ප්‍රීතිමත් ජීවිතයකට

දරුවන්ගේ ජීවිත සුවඳ හමන්නේ අම්මලා කිලුටු ඇන්දොත් විතරද?

කසාදය ගැහැනියකගේ ජීවිතේ දෙවැනි උපත කියලා කියනවානේ. දරුවෙක් ලැබිලා අම්මා කෙනෙක් වුණාම ගැහැනියක් අලුතෙන් උපදිනවා කියලයි කතාවටත් කියන්නේ. හැබැයි ඒ උට්ඨානය වීම කෙසේවෙතත් ගොඩක් ගැහැනු කසාද ජීවිතේ ඇතුළේ තමන්ගේ සතුට භූමිදානය කරගන්න බවක්නම් පේන්න තියනවා. කසාද බැන්දට පස්සේ පවුලට ප්‍රමුඛතාවය දෙන්න ඕන කියන කාරණය ගැන තර්කයක් තියාගන්න ඕනේ නෑ. හැබැයි ගොඩක් බිරින්දෑවරුන් පවුල වෙනුවෙන් කැපවෙන්න ගිහින් නොදැනුවත්වම තමන්ගේ සතුට කැපකරන එක නම් අනුමත කරන්න පුළුවන්කමක් නෑ. මොකද එහෙම වුණාට පස්සේ පවුල් ජීවිතේ අපායක් වෙන එක නතර කරන්න කාටවත් බෑ.

දරුවන්ට කිවිසුමක් ගියත් දොස්තර කෙනෙක් ගාවට අරගෙන දුවන සමහර අම්මලා තමන්ට මොනතරම් දරුණු අසනීපයක් හැදුණත් බෙහෙත් ටිකක් ගන්න යන්නේ නෑ. දරුවන්ගේ උපන්දින මහ ඉහළින් සැමරුවට අඩුමතරමේ තමන්ගේ උපන්දිනේ දවසට විශේෂ කෑමක් බීමක් හදාගන්නේ නෑ. අඩුමතරමේ සිංහල අලුත් අවුරුද්දටවත් තමන්ට කියලා අලුත් ඇඳුමක් නොගන්න අම්මලා අපි දැකලා තියෙනවා.

මටත් එහෙම කාලයක් තිබුණා. ඒ කාලේ ලස්සන ලස්සන ඇඳුම් ගෙනැල්ලා දරුවන්ට ඇන්දුවා මිසක් මමත් ලස්සනට අඳින්න ඕනේ කියන එක මට අමතක වුණා. ඇත්තම කිව්වොත් මට ඒ ගැන උනන්දුවක් තිබුණේ නෑ. දරුවන්ට වෙලාවට කවලා පොවලා ඔක්කොම කළාට වෙලාවට කාලා බීලා ඉන්න මම උනන්දු වුණේ නෑ. ඒ නිසාම අසනීප වුණා. වෙලාවට කන්නේ නැති නිසා නිතර හැදෙන ඔලුවේ කැක්කුමකුත් මට තිබුණා. ඒ විදියට මාව අමතක කරලා පවුලේ සතුට වෙනුවෙන් කැපවුණු නිසා මට මගේ සතුට මඟහැරුණු කාලයක් තිබුණා.

හැබැයි ඒ කාලේ මම කරපු දේවල්වල වටිනාකමක් දහම්ට දැනුණේ නෑ. ඒකයි මම කියන්නේ අපි අසතුටින් ඉඳගෙන අනිත් අයව සතුටු කරන්න බෑ කියලා. ඒ වගේම අපි අවලස්සනට ඉන්න ගමන් අපිට තව කෙනෙක්ව ලස්සන කරන්නත් බෑ. ඉතින් මගේ වටිනාකම, මගේ සතුට, මගේ පෙනුම වගේ දේවල් මම විසින්ම හෑල්ලුවට ලක්කරගනිපු ඒ කාලේ දහම්ගෙන් නොලැබුණු ඇගයීම ගැන එයාට දොස් කියලා පලක් නැති බව මම තේරුම්ගත්තා. මම මට ආදරය නොකරන තාක්, කිසි කෙනෙක් මට ආදරය නොකරන බව මට දැනෙන්න ගත්තා. ඒ නිසා ටිකෙන් ටික මං මට ආදරේ කරන්න පුරුදු වුණා. එයින් පස්සෙයි මගේ ජීවිතේ ලස්සන වුණේ. සතුට කියන අඩු නැතුව මට දැනෙන්න ගත්තේ.

