නවතම ප්‍රවෘත්ති

දිනන්න කලින් මට හොඳටම අඬන්නත් වුණා

රුසියාවේ ඉපදුණුනතාලියා (Nataliya Kuznetsova) කායවර්ධන ක්‍රීඩාවට පැමිණෙන විට යන්තම් වයස අවුරුදු 14 පිරුණා පමණි. හිතේ උපන් ආසාවට එවැනි ත්‍රාසජනක ක්‍රීඩාවකට යොමුවුණත් ඒ ගැන පවුලේ උදවියගේනම් වැඩි කැමැත්තක් තිබුණේ නැත. ඇරත් ඇගේ ළාබාල වයස නිසා කායවර්ධන ක්‍රීඩිකාවක ලෙසින් කවුරුත් ඇයව ගණන් ගත්තේද නැත. එවැනි නොසලකා හැරීම් කොතෙක් තිබුණත් ඇය තමා පිළිබඳ තැබූ විශ්වාසය බිඳක් හෝ අඩුකර ගත්තේ නැත. කාලය ගෙවී ගියේය. කාලයට ඉඩ දී තම දක්ෂතා ඔපමට්ටම් කරගත් ඇය ලෝක මට්ටමේ ජයග්‍රහණ රැසක්ම ලබා ගත්තාය. දැන් 32 හැවිරිදි නතාලියාව කවුරුත් හඳුන්වන්නේ රුසියාවේ ඇමසන් යෝධිය යනුවෙනි.

නතාලියා පිළිබඳව සිහිපත් කළේ තමා පිළිබඳ විශ්වාස කරමින් ඒ සා දීර්ඝ ගමනක් පැමිණි අපේ කතා නායිකාව හෂිනි ගමගේ ගැන කියන්නටය. පසුගිය පෙබරවාරි 18 වැනිදා සිංගප්පූරුවේ පැවති එෆ්.අයි.එෆ්. කායවර්ධන තරඟාවලි ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ගෙනෙන්නට ඇය සමත්විය. ඒ ජාත්‍යන්තර ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධානය කළ FIF World Wide Classic Pro – 2023’ කායවර්ධන තරඟාවලියේදී ‘Ms.Sports Model’ අංශයේ ශූරතාවය දිනාගනිමිනි. එනිසාම මෙවර ධරණී කවරය දරා සිටින්නට අප කායවර්ධන ක්‍රීඩිකා හෂිනි ගමගේට ආරාධනා කළෙමු.

දැන් මගේ වයස අවුරුදු 25ක්. අවුරුදු 20දී විතර තමයි මං ජිම් එකකට යන්න පටන්ගත්තේ. ඒ ටිකක් මහත්වෙලා වගේ දැනුණු හින්දා. ඒ ගියාම දැක්කා සමහර අය කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් මහන්සි වෙන හැටි. එයාලා දැක්කම මටත් කායවර්ධන ක්‍රීඩාව ගැන ලොකු ආසාවක් ආවා. පස්සේ මං ඒ ගැන ටිකක් හොයලා බැලුවා. එතැනදි ඒ ක්‍රීඩාවෙන් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මං දැක්කා. එහෙම තමයි මං ක්‍රීඩාවට යොමුවුණේ.”

වැඩේට අතගැසුවේ අහම්බෙන් වුවද වසර පහක් වැනි කෙටි කලක් තුළ ඇය ලබාගත් ජයග්‍රහණය සුළුපටු නැත.

මං කළේ මුලින්ම ඉලක්කයක් හදාගත්ත එක. ඊටපස්සේ මං මාව විශ්වාස කළා. ඒ විශ්වාසයත් එක්ක කැපවීමෙන් කායවර්ධන ව්‍යායාම් කරන්න පටන්ගත්තා. කාලයක් එහෙම කරද්දි තමයි මට හර්ෂ් ඩී පීරිස් සර් මුණගැහුණේ. ඔහු මට කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් ඇඟ හදාගන්න හැටි කියලා දුන්නා. ඔය අතරේ තමයි මං ‘FIF World Wide Classic Pro – 2023’ කායවර්ධන තරඟාවලියට අයැදුම් කළේ. එහිදී මට පුළුවන් වුණා තරඟකරුවන් 12ක් අතරින් ‘Ms.Sports Model’ අංශයේ ශූරතාවය දිනාගන්න.”

