විශේෂාංග

පහේ පොතේ පාර කියන අත්තම්මා

නිකමට මෙන් පාසලේ පහ වසර සිංහල පාඩම් පොත පෙරළා බැලුවොත් එහි හත්වෙනි පිටුවෙන් ඇරඹෙන දෙවෙනි පාඩම ‘පාර කියන අත්තම්මා’ ය. ඒත් මෑතකදී සිංහල පොතට අලුතින් එකතු වූ මෙම පාඩම ගෙතූ කතාවක් නොව සත්‍ය කතාවක් මත පදනම් වූ පාඩමක් බව අදටත් බොහෝදෙනෙක් දන්නේ නැත. ඒ නිසා බොහෝදෙනෙක් නොදන්නා ඒ කතාව සොයා අපේ මේ ගමනාන්තය කෑගල්ල අහස යටටය. ඒ, මේ කතාවේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ඒ අහස යටට නිසාය.

කෑගල්ල නගරයේ සිට බුලත්කොහුපිටිය මාර්ගයේ සැතපුම් හය හතක් ගිය තැන හමුවෙන නගරය හෙට්ටිමුල්ලයි. දැන් අප ඉදිරියේ තිබෙන්නේ ගුණ නැණ බෙලෙන් පිරිපුන් දුවා දරුවන් රැසක් රටට ලෝකයට දායාද කළ කෑගල්ල, හෙට්ට්මුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයයි. පාසල් දිනයක උදෑසනක් නිසාදෝ බැලු බැලූ හැමතැනම සිටියේ සුදෝ සුදුවට ඇඳ පැළඳගත් පාසල් දරු දැරියන්ම පමණි. ඒ මොහොතේත් කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගය මැදින් වැටුණු සුදු ඉර පැන පාසල වෙත දුව යන්නට ළමුන් රොත්තක්ම මඟ බලාගෙනය. ඔය අතරේ වැල නොකැඩී කෑගල්ල නගරය දෙසට ගමන් ගන්නා පාසල් බස් රථ ඇතුළු වෙනත් වාහනද ඉදිරියට ඇදෙන්නේ තම ගමන තත්පරයකින් දෙකකින් හෝ ඉක්මනින් යන්නටය. අපට ඒ රුව මුණගැසෙන්නේ ඔය අල්ලපනල්ලේය.

පෙනුමෙන් ඇයට අවුරුදු අසූවකට වැඩි මිසක් අඩු නම් නැත. එහෙත් වයස යන්න ඉලක්කමක් පමණක් යැයි සිතා ජීවිතයට කිසිඳු විරාමයක් නොදී ඇය සුදු ඉර මත වාහන හසුරුවමින් සිටියි. ඇය ඉතා කාර්යක්ෂමය. වෙලාව පෙරවරු 7.30ට කිට්ටු නිසාදෝ ඇගේ අත පය වයසට වඩා වේගවත්ය. ගමන කතාව හැසිරීම ඊටත් එහාය. විටෙක ඇගේ පෙනුම සිනහවෙන් පිරී සුන්දරය. ඒ වෙලාවට කුඩා දරුවන් ඇයගේ අතේ එල්ලී මාර්ගය හරහා මාරුවෙන්නේ පුදුමාකාර සෙනෙහසකිනි. තවත් විටෙක ඇගේ පෙනුම රෞද්‍රය. ඇය ඒ බැල්ම හෙළන්නේ දරුවන් දෙස නොව රියැදුරන් දෙසය. ඒ නිසාමදෝ පොලිසියට පවා අවනත නොවන ඇතැම් රියැදුරන් ඇයට සෑහෙන්න අවනතය.

‘‘මගේ දරුවා ඉස්කෝලේ එක්ක ආපු දවසේ ඉඳලා මං මේ රාජකාරිය කරන්නේ. දැනට අවුරුදු හතළිස් ගණනක් මං මේ ඉස්කෝලේ ගාව ඉන්නේ. ඒ අවුරුදු හතළිස් ගාණට දවස් හත අටක් ඇරුණම හැමදාම මෙතැනට ආවා. දැන් මට වයස අවුරුදු අසූවත් පැනලා. තව පුළුවන් කාලයක් මෙහෙම ඉන්නවා. හිසේ ඇම්මක්, උණක්, හෙම්බිරිස්සාවක් හැදුනොත් කොත්තමල්ලි ටිකක් තම්බාගෙන බීලා මං වෙලාවට ඉස්කෝලේ ළඟට එනවා. මොකද දරුවෝ මං එනකල් මඟ බලාගෙන ඉන්නවා.’’

