විශේෂාංග

අලුත් අම්මලාට සහ අම්මලා වෙන්න ඉන්න අය වෙතටයි,

අසුබවාදී ආකල්ප ටික ටික ඔලුවෙන් අයින් කරගෙන ජීවිතේ දිහා සුන්දරව බලන්න පටන් ගනිද්දී මං අරමුණු තුනක් හදාගත්තා. පළවැනි එක මගේ හිතේ සතුට දිගටම තියාගන්න එක. දෙවැනි එක මගේ පවුලේ සාමාජිකයන්ගේ සතුට නැති නොකරන එක. අනිත් එක කිසිම බාහිර බලපෑමක් මගේ පවුලේ සතුටට බාධාවක් කරනොගැනීම. අද මම ලියන්න යන්නෙ මේ කාරණා තුනටම අදාළ කතාවක්.

මං සමාජ මාධ්‍යවල මගේම අත්දැකීම් ලියලා අනිත් අයත් එක්ක බෙදාගන්න නිසා අලුත දරුවෝ ඉපදුණ අලුත් අම්මලා මගෙන් අහන දේවල් තියනවා. දරුවගේ කෑම හදන විදිය, ඒ ඇරුණාම මං කොහොමද දරුවෝ පොඩි කාලේ වැඩ කරගත්තේ වගේ දේවල්. මං වෙන රටක තනියම ජීවත් වුණ නිසයි විශේෂයෙන් ඒ ගැන අහන්නේ.

මගේ දරුවෝ දැන් ටිකක් ලොකුයි. එක්කෙනෙක්ට වයස 8යි. අනික් කෙනාට 7යි. බාලයාට 4යි. ලොකු දූ හම්බවෙලා එයාට අවුරුද්ද පිරෙන්න සුමාන දෙකක් තියෙද්දී තමයි මගේ දෙවැනි දූ ඔවින්‍යා ලැබුනේ. ඒ කාලේ වැඩ කරගන්න හරි අමාරුයි. අමාරු නෑ කියලා මට බොරු කියන්න බෑනේ. ලොකු දුවට අවුරුද්දක් පිරෙන්නත් කලින් දෙවැනි දූ ලැබෙන්න ආපු නිසා ලොකු දූගේ සමහර හුරතල් දේවල් මට මගහැරුණා. දෙවැනි දූ ලැබුනාම දෙන්නාම බලාගන්න වුණේ එකට. ලොකු දූ ලැබෙන්න ඉඳිද්දී මගේ අම්මා ආවා. දෙවැනි දූ ලැබෙද්දී දහම්ගේ අම්මා ආවා.

ඒ මොන දේ වුණත් දරුවා නාවන දේවල් වගේ හැමදේම කළේ මම. දරුවා ලැබිලා හොස්පිටල් එකෙන් එන්න කලින් මටයි, දහම්ටයි ඒ දේවල් කියලා දුන්නා. මට විතරක් නෙවෙයි මෙහේ හැම කෙනෙක්ටම එහෙමයි. පොල්කටු හිල් කරලා, බෙහෙත් උරච්චි කරලා ගාන දේවල් මෙහේ නෑ. දරුවාගේ වැඩ කරන්න ඕන විදිය හැමදේම හරිම මිත්‍රශීලී විදියට හොස්පිටල් එකෙන් කියලා දෙනවා. ඒ නිසා මුල්ම කාලේ අම්මලා උදව් කළත් මං දරුවගේ වැඩ තනියම කරගත්තා. ඒ ඇරුණාම දහම් උදව් කළා. අම්මලා​ට හැමදාම මෙහේ ඉන්නත් බැරි නිසා මට කොහොමත් වැඩවලට තනියෙන් හුරු වෙන්න වුණා. ඒ කාලේ අමාරු වුණත් මට දැන් ඒ ගැන තියන්නේ සතුටක්.

ඕනම කෙනෙක්ට පළවෙනි දරුවා අලුත් අත්දැකීමක්. ඒ නිසා ඒකට හුරුවෙන්න පොඩි කාලයක් යනවා. දරුවාගේ නැගිටින, නිදියන වෙලාව සහ ඒ රටාව දැනගන්නත් සුමාන දෙකක් තුනක් යනවා. අම්මලා යන්න මාසයක් වගේ තියෙද්දී දහම් මට කිව්වා ‘‘උයන පිහන මේ වැඩ අපිම කරගන්න ඕනේ, ටයිම් එක මැනේජ් කරගෙන ගෙදර වැඩ හිමීට ඔයා කරන්න, මං උදව් කරන්නම්’’ කියලා. ඒ විදියටම එයාගෙන් මට උදව් ලැබුනා. මං තේරුම්ගත්ත වැදගත්ම දේ තමයි දරුවො ලැබෙද්දි අම්මලා අපේ උදව්වට හිටියට අපි එයාලා මත්තෙම යැපෙන්න නරකයි. එහෙම කළොත් අපිට හැමදේටම එයාලා නැතුව බැරිවෙනවා. එයාලට වුණත් සැඳෑසමය සතුටෙන්, නිදහසින් ගත කරන්න අපි ඉඩදෙන්න ඕනනේ.