හෂිනිට මෙම ජයග්‍රහණය සුවිශේෂී වෙන්නට තවත් හේතුවක් තිබේ. ඒ ‘FIF World Wide Classic Pro – 2023’ කායවර්ධන තරඟාවලිය ඇය කායවර්ධන ක්‍රීඩිකාවක ලෙස තරඟ කළ මුල්ම තරඟාවලිය වීමයි. සහභාගී වුණු මුල්ම තරඟයෙන් ලෝක මට්ටමේ ශූරතාවයක් දිනාගැනීමට හැකිවීම ගැන ඇයට ඇත්තේ වචනවලට පෙරලිය නොහැකි සතුටකි. ඒ සතුට මැද්දෙන්ම තරඟය සඳහා සිංගප්පූරුව බලා පිටත් වෙද්දී මුහුණ පාන්නට සිදුවුණු අකරතැබ්බයක් ගැනද ඇය සිහිපත් කළාය.

මං දැනට පදිංචි වෙලා ඉන්නේ ඩුබායිවල. ඒ ඉන්න තැන ඉඳන් ඩුබායි එයාර්පෝට් එකට තියෙන්නේ පොඩි දුරක්. පැය බාගෙන් වගේ යන්න පුළුවන්. ඉතින් එදා තරඟයට සිංගප්පූරු යන්න මං එයාර්පෝට් එකට එන්න ආවේ ටැක්සියකින්. ඒ වෙලාවේ ටැක්සි ඩ්‍රයිවර් කිව්වා එයාර්පෝට් එකට යන්න එයා දන්න ළඟ පාරක් තියෙනවා කියලා. මමත් හා කිව්වා. කොහොමහරි එයාට පාර වැරදුණා. ඉතින් මට ප්ලේන් එක මගඇරුණා. ඒ වෙලාවෙනම් මම හොඳටම කඩා වැටුණා. පස්සේ එයාර්පෝට් එක ළඟට වෙලා හොඳටම ඇඬුවා. මට ආපහු ගෙදර යන්න හිත දුන්නේම නෑ. පස්සේ පැය පහක් එයාර්පෝට් එකේ ඉඳලා ඊළඟ ප්ලේන් එකේ තමයි තරඟයට ගියේ. ඒ සිදුවීම නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.”

ගල්පර දුටු පමණින් ගලන ග‍ඟක් නවතින්නේ නැත. හෂිනි ද එවැනි සුබවාදී දැක්මක් ඇති තරුණියකැයි කීම අතිශයෝක්තියක් නොවේ.

මං ඩුබායිවල ගණකාධිකාරීවරියක් විදියට වැඩ කරනවා. ඒ අතරේ තමයි කායවර්ධන ක්‍රීඩාවත් කරන්නේ. ඉතින් නොදන්න රටක මං හැමදේම කරගත්තේ තනියෙන්. සමහර දවස්වලට පැය නවයක් එකදිගට වැඩ කරලා ගෙදර ඇවිත් පැය ගාණක් පුහුණුවීම් කරනවා. මග අරින්නේම නෑ. ලස්සන වෙන්න ඇඟ හදන එකයි ක්‍රීඩාවක් වෙනුවෙන් ඇඟ හදන එකයි කියන්නේ දෙකක්. ක්‍රීඩාවක් වෙනුවෙන් ඇඟ හදද්දි ලොකු කැපකිරීමක් කරන්න ඕන. තරඟයක් ළංවෙද්දි පුහුණුකරු පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුවක් ලියලා එවනවා. ඒවා ගන්න ලොකු වියදමක් යනවා. ඉතින් අනුග්‍රාහකයෙක්වත් නැති නිසා රැකියාව කරලා හම්බකරන වැටුපෙන් තමයි හැමදේම කරන්නේ.”

මේ අතර කායවර්ධන ක්‍රීඩිකාවක් වෙන්නට මුලපුරන අවධියේ සිට මේ දක්වා හෂිනිට පැමිණි අභියෝග ගැනද කියන්නට ඇය අමතක නොකළාය.