ඒ ඇය සිනාමුසු මුහුණින් කියන කතාවය. එවකට ප්‍රදේශයේ රියැදුරු තරුණයෙකු සමඟින් විවාහ වූ ඇගේ ජීවිතයේ සතුටුම දිනය වූයේ ඇය මවක් වූ දාය. එදා ඇයට ලැබුනේ හුරතල් දියණියකි. එහෙත් දෙන්නා දෙමහල්ලන්ට එකට සතුටුව දරු සුරතල් බැලීමට හැකිවූයේ තෙමසක් තරම් කෙටි කාලයක් පමණි. ඒ ඇයගේ මොකක්දෝ අවාසනාවකට සැමියාට හදිසියේම ජීවිතය හැරදා යන්නට සිදුවීම නිසාය. එදා පටන් ඇය දියණියත් සමඟ ගෙව්වේ දුෂ්කර දුක්ඛිත කාල පරිච්ඡේදයකි.

දියණියට පස්වසක් පිරෙද්දී පුංචි එකී අතේ රුවා පාසල් එක්ක ආවේ ගියේ හෙට්ට්මුල්ලේ මේ පාසලටමය. ඒ මීට අවුරුදු හතළිස් ගණනකට උඩදීය. එහිදී ඇය දුටුවේ යන එන වාහන මැද එහෙට මෙහෙට පනින පුංචි එවුන්ය. මේ පුංචි උන් එකෙක් දෙන්නෙක් වාහනේකට යට වු​ණොත් දෙයියනේ මොන අපරාදයක්ද? ඇයට හිතුණේ එහෙමය. පහුවදා පටන් ඇය ඔසරියකින් සැරසී හෙට්ට්මුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය ඉදිරියේ ඇති සුදු ඉර මතට එන්නේ ඒ අපරාධය තමන් ජීවත්ව සිටිනතාක් කල් සිදු නොවෙන්නට වගබලාගෙනය.

එතැන් පටන් පාසල් පැවැත්වෙන සෑම දිනකම උදෑසන 6.00ට පමණ පාසල ළඟට පැමිණෙන ඇය පාරේ ගමන් කරන වාහන හැසිරවීමට පටන් ගත්තාය. ඇය යළිත් එතැනින් ගියේ පාසල ආරම්භවීත් පැයක් දෙකක් ගතවූ තැනය. ඒ පෙරවරු 9.30ටය. අනතුරුව නිවසට ගිය ඈ යළිත් දහවල් පාසල් ඇරෙන වෙලාවට හනිහනිකට පාසල ළඟට දුව ආවේ තත්පරයක් හෝ ප්‍රමාද නොවීමට වග බලාගෙනය. එකේ දෙකේ දරුවන්ගේ පන්ති දවල් 12.30ට ඇරෙන නිසා ඇය එන්නේ ඒ වෙලාව අල්ලලාය. එතැන් පටන් පස්වරු 3.30 දක්වා ඇය සිටින්නේ පාසල ඉදිරිපිට මහපාරේය. දරුවන්ට පන්ති හෝ ක්‍රීඩා පුහුණුවීම් ඇති දිනවලදී පවා ඇය ඒ දරුවන් පාර මාරුවෙන්නට එනතෙක් හවස පහ හයටත් එතැනය. එතරම්ම කැපවීමකින් ඇය දරුවන්ට පාර කියූ නිසා අද වෙනතෙක් එම ස්ථානය තුළ කිසිඳු රිය අනතුරක් සිදුවී නැත. පාසලේ විදුහල්පතිගේ, දෙමව්පියන්ගේ, දරු දැරියන්ගේ සිට බොහෝදෙනෙක් ඊට එකපයින්ම සාක්ෂිය.