පවුල් ජීවිතේ සතුට කියන එක තමන්ගේ පුද්ගලික සතුට එක්ක බැඳිලා තියෙන්න ඕනේ කියලයි මං විශ්වාස කරන්නේ. ගැහැනියක් බිරිඳක් හෝ අම්මා කෙනෙක් වෙනවා කියන එකේ තේරුම තමන්ගේ සතුට අහිමි කරගෙන සැමියා සහ දරුවන් වෙනුවෙන් කැපවෙනවා කියන එක නෙවෙයි. අනිත් එක තමයි අම්මා කෙනෙක් වුණාම අරක කරන්න හොඳ නෑ, මෙහෙම අඳින්න හොඳ නෑ වගේ නීති දාගන්න ගියොත් පීඩාවට පත්වෙන්නේ අපිමයි. කණ්ණාඩියෙන් දකිද්දි ඔයාව මුලින්ම ලස්සනට පේන්න ඕනේ ඔයාටයි. එතකොටයි හීනමානය කියන එක නැතිවෙන්නේ. එතකොටයි තමන් ගැන ඇතිවෙන කළකිරීම නැතිවෙලා තමන් ගැන සතුටු හිතෙන්නේ. ඒ නිසා මොන රාජකාරි මැද්දේ වුණත් පෙනුම ගැන හිතන්න. අපි හැමෝටම උපතින් ලැබුණු ප්‍රියමනාප පෙනුමක් තියනවා. ඒ පෙනුම රැකගන්න ගොඩක් සල්ලි වියදම් කරන්න අවශ්‍ය නෑ. පිරිසිදුකමයි පිළිවෙලයි තමයි ගොඩක්ම අවශ්‍ය වෙන්නේ. මම රැකියාවකට නොගියත් උදේ ඉඳන් කරන්න ඕනතරම් ගෙදර වැඩ තියෙනවා. ඒ මොන දේ තිබුණත් මං මගේ පෙනුම ගැන හිතනවා. මං කසාද බැඳලා, මගේ දිහා කවුරු බලන්නද? මං අම්මා කෙනෙක්, මේවා මට සුදුසු නෑ වගේ මනස්ගාත මගේ ඔලුවේ නෑ. කවුරුහරි කෙනෙක් එහෙම හිතනවානම් ඒවා කම්මැලිකම වහගන්න හදාගත්තු නිදහසට කාරණා විදියටයි මං දකින්නේ.

මම ඒ වෙනුවෙන් කරන පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. කණ්ණාඩිය ඉස්සරහට ගියාම මට මම ලස්සනයි කියලා හිතෙද්දි දැනෙන සතුට මිල කරන්න බෑ. ඒ නිසා ඒ සතුට වෙනුවෙන් සතියකට පාරක් මූණ ස්ක්‍රබ් කරන එක, සුමානෙකට සැරයක් මාස්ක් එකක් මූණට දාලා විනාඩි 15ක් විතර ඉන්න එක මම නොවරදවාම කරනවා. කම්මැලිකම පැත්තකින් තිබබම ඒ වගේ දේවල්වලට යන්නේ බොහොම පොඩි වෙලාවක් විතරයි. ඒ වගේම පොඩ්ඩක් තනියම එළියේ ඇවිදලා එන්න යන එකෙන් මට සතුටක් දැනෙනවා. අනිත් එක මම කොහේහරි යද්දි මට ගැලපෙන විදියට ලස්සනට අඳිනවා. ඒ මොන ඇඳුමටවත් දහම්ගෙන් කිසිම තහනමක් නෑ. මම අඳින්නේ දිග ගවුමක්ද කොට ගවුමක්ද, දිග කලිසමක්ද කොට කලිසමක්ද, අත් තියෙන ඇඳුමක්ද නැති එකක්ද කියලා ප්‍රශ්නයක් නෑ. පිටරටක ඉන්න නිසාම නෙවෙයි, ලංකාවේ ඉන්න කාලෙදි පවා එහෙමයි. අනිත් එක තමයි හිත සතුටු වෙන විදියට ලස්සනට ඇන්දාම අපිට තවත් කෙනෙක් ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉඳිද්දී ඒක ලස්සනට පේනවා. අපිට නොතේරුණාට ගොඩක් වෙලාවට අපිට අනිත් අයගේ ඇදකුද පේන්න ගන්නේ අපේ අඩුපාඩු නිසා මිසක් ඇත්තටම ඒ අයගේ වරදක් නිසා නෙවෙයි.

ඒ නිසා හැමදේම ලස්සනට පේන්නනම්, හැමදේම ලස්සනට විඳින්නනම් මුලින්ම ඔයාට ආදරේ කරන්න පුරුදු වෙන්න. කිසිතැනක ඔයාට ඔයාව නැති කරගන්න එපා. මොකද ඔයාට ඔයා නැතිවෙන මොහොතේ සිට අනිත් හැමදේම නැතිවෙනවා. ඒ නිසා පවුල සතුටින් තියන්නත් ඔයා සතුටින් ඉන්නම ඕනේ.

හෂිණි මනමේන්ද්‍ර