් ලබාදීම ඇරඹීය. පොලිසියේ උදව් ඇතිව ජලයද ඉසීය. පැය හතරක පමණ කාලයක් අලියා සිහිනැතිව සිටියේය. ඔහු නැවත ප්‍රකෘති තත්ත්වයට පත්ව නැගී සිටින විට පාන්දර 3 පමණ විය. අලියා විකුණා දැමීමට හිමිකරු එම ස්ථානයේදීම තීරණය කර තිබිණ. මහාචාර්ය දංගොල්ල එය දැනගත්තේ ඉන් වසරකට පමණ පසුය. ඒ නව හිමිකරු යටතේ සිටියදීත් මෙම දඩබ්බරයා ඇත්ගොව්වාගේ අණ ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදීය. එවරද අලියා සිහි මුර්ජා කර අල්ලා ගැනීමට සිදුවූයේ මහාචාර්ය අශෝක දංගොල්ලටයි.
තොරතුරු – මහාචාර්ය අශෝක දංගොල්ල (පේරාදෙණිය විශ්ව විද්‍යාලය)
රෂ්නිකා ලියනගේ