වටින් පිටින් ඇසුවොත් ඇය ගැන අපූරු කතාවක් දෙකක්ද අසා දැනගත හැකිය. ඒ එක් කතාවක් නම් ඇය අත ඇති කෝටුවයි. එයට ඇත්තේ සෑහෙන දිගු ඉතිහාසයකි. ඇය ඉදිරියේ වැරදි කරන රියැදුරන්ට කවදත් ලැබුනේ කෝටුපාරකි. පාසල් වෙලාවට ඇය අසළින් වැරදි කරන් ගිය යතුරුපැදිකරුවන්ට නම් එම පහර අදටත් හොඳටම මතක ඇතුවාට සැකයක් නැත. ඒ වෙලාවට ඇය සෑහෙන්න සැරය. දෙපාරක් නොහිතා ඕනෑම රියැදුරෙක්ට බණින්නට තරම් ඒ හිත හයියය. තවත් කතාවක් නම් ඇය අසළින් කිසියම් වාහනයක් අධික වේගයෙන් ධාවනය කළොත් ඇය එහි අංකය මතක තබාගෙන පසුදා එම වාහනය නවතා එහි රියැදුරුට මතක හිටින ලෙස අවවාද කිරීමයි. ඒ නිසාමදෝ ඇය පසුකර යන බොහෝ රියැදුරු මහතුන් ඇය ඉදිරියෙන් යන්නේ ලෝකයේ සිටින හොඳම රියැදුරන් මෙනි. ඇතැම් රියදුරන් පවසන්නේ ඇය දැකීම ට්‍රැෆික් පොලිසියෙන් දැක්කා හා සමාන බවය. වරක් කෑගල්ල පොලිසියෙන් ඇයට අපූරු තෑගි කිහිපයක්ද ලැබී තිබුණි. ඒ ‘රිය නියාමක’ ලෙස සඳහන් කහ පැහැති නිල කබායක්, වැසි කබායක් සහ තොප්පියකි. එදා පටන් ඇගේ නිල ඇඳුම ඒකය.

‘‘අද වෙනකල් කවුරුත් මට කිසිම දෙයක් කියලා නෑ. මට ආච්චි කියලයි ළමයි කතා කරන්නේ. වෙලාවකට මං වාහන එළවන අයට බණිනවා. සමහර දවස්වලට මගේ උදව්වට පොලිසියේ මහත්තුරු එනවා. එදාට මට ලේසියි.’’

කට පුරා සිනාසී ඇය එහෙම කියයි. එදා ඇයගේ අණට කීකරුව පාර මාරු වූ පුංචි උන් අද ලොකු ලොකු රැකියා කරන නෝනලා මහත්තුරු වී තම වාහනයෙන් බැස ඇවිත් ඇයත් සමඟ මොහොතක් දොඩමළු වී යයි. එදාට නම් ඇයට ඊට වඩා සතුටක් නැත.

මේ සුන්දර කතාවේ අයිතිකාරිය වයස අසූපහක් වෙන කෑගල්ල, පරගම්මන ප්‍රදේශයේ පදිංචි ලිලී වයලට් ය. එහෙත් ගමේ ගොඩේ කවුරුත් ඇය හඳුනන්නේ ‘කෑගල්ලේ ට්‍රැෆික් ආච්චී’ කී සැනින්ය. පුරා වසර හතළිස් පහක් පුරාවටම තම වයස ගැනවත් නොසිතා ඇය දරුවන්ට පාර මාරු කරවන්නේ හිතේ කැක්කුමට මිස මුදලක් බලාගෙන නම් නොවේ. මුදල් මතින් දිවෙන සමාජයක ඇය ඇදහිය යුතු ගැහැනියක් වන්නේ ඒ නිසාය. කෙසේ හෝ අවසානයේ ඇය නතරවන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන පහ වසර පාසැල් පෙළ පොතේ දෙවෙනි පාඩමද ඇගේ නමට ලියාගෙනය. එහි ‘පාර කියන අත්තම්මා’ ලෙස සඳහන් වන්නේ ඒ කතාවයි. පුංචි දුවා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමාගේ ජීවිතයම කැපකළ මෙවන් අම්මාවරුන් සැබැවින්ම අගය කළ යුතුය. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යැයි පැරණි කියමනක් තිබේ. ඒකට හොඳම උදාහරණය අදටත් වයස පැත්තකින් තියා පොලිසියේ වැඩේ මහ පාර මැද හරි ආසාවෙන් කරන පාර කියන ලිලී අත්තම්මාය.

රුවන් එස්.සෙනවිරත්න