මට මැසේජ් එවන ගොඩක් අය කියන්නේ දරුවා ලැබුනාම හැමදේම තනියෙන් කරගන්න වෙලා, ජීවිතේ එක තැන නැවතිලා වගේ, රෑට නින්දක් නෑ, මුළු රෑම ඇහැරන්, දරුවාට කිරි දෙන්න ඕනේ, ඉස්සර යාළුවෝ හම්බවුණා දැන් ඒකත් නෑ වගේ දේවල්.

මටත් ඔය දේවල් ඔහොමම නොහිතුනා නෙවෙයි. හැබැයි මට එදා නොහිතුනු දැන් තේරෙන ටික කියන්නද? ජීවිතේ එක තැන නතරවෙන කාලෙ නෙවෙයි, ජීවිතේ ඉක්මනින්ම යන කාලෙ තමයි ඒක. පුංචි අත දරුවෙක් ලොකු වෙන්නේ බලන් ඉඳිද්දී. රෑට ඇහැරලා කිරි දෙන එක මුළු ජීවිත කාලෙම කරන්න නෑ. දරුවෙක් රෑට ඇහැරන් එහෙම කිරී බොන්නේ උපරිම මාස 8ක් වගේ කාලයක්. ඊටපස්සේ එයාලා රෑට නිදියනවා. අර රෑට ඇහැරගෙන කිරි දීගෙන සුරතල් බලන සුන්දර කාලේ ආයේ එන්නේ නෑ. ඒ නිසා ඒවා පීඩනයක් කරගන්නේ නැතුව උපරිමෙන් විඳින්න උත්සාහ කරන්න. ඇයි දන්නවද මං මෙහෙම කියන්නේ? දරුවෝ හැමදාම පුංචියට ඉන්නේ නෑ. ලොකු වෙද්දි එයාලා අපිට තුරුල් වෙලා හුරතල් වෙන කාලේ අඩු වෙලා, පොඩ්ඩ පොඩ්ඩ අපෙන් ඈත් වෙනවා.

ඒ නිසාම මගේ දරුවන්ගේ හැම තප්පරේම මං විඳිනවා. හැමවෙලේම බදාගෙන හුරතල් කරනවා. හැමවෙලේම මං එයාලාට ආදරෙයි කියනවා. ආස දේවල් හදලා දෙනවා. මං වැඩක් කර කර ඉන්න වෙලාවක වුණත් මගේ දරුවෙක් ඇවිත් දෙයක් කිව්වොත් ඒක මං අහනවා. චිත්‍රයක් ඇඳලා පෙන්නුවොත් මං අත්පුඩි ගහලා ප්‍රශංසා කරනවා. සෙල්ලම් කරන්න කතා කරද්දි සෙල්ලම් කරනවා. ඒ මේ කාලේ හැමදාම දෙමව්පියෝ විදියට අපිට ලැබෙන්නේ නෑ. පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙන්න ලොකු වෙන්න එයාලා අපෙන් ඈත් වෙනවා. යාළුවෝ හම්බ වෙනවා. එයාලට තනියෙන් විනෝද වෙන්න ඕන වෙනවා. නිදහස හොයනවා. ඒ නිසා එයාලා අපිට තුරුල් වෙලා ඉන්න හදන කාලේ උපරිමෙන් එයාලව තුරුල් කරගෙන ආදරේ කරන්න. හැම මොහොතම විඳින්න. අපි කරන වැඩේට අවධානේ දීලා ඒක ලොකු කරගෙන දරුවාගෙන් අපිට ලැබෙන අවධානය නැති කරගන්න එපා කවදාවත්. යාළුවෝ කවදාහරි හම්බවෙන්න පුළුවන්. ජීවිතේ නිදහසින් විඳින්න කාලයක් අනිවාර්යයෙන් එනවා. එතකල් දරුවෝ එක්ක ගෙවෙන ජීවිතේ සුන්දරම කාලේ මතක හිටින්න විඳින්න. මාත් මේ දේවල් තේරුම් ගත්තේ ජීවිතේ ලැබුන අත්දැකීම්වලින්. මටත් මුලදී තේරුණේ නෑ. ඒ නිසාමයි අලුත් අම්මලාටයි, අම්මලා වෙන්න ඉන්න අයටයි මේ කියන්නේ. ඉතින් දරුවන්ගේ ජීවිතවල සුන්දරම මතකවල ඉන්න ආදරණීයම චරිත අපි වෙන තරමට එයාලා එක්ක ජීවිතේ විඳින්න. එතකොට එයාලා එයාලාගෙ දරුවන්ටත් සුන්දර මතක එකතු කරන දෙමව්පියෝ වෙන්න උත්සාහ කරාවි. අනික ඔයාලට කවදාවත් දරුවන්ගෙ ප්‍රතික්ෂේප නොවුණු දෙමාපියො විදියට ජීවිතේ අන්තිම කාලෙ සතුටින් සැනසීමෙන් ගත කරන්න පුළුවන් වේවි.

හෂීණී මනමේන්ද්‍ර