විශේෂාංග

ගෙදරට නොදන්වා වැකේෂන් ගිය අලියාට ‘සෝඩා’ සංග්‍රහයක්

අලි කුලප්පු වීමට වෙලාවක් කලාවක් නැත. එනිසාම කුලප්පු වූ අලි මෙල්ල කිරීම ද එසේමය. ඕනෑම වේලාවක එවැනි අවස්ථා එළැඹීමට ඉඩ තිබේ. මහාචාර්ය අශෝක දංගොල්ලට ඒවා හොඳින් පුරුදුය. දවසේ ඕනෑම වේලාවක එවැනි ඉල්ලීම් ඔහුට පැමිණෙයි. දිනක් සවස තුනට පමණ මහාචාර්ය දංගොල්ලට එවැනි කටයුත්තකට අදාළව ඇමතුමක් ලැබිණ. ඒ, අකුරැස්සෙනි. කතා කළේ පෞද්ගලික අලි හිමියෙකි. ඔහුට අයත් අලියා ඇත්ගොව්වාගේ ග්‍රහණයෙන් මිදී පලා ගොස් ඇත. එය සිදුව ඇත්තේ අකුරැස්සේදීයි. අලියා නැවතී සිටීමට තෝරාගෙන ඇත්තේ තේ වත්තකි.

තේ වත්ත අලියාට හොඳට හිතට අල්ලා ඇත. මහාචාර්ය දංගොල්ල සිදුවීම දැනගන්නා විට අලියා තේ වත්තේ පදිංචිව දින තුනකි. අලියාට නිවාඩුව හොඳය. එහෙත් ලයින් කාමරවල ජීවත් වන කිසිවකුට දින තුනක් පුරා හරිහැටි නින්දක් නැත. ඒ, අලියා කොයි වෙලේ කුමන අඩව්වක් අල්ලාවිදැයි ඇති සැකය හේතුවෙනි. ඔවුන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අලියාගේ ආගමනය හේතු විය. මෙම නොසන්සුන්තාව හැකි ඉක්මනින් අවසන් කිරීම අලි හිමියාගේ අපේක්ෂාවයි. එනිසා කඩිනමින් අලියා සිහි නැති කර අල්ලා දෙන්නැයි ඔහු මහාචාර්ය දංගොල්ලගෙන් ඉල්ලීය.

පණිවිඩය ලද වේලාව අනුව මෙම කටයුත්ත රාත්‍රියේදී කිරීමට සිදුවීම ගැටලුකාරීය. එහෙත් සවස හතරට පමණ මහාචාර්ය දංගොල්ල නුවරින් අකුරැස්ස බලා පිටත් විය. ඔහු සිද්ධියට අදාළ තේ වත්තට ළඟා වන විට මධ්‍යම රාත්‍රියට ආසන්නය.

රාත්‍රී මෙහෙයුම ඇරඹීමට සියල්ල සූදානම්ය. කළුවරේම මහාචාර්යවරයා කලබලය ඇති කළ අලියා ද දැක ගත්තේය. කඩිනමින් ඔහු සිහි නැති කිරීමට පියවර ගත යුතුය. ඒ අනුව මහාචාර්ය දංගොල්ල බෙහෙත් සහ තුවක්කුව සූදානම් කළේය. අලි හිමිකරු ද එතැනයි. ඔහු පැමිණි පිරිසට සංග්‍රහ කරමින් සිටියේය. මේ සියල්ල අතර මහාචාර්ය දංගොල්ල නිර්වින්දන ඖෂධ සිරින්ජරයට දැමීය. අවට සියල්ලෝ බලාපොරොත්තු සහගතව සිටිති. එහෙත් යම් ගැටලුවකි.  මහාචාර්යවරයා සිරින්ජරය පිරවීමට අවශ්‍ය සේලයින් ගෙනගොස් නැත. මේ මධ්‍යම රාත්‍රියේ සේලයින් කොහෙන් සොයන්නද? මහාචාර්ය දංගොල්ල විකල්පයක් පිළිබඳ කල්පනා කළේය. නිර්වින්දන ඖෂධයට අමතරව එතැන තිබූ එකම දියරය අලි හිමියා විසින් පිරිසට සංග්‍රහ කිරීමට ගෙන එනු ලැබූ සෝඩා පමණකි. වෙලාව අපතේ යැවිය නොහැකිය.  මහාචාර්ය දංගොල්ල ඖෂධ සමඟ සෝඩා දමා සිරින්ජරය පිරවීමට තීරණය කළේය. අනතුරුව වහාම අලියාට බෙහෙත විද්දේය.  වාසනාවකි. අලියා එම ස්ථානයේම බිම ඇද වැටුණි. අලියාගේ පා බැඳ දැමීමට ඇත්ගොව්වෝ කටයුතු කළහ. පසුව අලියා ප්‍රකෘති තත්ත්වයට ගැනීමට අවශ්‍ය ඖෂධ එන්නත් කිරීමට මහාචාර්ය දංගොල්ල වහා පියවර ගත්තේය. මේ අතර මහාචාර්යවරයා සමඟ ගමනට එක්වූ පශු වෛද්‍ය සිසුන් අතර කසුකුසුවකි. අලි සිහි නැති කිරීමට සෝඩා යොදාගන්නා බවක් ඔවුන්ට ගුරුවරයා කියා දී නැත. ඔවුහු ඒ ගැන මහාචාර්ය අශෝක දංගොල්ලගෙන් ප්‍රශ්න කළහ. එහිදී ඔහුට වර්ෂ 1990 වත්තේගමදී මහාචාර්ය ඔස්ටින් පෙරේරා පැවසූ දෙයක් සිහියට නැගිණ. ඒ, මෙවැනි අවස්ථාවක සේලයින් වෙනුවට තැඹිලි වතුර යොදාගත හැකි බවට ඔහු කළ ප්‍රකාශයකි.

 

තොරතුරු මහාචාර්ය අශෝක දංගොල්ල

(පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

 

රෂ්නිකා ලියනගේ