මුල් කාලේ නම් කවුරුත් මාව ගණන් ගත්තේ නෑ. මොකද මං එච්චර උස මහත කෙනෙකුත් නෙවෙයිනේ. මේ ක්‍රීඩාවට එනකොට වුණත් ගොඩාක් අය කිව්වේ ගෑනු ළමයෙක්ට මේ වගේ ක්‍රීඩාවක් ගැළපෙන්නේ නෑ කියලා. ඒත් මේ ජයග්‍රහණයෙන් පස්සේ හැමෝම මගේ ගැන කතා කරන්න පටන්ගත්තා. ඒක මට ලොකු සතුටක්.”

මොරටුවේ උපන් හෂිනි පාසල් කිහිපයක අධ්‍යාපනය ලබා තිබුණද උසස් පෙළ හදාරා ඇත්තේ බම්බලපිටිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයෙනි. පාසල් කාලය තුළ කිසිඳු ක්‍රීඩාවක නියැලී නොමැති ඇය පුංචි සන්ධියේ පටන් සිහින මවා ඇත්තේ වෛද්‍යවරියක් වෙන්නටය. නමුත් පසුව වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දී කෙටි කලක් මෙරට බැංකු ක්ෂේත්‍රයේ ද සේවය කර තිබේ. පසුව ඇය ඩුබායි බලා ගොස් ඇත්තේද රැකියාවේම ඉදිරිය ගැන සිතමිනි. හෂිනි පවසන්නේ දුරු රටක වෙසෙන ඇගේ වෘත්තීය ජීවිතයේ නොමැති සැහැල්ලුව කායවර්ධන ක්‍රීඩාව තුළින් ඇයට නොමදව හිමිවෙන බවයි.

කායවර්ධන ක්‍රීඩාවට යොමුවුණු එක ගැන මට තියෙන්නේ සතුටක්. තරුණියකට මේ ක්‍රීඩාව හොඳටම ගැළපෙනවා. අනික ශරීර සෞඛ්‍යයටත් හොඳයි. සමහරු හිතන් ඉන්නවා ගෑනු ළමයෙක් මේ වගේ දෙයක් කරද්දි කැතවෙනවා කියලා. ඒත් මං කියනවා නෑ එහෙම වෙන්නේ නෑ, තවත් හැඩවෙනවා කියලා. ඇත්තටම කායවර්ධන ක්‍රීඩාව තෝරාගත්තට පස්සේ මට හොඳ පෙනුමක් ලැබුණා කියලා මට හිතෙනවා.”

ඇස්වහක් කටවහක් නැත. බැලූ බැල්මට ඇය ඇත්තටම හැඩය. උපතින් ලද පෙනුමත් කැපවීමෙන් වැඩිදියුණු කරගත් දක්ෂතාවයත් නිසා අද ලංකාවම කතා කරන චරිතයක් වී ඇති හෂිනිගෙන් ඇගේ අනාගතය ගැන අසන්නටද අමතක කළේ නැත.

මං ගොඩාක් දුෂ්කරතා එක්ක අද ඉන්න තැනට ඇවිත් ඉන්නේ. අම්මා, තාත්තා, සහෝදරියෝ වගේම පුහුණුකරු හැමතැනදිම මට ලොකු හයියක් වුණා. ඒ නිසා ඒ හැමෝම ආදරෙන් මතක් කරනවා. මගේ අනාගත බලාපොරොත්තුව වෙන්නේ මට පුළුවන් කාලයක් මේ ක්‍රීඩාව කරලා ලංකාවට කීර්තියක් ලබාදෙන එක. තාම මං ඉන්නේ මුල. මට යන්න තව ගොඩාක් දුර තියෙනවා. මං ඒ දුරත් කොහොමහරි යනවා. මොකද මට මාව 1000%ක් විශ්වාසයි.”

ඇගේ ඒ විශ්වාසයම ශ්‍රී ලංකා මාතාවට තවත් ජයග්‍රහණය රැසක් උරුමකරදෙන බැව් අපටද විශ්වාසය. ඉතින් ඒ වෙනුවෙන් අප හෂිනිට සුබපතමින් කතාබහට කොමාවක් දැමුවේ නුදුරු දිනකදී ඒ ජයග්‍රහණත් සමඟ අලුත් කතාබහක් ආරම්භ කිරීමේ බලාපොරොත්තු ඇතුවය.

රුවන් එස්.සෙනවිරත්න

ඡායාරූප බුද්ධික වික්‍රමාරච්චි